ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සාම්ප්‍රදායිකව භාවිත වන "හොඳ ස්පර්ශය සහ නරක ස්පර්ශය"
(Good Touch, Bad Touch) යන සංකල්පයට වඩා දරුවාගේ කැමැත්ත (Child's Consent) අතිශයින් වැදගත් බව ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකට ක්‍රියාකාරිනියක සහ 'Stop Child Cruelty Trust' ආයතනයේ නිර්මාතෘවරිය වන වෛද්‍ය තුෂාරා වික්‍රමනායක අවධාරණය කරයි.
ඇය මෙම වැදගත් කාරණය සමාජගත කළේ මෑතකදී සමාජ මාධ්‍ය වෙත මුදාහැරි සංසන්දනාත්මක ඡායාරූප දෙකක් සහ ඊට අදාළ සටහනක් හරහාය. ඉන් එක් ඡායාරූපයකින් ප්‍රසිද්ධ දේශපාලඥයෙකු කුඩා දරුවෙකු සම්බන්ධයෙන් හැසිරුණු අප්‍රසන්න ආකාරය නිරූපණය වූ අතර, ඇය එම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරමින් ඊට එරෙහිව සිය විරෝධය පළ කළාය.



දෙවන ඡායාරූපය ලබාගෙන තිබුණේ ළමා හිංසනයට එරෙහිව අත්සන් 40,000කින් යුත් පෙත්සමක් පාර්ලිමේන්තුවට භාරදීමේ අවස්ථාවේදීය. එම ජනාකීර්ණ අවස්ථාවට 'Stop Child Cruelty Trust' ආයතනය නියෝජනය කරන දෙමාපියන් සහ දරුවන් දෙදෙනෙකු සහභාගී වී සිටි අතර, එම ඡායාරූපය සම්බන්ධයෙන් සමාජයෙන් එල්ල වූ ප්‍රශ්න කිරීම්වලට ද ඇය එහිදී පැහැදිලි කිරීමක් ලබා දුන්නාය.
දරුවන්ට හුදෙක් හොඳ හා නරක ස්පර්ශය ගැන පමණක් ඉගැන්වීම ප්‍රමාණවත් නොවන බව නූතන ළමා මනෝවිද්‍යාඥයින්ගේ ද මතයයි. බොහෝ ළමා අපයෝජන සිදුවන්නේ දරුවා ඉතා හොඳින් දන්නා, නිතර ඇසුරු කරන, සහ දැඩිව විශ්වාස කරන සමීපතමයින්ගෙන් වන බැවින්, එවැනි අවස්ථාවක ස්පර්ශයන් වෙන්කර හඳුනාගැනීම දරුවාගේ මනසට අපහසු හා ව්‍යාකූල විය හැකිය.
එමනිසා, "තම ශරීරයේ අයිතිය ඇත්තේ තමන්ට පමණක් බව" (Bodily Autonomy) දරුවාට කුඩා කල සිටම කියා දීම වඩාත් ප්‍රායෝගික වේ. වැඩිහිටියෙකු ආදරය පෙන්වීමට හෝ හිතවත්කමට දරුවා සිපගැනීමට හෝ වැළඳගැනීමට උත්සාහ කරන විට, දරුවා ඊට අකමැත්තක් හෝ අපහසුවක් දක්වන්නේ නම්, ඊට නිසි ගෞරවය ලබාදීමට වැඩිහිටි සමාජය අනිවාර්යයෙන්ම හුරුවිය යුතුය.
GOOD TOUCH BAD TOUCH vs CONSENT!
ස්පර්ශයට වඩා වැදගත් දරුවගෙ කැමැත්ත!
ළමා ආරක්ෂණ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගන්න බැරි රටක දරුවන් අනාරක්ෂිතයි කියන එකට වමේ පිංතූරෙ සාක්ෂි. ඒ නිසා තමන්ගෙ දරුවව ආරක්ෂා කරගන්න තමන් දැනුවත් වෙන්න.
බොහෝ දෙනෙක් වමේ දේශපාලකයගෙ පිංතූරෙට මාව ටැග් කලාට ස්තුතියි. මේ වැඩේ අජූතයි.
දකුණෙ පිංතුරේ කතාව හොඳින් අහන්න. මේක අපි මෑතකදි #40000 පෙත්සම පාර්ලිමේන්තුවට භාර දුන්නු අවස්ථාවෙ ගත්තු එකක්. මෙතන බොහෝ පිරිසක් හිටියා. මේ දරුවො දෙන්නත් ඒගොල්ලන්ගෙ දෙමව්පියනුත් Stop Child Cruelty Trust එක්ක වැඩ කරනවා. එදා තිබ්බ තද බදයත් එක්ක දරුවගෙ කරට අත තියන්න කලින් සජිත් ප්‍රේමදාස මේ පුතාගෙන් ඇහුවා "is it ok to put my hands on your shoulder?" කියලා. ඒක ඇහුනු මටත් පුදුම හිතුනා.
මෙතන අපි දෙන්න ඕන පණිවිඩය දරුවෙක්ව හොඳ හෝ නරක විදිහට ස්පර්ශ කරන එකටත් වඩා දරුවගෙ කැමැත්ත/consent එක වැදගත්. මේ කැමැත්ත/අනුමැතිය දීමට ඇති අයිතිය තමයි දරුවා බලාත්මක කරන ළමා අයිතිවාසිකම. ඒ නිසා ඕනෑම ස්පර්ශයක් දරුවගෙ කැමැත්ත නැත්තම් BAD TOUCH වෙන්න පුලුවන්, ළමා අයිතිවාසිකම් උල්ලංගනයක් වෙන්න පුලුවන්.
National Child Protection Authority ටැග් කලාට වැඩක්ම නෑ...හැබැයි ඕගොල්ලො ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකර, *ළමා අයිතිවාසිකම්* කියන්නෙ "නෑ බෑ" කියන සරල basic මූලධර්මය බව වත් තේරුම් නොගෙන, මිලියන ගණන් බදු සල්ලි වියදම් කරලා ශිෂ්‍ය තානාපති කියලා ප්‍රෝඩාවක් කලාට වැඩක්ම නෑ...
වයසට සරිලන ලිංගිකත්ව අධ්‍යාපනය අනිවාර්ය කරන්න බල කරමු - ඉස්සෙල්ලාම දේශපාලකයින්ට බංකු ගේන්න කියමු!
#40k #fb #fypシ゚ #fypシ゚viralシ #children
සැ.යු. දකුණෙ පිංතුරේ දරුවන්ගෙ අනන්‍යතාවය හෙලි කිරීමට අනුමැතිය ඇතත්, අවශ්‍ය පණිවිඩය සමාජගත කිරීම සඳහා මල් දැම්මා.
(පෝස්ටුව උපුටාගැනීම - තුෂාරා වික්‍රමනායක fb පිටුව)
මෙම සටහන හරහා වෛද්‍ය වික්‍රමනායක ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තියේ පවතින දුර්වලතා ද දැඩිව ප්‍රශ්න කළාය. ප්‍රමාණවත් ළමා ආරක්ෂක යාන්ත්‍රණයක් නිසි පරිදි බලාත්මක නොවීම සහ ඊට අදාළ ආයතන නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙරට දරුවන් නිරන්තරයෙන් දැඩි අවදානමකට ලක්ව සිටින බව ඇය එහිදී පෙන්වා දුන්නාය.
මෙම අර්බුදයෙන් දරුවන් මුදවා ගැනීම සඳහා අත්‍යවශ්‍යම පියවරක් වන්නේ වයසට ගැළපෙන ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනයක් පාසල් පද්ධතිය තුළට කඩිනමින් හඳුන්වා දීමයි. ළමා ආරක්ෂාව යනු හුදෙක් නීතිමය රාමුවකට හෝ ආයතන කිහිපයකට පමණක් සීමා වූවක් නොවී, දරුවන්ගේ අයිතීන්ට ගරු කරන සමස්ත සමාජයේම ආකල්පමය වෙනසක් දක්වා වර්ධනය විය යුතු බව මෙමගින් වැඩිදුරටත් ගම්‍ය වේ.
(මූලාශ්‍රය - ඩේලි මිරර්)

