අහිමි වන ධාරිතාවය පියවන්න දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක අමතර බරක්
රට තුළ බරපතළ බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවට හිටපු විදුලිබල හා
බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අනතුරු අඟවයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු තොග මේ වනවිට අවසන් අදියරට ළඟා වීම හේතුවෙන් එහි විදුලි උත්පාදන ධාරිතාවය සැලකිය යුතු ලෙස සීමා කිරීමට සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කරන ලද 2026.08.30 දිනැති විදුලි පද්ධති වාර්තාවට අනුව, ගල් අඟුරු තොග හිඟ වීම මත බලාගාරයේ ඒකක දෙකක විදුලි උත්පාදනය මෙගාවොට් 270 සිට 130 දක්වා අඩු කිරීමට අගෝස්තු 30 වනදා සිට පියවර ගෙන තිබේ. මෙගාවොට් 900ක සම්පූර්ණ ධාරිතාවයක් සහිත නොරොච්චෝලේ බලාගාරය, ඊයේ දිනයේ උපරිම විදුලි ඉල්ලුම (Peak Demand) පැවති අවස්ථාවේදී ජාතික පද්ධතියට සපයා ඇත්තේ මෙගාවොට් 282ක ධාරිතාවක් පමණක් වීම විශේෂත්වයකි.

මෙලෙස ගල් අඟුරු බලාගාරයෙන් අහිමි වන විදුලි ධාරිතාවය පියවා ගැනීම සඳහා මේ වන විට ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති අතර, ඒ සඳහා දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක් පමණ අමතරව වැය වේ. ඩීසල් බලාගාරයකින් ජනනය කෙරෙන එක් විදුලි ඒකකයක් සඳහා රුපියල් 120ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන පසුබිමක, විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 37ක් ලෙස පවතින බවත්, මෙය දැවැන්ත මූල්‍ය අර්බුදයකට පාර කපන බවත් මෙම දත්ත මඟින් තහවුරු වේ.

බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවන මෙම පරිපාලනමය සහ මූල්‍යමය අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියි.
"අප පෙන්වා දුන් බලශක්ති අර්බුදය පැමිණ තිබේ. හැකි ඉක්මනින් විසඳුම් කරා යා යුතුව ඇත. රටට ඇත්ත කියන්න. ගල් අඟුරු බලාගාරයේ අවසන තොග පවා මේ වනවිට භාවිතයට ගනිමින් සිටින අතර, බලාගාරය ක්‍රියාත්මක කළයුතු ක්‍රමය මෙය නොවේ... කිරිපිටි, පාන්පිටි වලින් රටේ ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් (ජාතික ධනය) ගල් අඟුරු වංචා හමුවේ මෙසේ විනාශ කර දැමීම කෙතරම් යුක්ති සහගතද..?"
මූලාශ්‍රය: පාඨලී චම්පික රණවක නිල ෆේස්බුක් පිටුව

