ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, එකඟ වූ ධුර කාලය
අවසන් වීමට පෙර තමන්ව එම තනතුරෙන් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් (SLC) සහ ක්‍රිකට් පරිවර්තන කමිටුවෙන් වන්දි ඉල්ලා නඩු මගට පිවිසීමට තීරණය කර ඇත.
මෙලෙස අසාධාරණ ලෙස තම කමිටුව ඉවත් කිරීම තුළින් සිය කීර්තිනාමයට මෙන්ම වෘත්තීය ජීවිතයට දැඩි හානියක් සහ මූල්‍යමය පාඩුවක් සිදුවී ඇති බව ඔහු පෙන්වා දෙයි.
පත්වීම සහ හදිසි ඉවත් කිරීම
2025 දෙසැම්බර් 16 වැනිදා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගේ සභාපතිත්වයෙන් යුත් පස්දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් වසර දෙකක ධුර කාලයක් සඳහා පත් කරන ලදී. තරංග පරණවිතාන, ඉන්දික ද සේරම්, විනෝදන් ජෝන් සහ රසාංජලී ද අල්විස් එහි සෙසු සාමාජිකයෝ වූහ.
නව ක්‍රිකට් පරිවර්තන කමිටුව පත්වීමෙන් අනතුරුව, සිය ධුර කාලය ලබා මාස 4ක් පමණ ගතවූ තැන එනම් 2026 මැයි 21 වැනිදා කපිල විජේගුණවර්ධන ගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කෙරුණි.
මෙලෙස නව තේරීම් කමිටුව පත් කිරීමට පෙර පැරණි කමිටුව ඉවත් කිරීම සඳහා නිසි කරුණු දැක්වීමක්, පූර්ව දැනුම්දීමක් හෝ නිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය කර නොමැති බවට චෝදනා එල්ල වේ. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මේ පිළිබඳව ලිඛිතව කරුණු විමසුවද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.
සෙසු සාමාජිකයන්ට වන්දි සහ නව තනතුරු
තමන්ව අසාධාරණ ලෙස ඉවත් කිරීමට එරෙහිව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ ඉන්දික ද සේරම් විසින් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එන්තරවාසි (LoD) යොමු කර තිබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රිකට් පරිවර්තන කමිටුව පහත පියවර ගෙන ඇත.
- කමිටු සභාපතිවරයා හැර සෙසු සාමාජිකයන් සිව්දෙනා සමග සමථයකට පත්වෙමින්, එක් අයෙකුට රුපියල් ලක්ෂ 32ක් (බදු අඩුකිරීමෙන් පසු ලක්ෂ 24ක්) බැගින් ලබා දීම.
- ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග නොගන්නා බවට ඔවුන්ගෙන් පොරොන්දු පත්‍ර ලබා ගැනීම.
- තරංග පරණවිතාන සහ විනෝදන් ජෝන් යන අයට පිළිවෙලින් ශ්‍රී ලංකා 'ඒ' සහ නැගී එන කණ්ඩායම්වල තනතුරු ලබා දීම.
නීතිමය පියවර සඳහා පදනම
සෙසු සාමාජිකයන් සමඟ සමථයකට පත් වුවද, හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සමඟ එවැනි කිසිදු සාකච්ඡාවක් හෝ එකඟතාවක් සිදු කර නොමැත. මේ හේතුවෙන් ඔහු ඉල්ලා සිටින වන්දි මුදල සඳහා ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් පාදක වී තිබේ.
- අදාළ පත්වීමේ පොරොන්දු රාජකාරි කාලය (වසර 2ක කාලය) සපිරෙන තුරු නියමිතව තිබූ මාසික දීමනාවල එකතුව.
- අහේතුකව සහ අත්තනෝමතිකව තනතුරෙන් ඉවත් කිරීම නිසා සිය වෘත්තීය ජීවිතයට සහ කීර්තිනාමයට සිදුවූ හානිය.
ප්‍රමෝද්‍යගේ පෙර වාර්තා
සිය දෙවැනි ධුර කාලය තුළ මෙලෙස කඩිනමින් ඉවත් කරනු ලැබුවද, 2021 වසරේදී ඔහුගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අත්කර ගත්තේය.
දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසක් ජාතික කණ්ඩායමට හඳුන්වා දීමට ඔහු කටයුතු කළ අතර, වසර 8කට පසු ආසියානු කුසලාන ශූරතාවක් දිනා ගැනීම, ආසියානු කුසලාන අනුශූරතාවක් හිමිකර ගැනීම, වසර 30කට පසු ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබීම මෙන්ම 2016න් පසු පළමුවරට විස්සයි-20 ලෝක කුසලානයක් සඳහා සෘජුවම සුදුසුකම් ලබාගැනීම ද එම ජයග්‍රහණ අතර වේ.

