ටිබෙට් බෞද්ධ ආරාමයක් ජලයෙන් යටවීමට හේතු වන මතභේදාත්මක චීන වේල්ලක්
ඉදිකිරීමට එරෙහිව සාමකාමීව විරෝධය පෑ ටිබෙට් ජාතික බෞද්ධ භික්ෂුවක්, චීන බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව වධහිංසාවලට ලක්වීමෙන් පසු ගෙවීගිය වසර දෙකක කාලය පුරාම තවමත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.
වොෂින්ටන් නුවර පදනම් කරගත් 'International Campaign for Tibet' (ICT) සංවිධානය පවසන පරිදි, ඔහු මේ වන විට සිචුවාන් පළාතේ චෙන්ග්ඩු (Chengdu) නුවර පිහිටි රෝහලක දැඩි සත්කාර ලබමින් සිටියි.
මෙසේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නේ කාර්ඩ්සේ (Kardze) ප්‍රදේශයේ යේනා (Yena) ආරාමයේ පරිපාලන කටයුතු සිදු කළ 46 හැවිරිදි ගොන්පෝ සෙරින්ග් (Gonpo Tsering) නමැති භික්ෂුවයි.
ඓතිහාසික ආරාම විනාශ කරන කම්ටොක් වේල්ල
2024 වසරේ පෙබරවාරි මාසයේදී චීනය විසින් ඉදිකිරීමට සැලසුම් කළ කම්ටොක් (Kamtok) ජල විදුලි වේල්ලට එරෙහිව පැවති විරෝධතාවලට නායකත්වය දුන් බවට චෝදනා කරමින් චීන බලධාරීන් විසින් මෙම භික්ෂුව අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම වේල්ල ඉදිකිරීම හේතුවෙන් සියවස් ගණනාවක් පැරණි යේනා සහ වොන්ටෝ (Wonto) යන ඓතිහාසික ආරාම මෙන්ම තවත් ගම්මාන සහ පූජනීය ආගමික ස්ථාන රැසක් ජලයෙන් යටවීමේ අවදානමක් පැවති අතර, ප්‍රදේශවාසී ටිබෙට් ජාතිකයින් සහ භික්ෂූන් වහන්සේලා ඊට දැඩි සේ විරුද්ධ වූහ.
අමානුෂික වධහිංසා සහ ඛේදවාචකය
අත්අඩංගුවේ පසුවන කාලය තුළ එල්ල වූ දැඩි ශාරීරික හිංසන සහ වධහිංසා හේතුවෙන් ගොන්පෝ සෙරින්ග් භික්ෂුව කඩිනමින් චෙන්ග්ඩු හි රෝහලක් වෙත ඇතුළත් කර ඇති අතර, එදා සිට අද දක්වාම ඔහු එහි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙයි.
වාර්තා වන ආකාරයට, මේ වන විට ඔහුට නැඟිටීමට හෝ කතා කිරීමට නොහැකි අතර ආහාර ලබා දෙන්නේද නල මාර්ගයෙනි. ඔහු අවට සිටින පුද්ගලයින් හඳුනාගැනීමට හෝ ප්‍රතිචාර දැක්වීමට නොහැකි තරමටම ඔහුගේ තත්ත්වය බරපතල වී ඇත.

සිය පුත්‍රයා අත්අඩංගුවට පත්වීම සහ ඔහුගේ ඛේදනීය තත්ත්වය දරාගත නොහැකි වූ ගොන්පෝ සෙරින්ග්ගේ පියා වන ලොබ්සැන්ග් ඩොර්ජී (Lobsang Dorjee) ද, පසුගිය 2025 වසරේ සැප්තැම්බර් 21 වන දින ශෝකය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව ICT සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
චීන බලධාරීන්ගේ දැඩි මර්දනය
මෙම අමානුෂික වධහිංසා සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු කිරීමට හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා වන්දි ලබා දීමට චීන බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැත.
ඒ වෙනුවට ඔවුන් රෝහල තුළ දැඩි සෝදිසි කිරීම් සහ නිරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කර ඇති අතර, අමුත්තන්ට රෝහලට ඇතුළුවීම, ඡායාරූප හෝ වීඩියෝ ලබාගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

2024 වසරේ පැවති මෙම විරෝධතාවය හේතුවෙන් ටිබෙට් ජාතිකයින් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට පත් විය. මහජන සාමය කඩ කිරීමේ චෝදනාව මත යේනා ආරාමයේ ප්‍රධානියා වන ජම්යැන්ග් ලෙක්ෂේ (Jamyang Lekshe) භික්ෂුවට ද වසර 4ක සිරදඬුවමක් නියම වූ අතර, අසාධ්‍ය තත්ත්වයේ පසුවුවද ගොන්පෝ සෙරින්ග් භික්ෂුවටද වසර 3ක සිරදඬුවමක් නියම කර තිබේ.
තාවකාලිකව නැවතුණු ව්‍යාපෘතිය සහ බලපෑම්
මේ වන විට කම්ටොක් වේල්ලේ ඉදිකිරීම් තාවකාලිකව නතර කර ඇතත්, රජයේ ඉදිකිරීම් ව්‍යාපෘතිවලට බාධා නොකරන බවටත් නිල නියෝගවලට දැඩිව කීකරු වන බවටත් පොරොන්දු වෙමින් ලිඛිත ලියවිලිවලට අත්සන් කරන ලෙස චීන බලධාරීන් විසින් ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලාට දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.
කම්ටොක් වේල්ල යනු, ඩ්‍රිචු (යැංසි) ගඟ ආශ්‍රිතව ජල විදුලි වේලි 13ක් ඉදිකිරීම සඳහා චීන රජය විසින් ක්‍රියාත්මක කරන දැවැන්ත සැලසුමක එක් කොටසක් පමණක් වන අතර, ඉන් 9ක්ම ටිබෙට් ස්වයං පාලන කලාපයට සහ සිචුවාන් පළාතට මායිම්ව පිහිටා තිබේ.

“ගොන්පෝ සෙරින්ග්ගේ සිදුවීම හුදකලා එකක් නෙවෙයි. මෙය ටිබෙටය තුළ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් පවතින ක්‍රමානුකූල රටාවට කදිම උදාහරණයක්. මේ සඳහා ජාත්‍යන්තරයේ අවධානය සහ මැදිහත්වීම අත්‍යවශ්‍යයි”
යනුවෙන් ICT සංවිධානයේ සභාපතිනි ටෙන්චෝ ග්‍යාට්සෝ (Tencho Gyatso) ප්‍රකාශ කර සිටින්නීය.


