SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයකින් සමන්විත සන්ධානයක නියෝජිතයින් ඊයේ

(03) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ.

 

 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ උතුරු, නැගෙනහිර මෙන්ම කඳුකර ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත.

 

 

 

 

මෙහිදී ඉලංගෙයි තමිල් අරසු කච්චි ප්‍රධාන ලේකම් එම්.ඒ. සුමන්තිරන් අවධාරණය කර තිබුණේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තනි පක්ෂයක වුවමනාවට කඩිමුඩියේ සම්පාදනය නොකළ යුතු බවයි.

 

 

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය රජයේ ස්ථාවරය බව පවසා තිබේ. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මාතෘකාව මේ හරහා යළිත් වරක් දේශපාලන කරළියට පැමිණ තිබේ.

 

 

 

මීට අමතරව, වතු කම්කරුවන්ට පර්චස් 10ක ඉඩම් අයිතිය ලබාදීම සහ යුද ගැටුම් හේතුවෙන් නිවාස අහිමි වූවන්ට 2027-2028 අයවැය හරහා නිවාස 13,000ක් ඉදිකර දීම පිළිබඳව ද මෙහිදී එකඟතා පළ වී තිබේ.

 

කෙසේ වෙතත්, මෙම දේශපාලනික හමුවීම් භූ දේශපාලනිකව සහ තාර්කිකව විශ්ලේෂණය කිරීමේදී ශ්‍රී ලාංකේය දේශපාලනයේ සැඟවුණු ඛේදනීය යථාර්ථයක් මනාව පැහැදිලි වෙයි.

 

 

ලංකාවේ දකුණේ දේශපාලනඥයෙකු "නිවැරදි" දේශපාලනඥයෙකු බවට පත් කර ගැනීමේ හෝ ඔහුට බලය ලබා දීමේ ක්‍රියාවලියට හැමදාමත් ප්‍රබලවම බලපෑම් එල්ල වූයේ මෙවැනි සුළුජන දේශපාලන නායකයින්ගෙනි.

 

 

දකුණේ ජනතාව විසින් ඡන්දයෙන් ප්‍රතික්ෂේප කරනු ලබන හෝ බහුතර බලයක් තනිව ගොඩනගාගත නොහැකි නායකයින්ට බලය ලබා ගැනීම සඳහා හැමදාමත් මේ සුළුජන නායකයින්ගේ සහාය අත්‍යවශ්‍ය විය.

 

එහෙත් අවාසනාව නම්, ඇමතිකම් සහ වරප්‍රසාද වෙනුවෙන් කේවල් කරන මෙම නායකයින් කිසිදිනෙක තම ජනතාවගේ සැබෑ වුවමනාකම් දිහාවත් ඇහැක් ඇර නොබැලීමයි.

 

 

අදටත් උතුරු නැගෙනහිර මෙන්ම කඳුකරයේ සාමාන්‍ය පුරවැසියාගේ ප්‍රශ්න, මෙම නායකයින් විසින් භාවිතා කරන්නේ දේශපාලන බන්දේසියේ තබා කේවල් කර බලය ලබාගන්නා තුරුම්පුවක් ලෙස පමණි.

 

 

ඒ හේතුවෙන්ම, දශක ගණනාවක් පුරා එකී පීඩිත ජනතාවගේ ඇස්වල ඉතිරිව ඇත්තේ බලවත් කලකිරීම, දුක, මහන්සිය සහ අපේක්ෂා භංගත්වය පමණි.

 

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු දශක තුනක යුද්ධය නිමා වුවද, ඒ අහිංසක මිනිසුන්ගේ ඇස්වලට නැවුම් දීප්තියක් ගෙන ඒමට මේ කිසිදු කේවල් කිරීමේ දේශපාලනයකට අදටත් හැකි වී නැත.

 

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ මෙම සුළුජන ඡන්ද කේවල් කිරීමේ සාම්ප්‍රදායික උගුලට හසු නොවූ එකම නායකයා වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පමණි.

 

සුළුජන නායකයින්ගේ කොන්දේසිවලට යටත් නොවී, හුදෙක් බහුතර සිංහල ජනවරමකින් පමණක් ඔහු ජනාධිපති පුටුවට පත් වූයේ එම සාම්ප්‍රදායික දේශපාලන බ්ලැක්මේල් කිරීම්වලට තිත තබමිනි.

 

 

එහෙත් කලාපීය භූ-දේශපාලනික බලවේග, අභ්‍යන්තර ආර්ථික අර්බුද සහ විවිධ කුමන්ත්‍රණ හමුවේ එම ඓතිහාසික ව්‍යතිරේකයට විශාල මිලක් ගෙවීමට ගෝඨාභය රාජපක්ෂ ට සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ ඔහුට තම පාලන කාලයවත් නිසි පරිදි සම්පූර්ණ කරගැනීමට නොහැකි වීමයි.

 

 

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කතාබහ යළිත් කරළියට පැමිණ ඇති මේ මොහොතේ, වත්මන් පාලනය ද මුහුණ දී සිටින්නේ එම පැරණි කේවල් කිරීමේ බලවේගවලටමය. සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විකුණා දේශපාලන පැවැත්ම තහවුරු කරගන්නා මෙම උගුල නිවැරදිව කළමනාකරණය කරගැනීම ඉදිරි දේශපාලන ගමන්මගේ දැඩි තීරණාත්මක සාධකයක් වනු ඇත.

 

 

#සමාරා

නවතම ලිපි