ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ යහපාලනය, පාරදෘශ්‍යභාවය සහ සදාචාරාත්මක නායකත්වය
පිළිබඳ කතාබහ වන සෑම විටම පෙරමුණෙන්ම කියැවෙන නාමයකි, හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක හා අයි.සී.සී. තරග තීරක රොෂාන් මහානාම. පරිපාලනයේ අක්‍රමිකතාවලට එරෙහිව ප්‍රසිද්ධියේ හඬ නැඟූ, මෙන්ම ප්‍රතිපත්තිමය පදනමක සිට තනතුරුවලින් පවා ඉල්ලා අස්වීමට පසුබට නොවූ චරිතයක් ලෙස ඔහු තබා ඇති ප්‍රතිරූපය ඉහළය.
කෙසේ වෙතත්, වත්මන් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ක්‍රියාකාරීත්වය හමුවේ රොෂාන් මහානාමගේ මෙම සදාචාරාත්මක පදනම තියුණු අභියෝගයකට ලක්ව තිබේ.

ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රියංග ද සිල්වා හිමිකාරීත්වය උසුලන, හිටපු ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක රංගන හේරත් ප්‍රධාන පුහුණුකාරීත්වය දරන 'දඹුල්ල සික්සර්ස්' කණ්ඩායමේ වැටුප් සහිත උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ රොෂාන් මහානාමය. අනෙක් පසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යුහමය හා පාලන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා පත්කර ඇති ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රමුඛ සාමාජිකයකු ලෙසද ඔහු කටයුතු කරයි.
මෙම සිදුවීමේ ඇති බරපතලම නීතිමය සහ ප්‍රතිපත්තිමය පරස්පරතාව වන්නේ, ක්‍රිකට් ආයතනයේ හෝ පරිපාලනයේ නිරත වන කිසිදු තැන්පත් තැනැත්තෙකුට එකී ආයතන යටතේ පාලනය වන ක්‍රීඩා සමාජයක, සංගමයක හෝ ලීග් කණ්ඩායමක නිලයක් දැරිය නොහැකි බවට නියෝග නිකුත් කරන්නේද මෙම පරිවර්තන කමිටුවම වීමයි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධාන, නියාමන සහ ප්‍රතිපත්තිමය තීරණ ගන්නා ඉහළම කමිටුවක සිටිමින්, එම ලීගයේම පෞද්ගලික කණ්ඩායමකින් වැටුප් සහිත තනතුරක් දැරීම සෘජු ළබැඳියාවන්ගේ ගැටුමකි.
1973 අංක 25 දරන ක්‍රීඩා පනත සහ ඊට අදාළ රෙගුලාසි මෙන්ම අයි.සී.සී. ආචාරධර්ම පද්ධතිය යටතේ ද 'ළබැඳියාවන්ගේ ගැටුම' යන්න ඉතා පැහැදිලිව විග්‍රහ කර ඇත. ජාතික ක්‍රීඩා සංගමයක හෝ ඊට අනුබද්ධ තීරණ ගන්නා මණ්ඩලයක නිලයක් දරන තැනැත්තෙකු, එම සංගමයට අනුබද්ධිත තරගාවලියක වාණිජ හෝ උපදේශක තනතුරක් දැරීම නීතිමය වශයෙන් තහනම් වේ. තමන් සහභාගී වන හෝ නියෝජනය කරන පෞද්ගලික කණ්ඩායමකට වාසියක් වන පරිදි ප්‍රතිපත්ති තීරණ ගැනීමට ඉඩකඩ ඇති ඕනෑම අවස්ථාවක් නියාමන රීතීන්ට සම්පූර්ණයෙන්ම පටහැනිය.
මෙය නීතිමය බාධාවකට එහා ගිය බරපතල සදාචාරාත්මක අර්බුදයකි. ක්‍රිකට් පද්ධතිය ශුද්ධ පවිත්‍ර කිරීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට පැමිණි කමිටුවක සාමාජිකයකුම, එකී කමිටුවේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේ නම්, එමගින් මුළු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේම විශ්වසනීයත්වය මුළුමනින්ම බිඳ වැටේ. සාමාන්‍ය පරිපාලකයින්ට සහ ක්‍රීඩකයින්ට අදාළ වන නීති හා සදාචාරාත්මක රීතීන් තමන්ට අදාළ නොවේ යැයි උපකල්පනය කිරීම ආදර්ශමත් නායකත්වයක ලක්ෂණයක් නොවේ.
රොෂාන් මහානාම යනු අතීතයේදී තමන්ගේ හෘද සාක්ෂියට එකඟ විය නොහැකි තැන්වලදී තනතුරු අතහැර යාම සිරිතක් කරගත් අයෙකි. එවැනි සදාචාරාත්මක පසුබිමක් ඇති අයකුට නීතිය සහ ප්‍රතිපත්තිය හමුවේ එකවර දෙපැත්තක සිටීමට හැකියාවක් නැත. තමන් මෙතෙක් රැකගෙන ආ සදාචාරාත්මක ප්‍රතිරූපය, නීතිමය පදනම සහ මහජන විශ්වාසය සුරැකීම වෙනුවෙන් මෙම පරස්පර තනතුරු දෙකෙන් එකක් අතහැරීමේ වගකීම සහ තීරණය සෘජුවම සතු වන්නේ ඔහුටමය.

