SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

රෝහණ විජේවීරයන්ගේ ඝාතනයෙන් පසු ඔහුගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර සහ එවකට

කුඩා දරුවන් ලෙස සිටි දරුවන් හයදෙනා රාජ්‍ය ආරක්ෂාව යටතට පත් කෙරිණි. එහෙත්, ආරක්ෂාව නමින් ආරම්භ වූ එම ක්‍රියාවලිය අද වනවිට දශක හතරකට ආසන්න කාලයක් පුරා දිවෙන, සිවිල් සමාජයෙන් සම්පූර්ණයෙන්ම හුදෙකලා වූ ඛේදවාචකයක් බවට පත්ව තිබේ.

 

 

ඊයේ (21) පාර්ලිමේන්තුවේදී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් මතු කරන ලද ප්‍රශ්නයක් හරහා මෙම ඛේදවාචකය යළිත් සමාජ කතිකාවට එක්විය. ඊට පිළිතුරු දුන් හිටපු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර ප්‍රකාශ කළේ, විජේවීර සහෝදරයාගේ බිරිඳගේ සහ දරුවන්ගේ නම් හෙළි කිරීම සදාචාරාත්මක නොවන බැවින් රජය එම තොරතුරු ලබා නොදෙන බවයි. 1999 අගෝස්තු 22 දක්වා ත්‍රිකුණාමලය නාවික කඳවුරේද, ඉන්පසුව මේ දක්වා වැලිසර නාවික කඳවුරේද මෙම පවුල රඳවා සිටින බව අමාත්‍යවරයා එහිදී තහවුරු කළේය.

 

 

Life with a revolutionary leader | Daily FT

 

 

නම් හෙළි නොකරන්නේ මන්දැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා දිගින් දිගටම ප්‍රශ්න කළ අතර, විජේවීර ඝාතනයට සම්බන්ධ යැයි පැවසෙන පුද්ගලයින් වර්තමාන රජය සමඟ කටයුතු කරන බවටත් ඔහු චෝදනා කළේය. මේ අවස්ථාවේදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මැදිහත් වෙමින් කියා සිටියේ, විජේවීර ඝාතනයට වගකිවයුත්තන් පිළිබඳව ජයසේකර මන්ත්‍රීවරයා සිය පක්ෂ නායකත්වයෙන්ම ප්‍රශ්න කළ යුතු බවයි. එසේම, කතානායකවරයාගේ අනුමැතිය සහිතව න්‍යාය පත්‍රයට ඇතුළත් කළ ප්‍රශ්නයකට අමාත්‍යවරයා සම්පූර්ණ පිළිතුරක් දිය යුතු බව බදුල්ල දිස්ත්‍රික් සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි පෙන්වා දුන්නද, නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ස්ථාවරය වෙනස් කළේ නැත.

 

 

මේ සියලු වාද විවාද හුදෙක් දේශපාලන ප්‍රහාරවලට අදාළ කාරණා පමණක් විය හැකිය. එහෙත් ඒ කතා  මධ්‍යයේ අප අමතක නොකළ යුතු ප්‍රධානතම කාරණයක් තිබේ. මුල් කාලීනව 88-89 භීෂණ සමයෙන් පසු ඔවුන්ට එල්ල විය හැකිව තිබූ තර්ජන හේතුවෙන් කඳවුරු තුළ රඳවා තබා ගැනීම සාධාරණීකරණය කළ හැකි වුවද, අද වැනි දිනකත් ඔවුන්ට සාමාන්‍ය සමාජයට අනුගත වීමට වැඩපිළිවෙළක් නොමැති වීම බරපතල ගැටලුවකි.

 

Daily Mirror - Sri Lanka Latest Breaking News and Headlines - Print Edition  JVP didn't treat our family well

 

මෙය හුදෙක් ආරක්ෂාව සැපයීමකට වඩා, දේශපාලන හේතූන් මත ඔවුන්ව සමාජයෙන් සඟවා තැබීමේ දීර්ඝකාලීන රාජ්‍ය උපායමාර්ගයක් බවට පත්ව ඇත. දශක හතරක් තිස්සේ මාරු වූ කිසිදු රජයක් ඔවුන්ව සිවිල් සමාජයට මුදා හැරීමේ වගකීම භාරගෙන නැත.

 

 

මෙම තත්ත්වය වඩාත් ඛේදනීය වන්නේ, මෙරට දශක තුනක් පුරා බෙදුම්වාදී යුද්ධයක් මෙහෙයවූ එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පවුලේ ඉතිරි වූ සාමාජිකයින් පවා මෙලෙස දශක ගණනාවක් කඳවුරුවලට ගාල් කර නොමැති පසුබිමකය. යුද්ධය අවසන් වීමෙන් පසු ප්‍රභාකරන්ගේ දෙමාපියන් වැනි සමීපතමයින් නීතිමය ක්‍රියාවලියකින් පසු සාමාන්‍ය සමාජයට මුදා හැරීමට එවකට බලධාරීන් කටයුතු කළේය. එසේ නම්, දකුණේ සන්නද්ධ අරගලයක නිරත වූ නායකයෙකුගේ පවුලකට පමණක් දශක හතරක් පුරා කඳවුරු ජීවිතයක් උරුම කර දීම කිසිසේත්ම යුක්ති සහගත කළ නොහැක.

 

 

වර්තමාන දේශපාලන භූමිකාව තුළ මෙම පවුල සමාජගත වීම සුවිශේෂී සාධකයකි. අතීත සන්නද්ධ අරගලයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට අවතීර්ණ වී සිටින වත්මන් පාලක බලවේගයට පවා විජේවීර පවුල සිවිල් සමාජයට පැමිණීම "සංවේදී දේශපාලන කාරණාවක්" විය හැකිය. දේශපාලනික උකසක් බවට පත්ව ඇති මෙම පවුල ප්‍රසිද්ධියට පත්වීම, අතීත සිදුවීම් යළි ඉස්මතු කිරීමට සහ විවිධ පාර්ශ්වයන්ට දේශපාලන ආයුධයක් නිර්මාණය කර දීමට හේතු වනු ඇතැයි පාලකයින් සිතනවා විය හැකිය.

 

 

පුද්ගලිකත්වයට ගරු කරමින් නම් හෙළි කිරීම "සදාචාරාත්මක නොවන" බව රජය පවසයි. මාධ්‍ය ආචාරධර්ම අනුව සහ කතුවරුන්ගේ වගකීම අනුව බලන කල පුද්ගල අනන්‍යතාව ආරක්ෂා කිරීම නිවැරදි වුවද, සැබෑ සදාචාරාත්මක අර්බුදය නිර්මාණය වී ඇත්තේ කුඩා කල සිටම නාවික කඳවුරු තුළ කොටුවී, සාමාන්‍ය අධ්‍යාපනයක්, සමාජ ඇසුරක් හෝ නිදහස් ජීවිතයක් අහිමි කරමින් පරම්පරාවක්ම සිරකරුවන් සේ තබා ගැනීමෙනි. එය මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

 

 

විජේවීර පවුල සමාජයට මුදා හැරීමේදී සමාජය ඔවුන් දෙස බලන කෝණය හා මාධ්‍ය අවධානය අභියෝගයක් විය හැකි බව සැබෑවකි. එහෙත් ඕනෑම පුරවැසියෙකුට බියකින් තොරව සමාජයේ ජීවත් වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම රජයක මූලික වගකීමකි. රෝහණ විජේවීරගේ දේශපාලන දර්ශනය කුමක් වුවත්, ඔහුගේ බිරිඳ සහ දරුවන්ට සාමාන්‍ය පුරවැසියන් ලෙස නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය කිසිවෙකුට උදුරා ගත නොහැක. අතීත දේශපාලන ඛේදවාචකයක වින්දිතයන් බවට පත්වූ ඔවුන්ට අවශ්‍ය වන්නේ හුදෙක් නම් සැඟවීමක් නොව, ස්වාධීනව සහ ගෞරවනීය ලෙස සිවිල් සමාජයට අනුගත වීමට අවශ්‍ය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමයි.

 

 

# සමාරා පරණවිතාන

නවතම ලිපි