SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මේ දවස්වල හතු පිපෙනවාටත් වඩා වේගයෙන් බිහිවන "වගා පිරමීඩ" ව්‍යාපාරවල

තිරය පිටුපස ඉන්නේ කවුදැයි ඔබ දන්නවාද? පුදුමයකට මෙන් මේ අලුත් 'ගොවියන්ගෙන්' වැඩි පිරිසක් දිවයිනේ ප්‍රසිද්ධ රක්ෂණ සමාගම්වල සේවය කරන, නැතහොත් සේවය කළ නියෝජිතයන් බව මේ වනවිට අනාවරණය වී හමාරය.

 

 

මේ කට්ටියේ ප්‍රධාන 'ඩීල් පොට්' එක ගැනත් දැන් රහසක් නොවේ. ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ 'වැනිලා ෂොප්' එකක්, මේ ග්‍රීන් ප්ලාන්ටේෂන් පිරමීඩ ගනුදෙනුවල නිල නොවන මූලස්ථානය බවට පත්ව ඇත.

 

මේ අතර, මෑතකදී යළිත් ආන්දෝලනයට ලක්වූ CSN නාලිකාව වසර විස්සක බද්දකට අරගෙන නාලිකා ප්‍රධානීන් ලෙස පුටු රත් කරන්නේද, කලින් ඉන්ෂුවරන්ස් විකුණූ මෙවැනිම අතරමැදියන් බව ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

 

 

රක්ෂණ නියෝජිතයන් යනු කෙසේ හෝ කරකවා සේවාදායකයා තම දැලේ පටලවා ගැනීමේ කලාව මැනවින් ප්‍රගුණ කළ පිරිසකි. වගාවක් නැති 'මායාමය වගා ව්‍යාපාර' සඳහා අහිංසක ජනතාවගේ සාක්කුවලට විද ජනතා වාරික එකතු කර ගැනීමට, පිරමීඩ මුදලාලිලාට මීට වඩා කදිම සේවක මණ්ඩලයක් කොහෙන් සොයන්නද? මහ බැංකුව මේ ගැන අනතුරු අඟවා තිබියදීත්, ජනතාවගේ මුදල් කොල්ලකෑමට රක්ෂණකරුවන් යොදාගැනීම කෙරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අවධානය වහාම යොමුවිය යුතුව ඇත.

 

bf25f34f-e3a0-485f-900d-afd9a70be829.jpeg

 

අවාසනාවකට අපේ රටේ මිනිසුන්ගේ ඇස් ඇරෙන්නේ සිදුවිය යුතු සියල්ල සිදුවී, හත්පොළේ ගා ගත්තාට පසුවය. විමර්ශන අංශවලට අප පවසන්නේ අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා පලක් නැති බවය.

 

මහ බැංකු අධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උගුර ලේ රහ වනතුරු මාධ්‍යයට නිවේදන නිකුත් කරමින් පිරමීඩ ගැන අනතුරු අඟවද්දීත්, පෞද්ගලික රූපවාහිනී නාලිකාවල ඇසිපිය හෙළන වාරයක් පාසා යන මේ දැවැන්ත දැන්වීම් ඔබත් දකින්නට ඇත. මේසා විශාල මුදලක් රූපවාහිනී නාලිකාවලට විසි කරන්නට ඔවුන්ට සල්ලි කොහෙන්ද? මේවා දූෂණ විමර්ශන ඒකකවල අවධානයට ලක් වී නැත්තේ ඇයි? එපමණක් නොව, මේ හොර ජාවාරම්වල දැන්වීම් හරහා නිරන්තරයෙන් තම මුහුණු පෙන්වීමට තරම් මොවුන්ට ඇත්තේ මොන වගේ ලැජ්ජා නැති මානසිකත්වයක්ද?

 

මේ හා බැඳුණු අනෙක් මිත්‍යාව නම් 'Bio Foods' ජාලය හරහා මවන දැවැන්ත අපනයන සිහිනයයි.

 

1993 දී ආරම්භ කළ බයෝ ෆුඩ්ස් ආයතනය සහ Agroventures Plantations ආයතනය වර්තමානයේදී එකපාරටම "Bio Foods Agroventures (Pvt) Ltd" නමින් ඒකාබද්ධ වී එකම කෘෂිකාර්මික සමූහයක් ලෙස දැන් ක්‍රියාත්මක වීම අරඹා ඇත.

 

 

ඔවුහු 10,000කට අධික ගොවි ජාලයක් එක්කර ගනිමින් 2030 වන විට ඩොලර් බිලියනයක අපනයන ආදායමක් ගෙන ඒමට 'අපනයන සැකසුම් නගරයක්' (Export City) සාදන බවට පුරසාරම් දොඩති. දශක ගණනාවක් තිස්සේ මෙරට කාබනික නිෂ්පාදන අපනයනයේ නියැලෙන ප්‍රවීණයන් පවා මවිත කරවන මෙවැනි ප්‍රකාශ හරහා, තව වසර තුන හතරකින් ඩොලර් බිලියනයක් උපයනවා යැයි පවසමින් ගොවි ජනතාවට කෝටි ගණන් ඉපයිය හැකි බවට මංමුලා කරන්නේ කුමන පදනමකින්ද? සිහිනය යනු මිනිසාගේ එකම විකල්පය බවට පත්ව ඇති නිසාම මෙවැනි ෆැන්ටසි විකුණා කෑමට ඔවුන්ට හැකි වී තිබේ.

 

 

කෙසේ වුවද අතිශය ඛේදනීය තත්ත්වය නම්, මේ දැවැන්ත අනතුර පෙනි පෙනීත් අපේ ඇතැම් ජනතාව තවමත් මේවාට රැවටීමය. ජනතාවගේ වත්මන් ෆැන්ටසිය වී ඇත්තේ කෙටි පාරෙන් ධනවතෙකු වී ක්ෂණික මුදල් ඉපයීමය. ඒ වෙනුවෙන්, ජීවිත කාලයම දුක් මහන්සි වී උපයාගත් අර්ථසාධක අරමුදල (EPF), ඉඩමක් විකුණා ගත් මුදල හෝ රාජ්‍ය බැංකුවක දාගත් ස්ථාවර තැන්පතුව, කිසිදු වගවීමක් හෝ විශ්වාසදායක බවක් නැති මේ පිරමීඩ වංචාකරුවන්ගේ අතට පත් කිරීමට ඔවුහු පසුබට නොවෙති. මොවුන් මේ අමනෝඥ වැඩෙන් පාඩමක් ඉගෙන ගන්නේ කවදාද?

 

මේ කතාවේ රසවත්ම හරිය තවම ඉදිරියටය.

 

මෑත ඉතිහාසයේ ලොකුම ප්‍රවණතාව වූ මේ වගා පිරමීඩ පිටුපස සිටින්නේ අපේ හිටපු සහ වත්මන් විපක්ෂයේ දේශපාලකයන් බවට ප්‍රබල ඉඟි පළවී ඇත. එපමණක් නොව රජයේ ඉහළ තනතුරු දැරූ මෙන්ම ප්‍රධාන පක්ෂවල මූලිකත්වයන් දැරූ පුද්ගලයන්ද ඒ අතර වෙති. දේශපාලකයන්ගේ 'කළු සල්ලි' සුදු කරගැනීමට සහ ආරක්ෂිතව සඟවා තැබීමට මීට වඩා කදිම රෙදි සෝදන යන්ත්‍රයක් තවත් නැති තරම්ය.

 

 

මේ වගා පිරමීඩවල අධ්‍යක්ෂ මණ්ඩලවල සිටින ඒ දේශපාලන 'මහත්වරුන්' සහ ඊට සම්බන්ධ පුද්ගලයන් කවුද? ඔවුන්ගේ නම් ගම් සහ පැටිකිරිය ඉදිරි අනාවරණයකින් සවිස්තරාත්මකව දිගහැරීමට අප සූදානම්ය. එතෙක්, ඔබේ මුදල් පසුම්බිය මේ කූට රක්ෂණ-වගා නියෝජිතයන්ගෙන් බේරාගෙන පරිස්සම් කරගන්න!

 

 

# සිරා

නවතම ලිපි