SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ කරමින් යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා

මෙතෙක් නිසි නෛතික රාමුවක් ක්‍රියාත්මක නොවිණි. මෙම අඩුව පුරවමින්, 2026 වසරේ තුන්වන කාර්තුවේදී නව 'රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) පනත' හඳුන්වා දීමට රජය සූදානම් වේ. ආයෝජන මණ්ඩලයේ (BOI) අධ්‍යක්ෂ ජනරාල් සුලක්ෂණ ජයවර්ධන පෙන්වා දෙන පරිදි, මෙම පනත මගින් මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ පවතින නෛතික හිඩැස් සම්පූර්ණ කරමින් නව ආර්ථික ගමනකට මුල පිරෙනු ඇත.

 

 

මෙම පනතෙහි ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි සීමාවන්, බැඳීම් සහ වගකීම් ඉතා පැහැදිලිව නිර්වචනය කිරීමයි. නව පනතට අනුව PPP ගිවිසුම්, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට සහ ජාතික ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිවලට අනුකූලව දැඩි ලෙස නියාමනය කෙරේ. තවද, යම් ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම්ගත වීමට පෙර අනිවාර්යයෙන්ම එහි මූල්‍යමය වටිනාකම සහ ශක්‍යතා අධ්‍යයනයන් සම්පූර්ණ කළ යුතු වේ.

 

 

මෙවැනි සීමාවන් පැනවීම හරහා රාජ්‍ය දේපළ හා අරමුදල් අවභාවිත වීම වැළකෙන අතර, පෞද්ගලික ආයෝජකයන්ටද රජය වෙනස් වන විට වෙනස් නොවන, පාරදෘශ්‍ය හා සුරක්ෂිත නෛතික පසුබිමක් නිර්මාණය වේ.

 

 

කොළඹ වරාය නගරය (Port City) වැනි දැවැන්ත ආයෝජන කලාප සඳහා මෙම පනත මගින් ඇති කරන බලපෑම ඉතා තීරණාත්මක ය. ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂිකා ප්‍රියංකා සමරවීර පවසන පරිදි, වරාය නගරය තුළ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව පදනම මත ක්‍රියාත්මක කළ හැකි ව්‍යුහාත්මක ව්‍යාපෘති රැසක් මේ වන විටත් හඳුනාගෙන ඇත.

 

 

නිරවුල් නීතිමය රාමුවක් නොමැතිකම හේතුවෙන් මෙතෙක් යම් පසුබෑමකට ලක්ව සිටි විදේශීය ආයෝජකයින්, මෙම නව පනත බලාත්මක වීමත් සමඟ වරාය නගරයේ ව්‍යාපෘති වෙත ආකර්ෂණය කර ගැනීම වඩාත් පහසු සහ විශ්වසනීය වනු ඇත.

 

 

මෙම ආයෝජන පිබිදීම වරාය නගරයට පමණක් සීමා නොවේ. කුරුණෑගල, ගාල්ල, දිගන සහ නුවරඑළිය යන ප්‍රදේශවල තාක්ෂණික උද්‍යාන (Techno-parks) හතරක් PPP ආකෘතිය යටතේ ස්ථාපිත කිරීමට ආයෝජන මණ්ඩලය අපේක්ෂා කරයි. මේ සඳහා අවශ්‍ය සහනදායී ගිවිසුම් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය ඇතිව මේ වන විටත් සකස් කර තිබීම, මෙම ක්‍රියාවලියේ ප්‍රායෝගික සාර්ථකත්වය පෙන්නුම් කරයි.

 

තවද, ආයෝජකයින් දිරිමත් කිරීම සඳහා උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති (SDP) පනත යටතේ ප්‍රාග්ධන දීමනා ඇතුළු දිරිගැන්වීම් රැසක් මෙම නව නීතිමය රාමුව හරහා ලබා දීමට නියමිතය. සමස්තයක් ලෙස ගත් කල, නව PPP පනත හුදෙක් නීතිමය ලියවිල්ලක් පමණක් නොව, රාජ්‍ය සම්පත්වල ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරමින්, පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාව සහ ප්‍රාග්ධනය ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය සඳහා ඵලදායී ලෙස යොදාගත හැකි විධිමත් පාලමක් ලෙස ක්‍රියා කරනු ඇත.

 

 

#නිරෝමි

නවතම ලිපි