SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමිල්නාඩු දේශපාලන කරළිය තුළ යළිත් වරක් දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

සිනමා තරුවකගෙන් දේශපාලන නායකයෙකු බවට පත් වූ ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් 'තමිලග වෙට්ට්‍රි කසාගම්' (TVK) රජය පෙරළා දැමීම ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වූ බව කියන මහා පරිමාණ කුමන්ත්‍රණයක් හෙළිදරව් වීම මීට ප්‍රධාන හේතුව වී ඇත.

 

 

 

කුමන්ත්‍රණයේ ස්වභාවය සහ හෙළිදරව්ව

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම දේශපාලන අර්බුදය නිර්මාණය වී ඇත්තේ මුදල් බලය සහ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ උත්සාහයක් මුල්කරගනිමිනි.

 

TVK පක්ෂයේ මන්ත්‍රී එන්. ඉලෙයිරාජා වෙත ඉන්දීය රුපියල් මිලියන 350ක අතිවිශාල අල්ලසක් ලබා දීමට උපදේශන ආයතනයක් හරහා යෝජනා කර ඇති බවට චෝදනා එල්ල වේ.


මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ සභා කතානායකවරයාට එරෙහි යෝජනාවකට සහාය ලබා ගැනීම සහ TVK මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ලවා එකවර ඉල්ලා අස්වීමේ ලිපි ලබා දී රජයේ බහුතරය අහිමි කිරීමයි.


මෙම පැමිණිල්ලට අනුව චෙන්නායි පොලීසිය විසින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් අයෙකු ප්‍රබල විපක්ෂයක් වන DMK පක්ෂයේ මන්ත්‍රී සෙන්තිල් බාලාජි සහ ඔහුගේ සහෝදරයා වන අශෝක් යන අයට සමීපතමයෙකු බව තහවුරු වී ඇත. මේ වන විට අශෝක්ට එරෙහිව මූලික තොරතුරු වාර්තාවක් (FIR) ද ගොනු කර තිබේ.

 

 

දේශපාලන පක්ෂ අතර පරස්පර චෝදනා

මෙම සිදුවීමත් සමඟ තමිල්නාඩුවේ ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ සහ නවක TVK පක්ෂය අතර දැඩි වාග් සංග්‍රාමයක් ආරම්භ වී ඇත.

 

TVK පක්ෂයේ ස්ථාවරය 
පසුගිය දින 40ක පමණ කාලය තුළ තම මන්ත්‍රීවරුන්ට DMK පක්ෂයෙන් දැඩි බලපෑම් එල්ල වූ බව TVK පක්ෂය අවධාරණය කරයි. තමිල්නාඩු අමාත්‍ය සහ ජ්‍යෙෂ්ඨ TVK නායක සී.ටී.ආර්. නිර්මල් කුමාර් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, මන්ත්‍රීවරුන් මුදලට ගැනීමේ ජාවාරමේ නිරත වූ DMK පක්ෂය දැන් පොලිසියට "අතටම හසුවී" ඇති බවයි. තවද, හිටපු මහ ඇමති එම්.කේ. ස්ටාලින් සහ විපක්ෂ නායක උදයනිධි ස්ටාලින් මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන මොළකරුවන් බවට ඔවුහු සෘජුවම චෝදනා කරති.

 

DMK සහ AIADMK පක්ෂවල ප්‍රතිචාරය
අනෙක් අතට, DMK සහ AIADMK පක්ෂ මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. ඔවුන් ඉන්දීය මාධ්‍ය හරහා තර්ක කරන්නේ මහ ඇමති විජේ සිය මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත්, එම අසාර්ථකත්වය සහ පරිපාලනමය දුර්වලතා වසා ගැනීමට මෙවැනි පදනම් විරහිත චෝදනා ගොතන බවත්ය.

 

AIADMK පක්ෂයේ නායක එඩප්පාඩි කේ. පලනිස්වාමි (EPS) සිය X ගිණුමේ තැබූ සටහන මේ සඳහා කදිම නිදසුනකි. මැතිවරණයට පෙර විවේචනය කළ පක්ෂ සමඟම සන්ධානගත වීම සහ අනෙක් පක්ෂවලින් මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම හරහා TVK පක්ෂය දේශපාලන සෙල්ලමක නිරත වන බවත්, ඒ තුළ ජනතා සුබසාධනය මුළුමනින්ම අමතක වී ඇති බවත් ඔහු එහිදී විවේචනය කර තිබුණි.

 

මෙම අර්බුදය පිළිබඳව ඉන්දීය දේශපාලන විචාරකයින් සහ මාධ්‍ය වාර්තා මඟින් කරුණු කිහිපයක් පිළිබඳව පුළුල් අවධානයක් යොමු කර ඇත.

 

දශක ගණනාවක් පුරා තමිල්නාඩු දේශපාලනය පාලනය කළ DMK සහ AIADMK යන ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකට, ජෝසෆ් විජේගේ ආගමනය දැඩි අභියෝගයක් විය. මාධ්‍ය විශ්ලේෂණ පෙන්වා දෙන්නේ, මෙම අර්බුදය හුදෙක් එක් අල්ලස් සිදුවීමක් පමණක් නොව, පැරණි බලවේග විසින් නව රජයක ස්ථායිතාවය උරගා බැලීමේ උත්සාහයක් බවයි.

 

කෙසේ වුවද ඉන්දීය ප්‍රාන්ත දේශපාලනය තුළ මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ක්‍රියාවලිය අලුත් දෙයක් නොවුණද, ඉන්දීය රුපියල් මිලියන 350ක් වැනි අතිවිශාල මුදලක් එක් මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් යෝජනා වීම තුළින් තමිල්නාඩු දේශපාලනයේ බල අරගලයේ තරම මනාව පැහැදිලි වන බව ජාතික පුවත්පත් වාර්තා අවධාරණය කරයි.

 

 

විජේගේ නායකත්වයට එල්ල වූ "ලිට්මස් පරීක්ෂණය"ක්ද?

රජය පිහිටුවා කෙටි කාලයක් තුළ මෙවැනි අර්බුදයකට මුහුණ දීමට සිදුවීම මහ ඇමති විජේට දැඩි අභියෝගයකි. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, තම පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත්ව තබා ගැනීමත්, විපක්ෂයේ ප්‍රහාරයන්ට සාර්ථකව මුහුණ දෙමින් ජනතා සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් මත ඔහුගේ රජයේ අනාගතය රැඳී පවතින බවයි.

 

 

තමිල්නාඩුවේ වත්මන් දේශපාලන අර්බුදය හුදෙක් පක්ෂ දෙකක් අතර ගැටුමකට වඩා පුළුල් දේශපාලන ප්‍රතිවිපාක ගෙන දිය හැකි තත්ත්වයකි. පොලිස් විමර්ශනවල ප්‍රගතිය සහ ඉදිරි දින කිහිපය තුළ නීතිමය ක්‍රියාදාමයන් සිදුවන ආකාරය මත, විජේගේ TVK රජයේ පැවැත්ම මෙන්ම තමිල්නාඩුවේ අනාගත දේශපාලන දිශානතිය ද තීරණය වනු ඇත.

 

 

 

#නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි