ජාතික සංවර්ධන බැංකුවේ (NDB) හි සිදුවූ බව කියන දැවැන්ත මූල්‍ය වංචාව පිළිබඳව
සිදු කෙරෙන වෝහාරික විගණනයේ (forensic review) නවතම තොරතුරු මේ වන විට අනාවරණය වී ඇත. ඉන්දියාවේ Deloitte Touche Tohmatsu ආයතනය විසින් නිකුත් කළ අතුරු වාර්තාවට අනුව, මෙම සැකකටයුතු ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 13.58ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය මීට පෙර අප්‍රේල් මාසයේදී බැංකුව විසින් ඇස්තමේන්තු කළ රුපියල් බිලියන 13.2ක අගයට වඩා වැඩි වීමකි.
මෙය බාහිර විමර්ශකයෙකු විසින් අදාළ ගනුදෙනු සඳහා වටිනාකමක් නියම කළ ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ. කෙසේ වෙතත්, මෙම අතුරු වාර්තාවේ අන්තර්ගතය තවදුරටත් රහසිගතව පවතින බවත්, දැනට හෙළිදරව් කළ හැක්කේ සීමිත තොරතුරු ප්‍රමාණයක් පමණක් බවත් NDB බැංකුව අවධාරණය කරයි. විමර්ශන කටයුතු තවමත් සිදුවෙමින් පවතින බැවින්, මෙම වාර්තාවේ දැක්වෙන නිරීක්ෂණ මූලික ඒවා පමණක් බවද බැංකුව වැඩිදුරටත් පවසයි.
මෙහිදී පැන නගින ප්‍රධානතම හා විවේචනාත්මක ගැටලුව වන්නේ, මෙරට පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවක අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයන් මෙතරම් දැවැන්ත වංචාවකට ඉඩ සැලසුවේ කෙසේද යන්නයි. බැංකුවේ පාලනය ක්‍රියාත්මක වන්නේ ශ්‍රියන් කුරේගේ සභාපතිත්වයෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේය. මෙවැනි බරපතල මූල්‍ය වංචාවක් සිදුවූ වකවානුවක ඊට වගකිවයුතු අධ්‍යක්ෂ මණ්ඩලයට කිසිදු බාධාවකින් තොරව තවදුරටත් කටයුතු කිරීමට නෛතිකව ඉඩක් ලැබුණද, එය කිසිසේත්ම සදාචාරාත්මක නොවේ.
අවම වශයෙන් මෙම වෝහාරික විගණන කටයුතු සම්පූර්ණයෙන් අවසන් වන තුරුවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සෘජු මැදිහත්වීම යටතේ මෙහි පාලනය ගෙන යා යුතුව තිබුණි. එසේ වුවද, මෙම අර්බුදය හමුවේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වූ ශානිල් ප්‍රනාන්දු සදාචාරාත්මකව සිය ධුරයෙන් ඉවත්වීම අගය කළ යුත්තකි.
මෙම මුදල්, ආනයන ගනුදෙනු මුවාවෙන් විවිධ ආයතන ජාලයක් හරහා විදේශයන් වෙත යොමු කර ඇති බවට බරපතල චෝදනා එල්ල වී ඇති අතර, මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී පවා අවධානය යොමු විය. මෙය හුදෙක් එක් සේවකයෙකුගේ අක්‍රමිකතාවක් පමණක්ද, නැතහොත් මීට වඩා පුළුල් හා සංවිධානාත්මක ජාලයක ප්‍රතිඵලයක්ද යන්න ස්වාධීන පරීක්ෂණ හරහා තවදුරටත් තහවුරු කරගත යුතුව තිබේ.
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද, බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වයට මින් තර්ජනයක් නොමැති බව NDB බැංකුව පාරිභෝගිකයින්ට සහ කොටස්කරුවන්ට සහතික වෙයි. බැංකුවේ ප්‍රාග්ධන අවශ්‍යතා සහ ද්‍රවශීලතා මට්ටම අඛණ්ඩව ශක්තිමත්ව පවතින බව ඔවුන් පෙන්වා දෙයි. එහෙත්, මෙම සිදුවීම මගින් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ අභ්‍යන්තර විගණන ක්‍රියාවලීන්හි විනිවිදභාවය සහ පාරිභෝගික විශ්වාසය මෙන්ම බැංකු අධ්‍යක්ෂ මණ්ඩලවල සදාචාරාත්මක වගකීම පිළිබඳවද බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කර ඇති බව කිව යුතුමය.

