SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

නීතිය ඉදිරියේ යම් පුද්ගලයෙකු වරදකරුවෙකු බව ඔප්පු වන තුරු ඔහු 'නිවැරදිකරුවෙකු' ලෙස සැලකීම

මූලික නීතිමය සිද්ධාන්තයකි. එනම්, සැකකරුවෙකු යනු කිසිසේත්ම වරදකරුවෙකු නොවේ. අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ද මෙම සිද්ධාන්තය එලෙසම අදාළ වේ. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මතවාද සහ 'තීන්දු' පැතිර ගියද, මේ වන විට අධිකරණ ක්‍රියාවලිය විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව තීරණාත්මක හැරවුමකට ලක්වෙමින් පවතින බව ට විශ්වාස කටයුතු ආරංචිමාර්ග වාර්තා කරයි.

 

 

පසුගියදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන අධිකරණයට දැක්වූ කරුණු මීට කදිම නිදසුනකි. ඔහු සඳහන් කළ පරිදි, මෙම සිද්ධියට අදාළ පළමු DNA පරීක්ෂණ වාර්තාව මේ වන විටත් පොලිසියට ලැබී ඇත. අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන්නේ, අදාළ සාම්පල හරහා ලබාගත් එම පළමු වාර්තාව මගින් හිටපු අටමස්ථානාධිපතිවරයාට එරෙහිව කිසිදු සාක්ෂියක් මේ දක්වා තහවුරු වී නොමැති බවයි.

 

 

එමෙන්ම, විමර්ශනවල තීරණාත්මක සාධකයක් වන දෙවන DNA පරීක්ෂණ වාර්තාව ද ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ලැබීමට නියමිතව ඇත. ඒ සඳහා පල්ලේගම හිමියන්ගෙන් ලබාගත් රුධිර සාම්පල මේ වන විටත් පරීක්ෂණ මට්ටමේ පවතියි. සමාජ මාධ්‍ය මගින් කල්තියා ලබාදුන් තීන්දු, මෙම විද්‍යාත්මක සාක්ෂි හමුවේ දැඩි ලෙස අභියෝගයට ලක්වෙමින් පවතින බව මින් ගම්‍ය වේ.

 

 

මෙම විමර්ශනය හුදෙක් එක් පාර්ශ්වයකට පමණක් සීමා වී නොමැත. සැකකාර හිමිනමගේ, වින්දිත දැරියගේ මෙන්ම වින්දිත දැරියගේ මවගේ ජංගම දුරකථන සම්බන්ධයෙන් ලබාගත් දුරකථන විශ්ලේෂණ වාර්තා ද මේ වන විට අධිකරණයට භාර දී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පළමු වරට පෙනී සිටි රජයේ අධිනීතිඥ කේෂානි විජේසිංහ විවෘත අධිකරණයේදී අවධාරණය කළේ, පොලිසිය සිදු කරන මෙම සියලු විමර්ශන පිළිබඳව නීතිපතිවරයා නිරන්තර විමසිල්ලෙන් සහ දැඩි අධීක්ෂණයෙන් පසුවන බවයි.

 

 

වින්දිත දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අධිකරණය දැඩි අවධානයක් යොමු කර ඇත. දැරිය මේ වන විට මනෝ උපදේශනය සඳහා යොමු කර ඇති අතර, පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉතා ආරක්ෂිතව රඳවා සිටියි. දැරිය රඳවා සිටින ස්ථානය හෙළි නොකරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පරිවාස නිලධාරිනියට එහිදී දැඩිව නියෝග කළේය.

 

 

සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සඳහන් කළේ, විමර්ශන තවමත් ක්‍රියාත්මක අවධියේ පවතින බැවින් මේ අවස්ථාවේදී විශේෂ කරුණු දැක්වීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි. විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමට කල් ලබාදෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමට ද ඔහු විත්ති පාර්ශ්වයේ  එකඟතාව පළ කළේය.

 

 

 

මෙම නඩු විභාගය කෙරෙහි මහා සංඝරත්නයේ ද දැඩි අවධානයක් යොමුව ඇති බව පෙනෙන්නට තිබිණි. අනුරාධපුර වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමි, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි, අභයගිරි චෛත්‍යාරාමාධිපති මහාචාර්ය කල්ලංචියේ රතනසිරි හිමි ඇතුළු ප්‍රමුඛ විහාරස්ථාන රැසක නායක නායක හිමිවරුන් මෙම නඩු කටයුත්ත දැක බලා ගැනීම සඳහා විවෘත අධිකරණයට වැඩම කර සිටියහ.

 

 

 

සියලු පාර්ශ්වයන්ගේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළව නීතිපති උපදෙස් ලබාගන්නා ලෙස පොලිසියට නියෝග කරමින් නඩුව අගෝස්තු 21 වනදා යළි කැඳවීමට නියම කළේය.

 

සමාජ මාධ්‍ය මගින් කුමන ආකාරයේ හැඟීම්බර ප්‍රකාශ හෝ "තීන්දු" ලබා දුන්නද, නීතිය ක්‍රියාත්මක වන්නේ හැඟීම් මත නොව විද්‍යාත්මක සහ තාර්කික සාක්ෂි මත බව මෙම සිදුවීම මගින් යළිත් වරක් තහවුරු වෙමින් පවතී. අගෝස්තු 21 වනදා ඉදිරිපත් වීමට නියමිත දෙවන DNA වාර්තාව ඇතුළු ඉදිරි විද්‍යාත්මක සාක්ෂි මගින් මෙම නඩුවේ දිශානතිය තීරණය වනු ඇත.

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි