මහාචාර්ය නලින් ද සිල්වා යනු ශ්‍රී ලාංකේය සමාජ, දේශපාලන සහ බුද්ධිමය අවකාශය තුළ ප්‍රබල කම්පනයක් ඇති කළ
සුවිශේෂී චින්තකයෙකි. ගණිතඥයෙකු මෙන්ම ජාතික දේශපාලනයේ සුවිශේෂි භුමිකාවක නිරත ඔහු, දශක ගණනාවක් තිස්සේ මෙරට සමාජය තුළ මුල්බැසගෙන තිබූ බටහිර ඥානවිභාගයේ සහ විද්‍යාවේ ආධිපත්‍යය මූලික මට්ටමෙන්ම ප්‍රශ්න කිරීමට තරම් නිර්භීත විය.
"ජාතික චින්තනය" යන සංකල්පය න්‍යායගත කරමින්, ශ්‍රී ලාංකිකයන්ට ස්වකීය සංස්කෘතික සහ ඓතිහාසික පදනමකින් යුතුව ලෝකය දෙස බැලීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය. හුදු දේශපාලන න්‍යායන්ගෙන් හෝ අනුකරණයෙන් ඔබ්බට ගොස්, සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වූ ස්වදේශීය දැනුම් පද්ධතියක් සහ ඊට අනුරූපී රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ඔහු දැවැන්ත බුද්ධිමය අරගලයක නිරත විය. ඔහු විසින් හඳුන්වා දුන් දාර්ශනික කියවීම් අදටත් අපගේ චින්තන කතිකාවන්හි කේන්ද්‍රීය මාතෘකා බවට පත්ව ඇත.
මහාචාර්ය නලින් ද සිල්වා දැයෙන් සමුගෙන වසර දෙකක් පිරීම නිමිත්තෙන්, එතුමා කළ ඒ සුවිශේෂී කාර්යභාරය, විද්‍යාව සම්බන්ධයෙන් ඔහු දැරූ ස්ථාවරය සහ දේශපාලන දැක්ම පිළිබඳව මනා විවරණයක් සපයමින් තමලු මලිත්ත පියදිගම විසින් සිය මුහුණුපොතෙහි සටහනක් තබා ඇත. නලින් ද සිල්වා නම් විද්වතාගේ ඥානවිභාගාත්මක කියවීම කෙටි නමුත් ගැඹුරු අන්දමින් ගොනු කර ඇති එම ලිපිය පහතින් උපුටා දක්වා ඇත.
නලින් ද සිල්වා මහතා කළේ කුමක් ද?
අප ආපසු හැරී බැලුවොත් දෙවසරකට පෙර අප හැර ගිය නලින් ද සිල්වා ගුරුතුමා කළ දේ හා එහි වර්තමාන හා අනාගත දිශානතිය ගැන හිතාගන්න පුළුවන්..
ලංකාවේ දැනුම සම්බන්ධ කිහිප ආකාරයක විකාසනයන් දකින්න පුළුවන්..
එක පැත්තකින් සමහරු උත්සාහ කළා බටහිර දිහා බලලා බටහිර දේවල් එහෙම ම අනුගමනය කරන්න..
ඒකෙන් එක් පිරිසක් කෙළින් ම බටහිරට වැඳ වැටීමත් අනෙක් පිරිස බටහිරයන් අපව පහත් කොට සැලකුව ද ඒ අය අගය කරන ගුණාංග ම අතීතයේ සිට අපටත් තිබුණි යන ප්‍රවණතාවයෙන් තමන්ගේ ස්ථාවරය හදාගත්තා..
තවත් පිරිසක් බටහිර වෙනුවට හෝ බටහිරට වඩා වෛදික සම්ප්‍රදායයට වන්දනාමාන කරන්න පෙළඹුණා..
අනෙක් කොටස යම් ආකාරයකට ඍජුව ථෙරවාදය මත තදින් පදනම් වුණු අතර එහි වපසරියට පිටස්තර ලෞකික දේ ගැන එතරම් උනන්දුවක් දැක්වූයේ නෑ..
යම් ආකාරයකට මේ ප්‍රවණතාවලින් වෙන්වූ කෙනකුට හිටියේ කුමාරතුංග මුනිදාස පමණයි.. නමුත් ඔහුගේ මතවාද යම් ආකාරයකට බුදුදහම සමඟ ගැටුණු නිසා ඔහු දේවවාදය වෙත විතැන්වීමත් ඒවාට වෛදික දේවකතා පදනම් වීමකුත් සිදුවුණා..
අනික් අතට දේශීය, වෙදකම, ගොවිතැන, වැව් ගැන කතා කරපු පිරිසක් හිටියත් ඔවුන්ගේ මතවාදවලට වඩා තිබුණේ විස්තර..
ලංකාවේ සිංහල වෙදකමක්, සිංහල සංගීතයක්/හෙළ මියැසියක් ගැන කතා කළ අය හිටියත් "විද්‍යාව" සම්බන්ධව තිබුණේ යම් ආකාරයක පොදු එකඟතාවක් හෝ නිහඬතාවක්.. පානදුරාවාදයේ දී අයිසෙක් නිවුටන්ට අභියෝග කිරීමට ගුණානන්ද හාමුදුරුවෝ උත්සාහ කළාට ඒක එතරම් ම තීව්‍ර හෝ විධිමත් විවේචනයක් නෙවෙයි.. යම් යම් විස්තර පිළිබඳව පිරිවෙන්වල මහ හිමිවරුන්ට බටහිර විද්‍යාවේ විස්තර ගැන යම් සැකයක් ඇති වී තිබුණාට මේ ගැන කැලඹිල්ලකට වඩා දෙයක් දැකගන්න ලැබෙන්නේ නැහැ.. (ධර්මපාලතුමාගේ කෙටි ප්‍රකාශ දෙක තුනක් ඇරෙන්නට පැහැදිලි මතයක් ඉදිරිපත් වෙන්නේ නැහැ.. ඔහුගේ සාමාන්‍ය ව්‍යවහාරයේ දී ඔහු බටහිර විද්‍යාවේ සිට ගුප්ත විද්‍යා භාවනා ආදී ඔක්කොට ම science වචනය පොදුවේ භාවිත කළා)
බුදු දහම විද්‍යාත්මකයි කියා පෙන්නීමේ උත්සාහයක් තමයි අපට මුල් යුගයේ දකින්නට ලැබෙන්නේ..
නලින් ද සිල්වා මහතා කරපු ප්‍රධාන කාර්යය තමයි මේක කනපිට හැරවීම.. "විද්‍යාවෙන්" බුදු දහම මැනීම වෙනුවට ඔහු "විද්‍යාවේ" පදනම ප්‍රශ්න කරන්න ගත්තා...
ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලය තමා "විද්‍යාවේ" සත්‍යයක් හෝ "සත්‍ය සෙවීමේ/සත්‍යයට ළඟා වීමේ මාර්ගයක්" හෝ නැති බව පෙනීම..
මේක සිදුවුණේ යම් පිළිවෙළකට..
මුලින් ම ඔහු බටහිර විද්‍යාවේ අනුගාමිකයකු වුණා...
ඉන්පසුව සමාජය සමබන්ධව ප්‍රධාන ධාරාවේ බටහිර දැනුම වෙනුවට මාක්ස්වාදය වැළඳගෙන යම් ඛණ්ඩනයක් වුණා..
එතනින් පසුව මාක්ස්වාදය අවිද්‍යාත්මක බව දුටුවා..
ඊළඟට "විද්‍යාව" තර්කවිරෝධී බව දුටුවා..
ඊළඟට ඔහු ඥානවිභාගය ඉදිරියේ විද්‍යාව හා තර්කනය දෙකට ම වලංගු භාවයක් ස්ථාපිත කළ නො හැකි බව දුටුවා..
එයින් ඔහුට පෙනුණේ මනසින් බාහිර යථාර්ථයක් අර්ථවිරහිත බවත් අපට කතා කළ හැක්කේ මනසට සාපේක්ෂ දැනුම් බවත්.. මනස කියාත් යම් ස්වායත්ත දෙයක් නැති බවත් එනිසා විවිධ සංස්කෘතීන්ට සාපේක්ෂව ඇතිවන හිතීමේ රටා නැත්නම් චින්තන මත දැනුම් ගොඩනැඟෙන බවත්..
මෙතනනින් පසු "විද්‍යාව" බටහිර විද්‍යාව බවට පත් වෙනවා... බුදු දහම විද්‍යාත්මකයි කීමේ විකාරය වෙනුවට අපේ ප්‍රායෝගික අවශ්‍යතා මත අපේ චින්තනයේ විද්‍යාවක් හදා ගැනීම ගැන කතා බහට එනවා..
අපේ චින්තනයේ විද්‍යාවක් හෝ දැනුමක් හෝ හදාගන්නවා නම් ඒක කරන්න පුළුවන් ක්‍රම මොනවා ද කියන තැනට එන්න වෙනවා..
එතන දී ඔහුට විකල්ප දෙකක් හමුවෙනවා.. පළමු වැන්න නම් විද්‍යාවක් ගොඩනඟන්න නම් වියුක්තව සිතීම හා වියුක්ත සංකල්ප අපේ චින්තනයට අවශෝෂණය කරගන්න වෙනවා.. ඒ වියුක්තව සිතීම හා වියුක්ත සංකල්ප අපේ සංස්කෘතියේ ඉතා අඩු නිසා..
අනෙක් අතට අපේ සංස්කෘතියේ අතීතයේ තිබූ බවට කියැවෙන භාවනාවෙන් හෝ ආධ්‍යාත්මිකව ඉහල ජීවීන් සමඟ සන්නිවේදනයෙන් හෝ සංයුක්ත තොරතුරු හා විස්තර ලෙස දැනුම ලබා ගැනීම..
මේ දෙක ම ඔහු සලකා බලනවා.. මේ දෙක ම මේ වනවිටත් සෑහෙන සීමාකාරී හා වර්ධනය නො වූ ක්‍රමවේද.. පළමු එකෙත් දෙවනි එකෙත් දෙකේ ම නිරාකරණය කරගන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා එහෙත් එහෙම මේවා නිරවුල් කරගැනීම හරහා ම තමයි ඉදිරියට යන්න වෙන්නේ..
වියුක්තය අපේ සංස්කෘතියට අවශෝෂණය කරගන්නවා නම් වියුක්තය අපේ ඥානවිභාගයක අර්ථකථනය කරගන්න ඕනේ.. කාන්ට්ලාගේ ප්‍රාගානුභූත ආදී මතවාද අපට නොගැලපෙන මිථ්‍යා දෘෂ්ටි..
එක, දෙක, තුන, ත්‍රිකෝණ, අවකාශකාලය වැනි දෑ අනිත්‍ය, අධ්‍රැව, දුක්ඛ, අනාත්ම ද නැති නම් නිත්‍ය, ධ්‍රැව, සුඛ, ආත්ම ද?
මනස හැමවිට ම පෙර සිට ම පවතී, වියුක්ත සංකල්පත් ප්‍රාගානුභූත ලෙස හැමවිට ම පෙර සිට ම පවතී වැනි මිථ්‍යාවලින් තොරව වියුක්තය අවබෝධ කරගන්නේ කෙසේ ද?
අන්න එතන දී ඔහු ගොඩ නඟන වැදගත් සංකල්පය තමයි බොරු හා පට්ටපල් බොරු.. වියුක්ත සංකල්ප කියන්නේ ප්‍රාගානුභූතික මානසික සත්‍යයන් නෙමෙයි, සංයුක්ත බොරුවෙන් ගොඩනඟා ගත්ත පට්ටපල් බොරු..
මෙතනින් භෞතිකවාදය වගේ ම විඥානවාදයත් කුඩු පට්ටම් වෙලා යනවා..
වියුක්ත සංකල්ප සදාතනිකව පවතින්නාක් පෙනෙන්නේ ඒවා පට්ටපල් බොරු නිසායි..
පට්ටපල් බොරු භාවිත කළ යුත්තේ ඒවායේ ඇති සත්‍යයක් නිසා නොව ඒවායේ ඇති ප්‍රයෝජ්‍යතාව නිසා පමණි.
මෙතනින් පසු නලින් ද සිල්වා මහතා මනසෙන් දැනුම සංස්කරණය වීම හා බෝර් හයිසන්බර්ග්ලාගේ ඉන්ද්‍රියානුභූත නිරීක්ෂකයා අතර පටලැවිල්ල ලිහලා, ඥානවිභාග ගොඩනැංවීම් එක්ක පැටලිලා තියෙන ක්වොන්ටම් භෞතිකයෙනුත් නිදහස් වෙනවා..
හඳ මනසින් සංස්කරණය වීම යනු අපි නොබලන විට හඳ නැහැ වැනි යමක් නොවන බවත් මනසේ හා ඉන්ද්‍රියන්ගේ සක්‍රියව පවතින ඍජු මැදිගත්වීම සංස්කරණයක් ලෙස පැවතීමට අදාළ නොවන බව තේරුම් ගන්නවා..
අප කරන කියන දේ වියවුල් වී යන්නේ අප අපට ගෝචර නොවෙන චින්තනයකින් ගොඩනඟා තිබෙන බටහිර දැනුමෙන් අටවා ගෙන වැඩ කිරීමට යෑම නිසා බව ඔහු කියනවා..
අපගේ ලෞකික විමුක්තිය රඳා පවතින්නේ බටහිර හෝ වෛදික දැනුමට යට නො වී, ඒවා අනුකරණය නොකර අපේ හිතන රටාවට, අපේ චින්තනයට දැනුම ගොඩනැංවීමෙන් හා භාවිත කිරීමෙන් බව පෙනෙනවා.. මෙහෙම දැනුමක් වර්ධනය කරමින්, භාවිත කරන්න නම් බටහිර දැනුම ඇහිඳගෙන අටවාගෙන යන පද්ධති බිඳ දමමින් අපේ චින්තනයේ පද්ධති ගොඩනඟා ගත යුතුයි..
මෙහෙම ගොඩනඟන රාජ්‍යයක් තමයි ඔහු "සිංහල බෞද්ධ රාජ්‍යයක්" කියලා කියන්නේ.. ඒක ජනසංයුතිය හෝ රාජ්‍ය ආගම නම් කිරීම වැනි සංකේතකරණයක් නෙමෙයි...
සිංහල බෞද්ධ රාජ්‍යය කියන්නේ "සිංහල බෞද්ධ චින්තනය" ලෙස හඳුනාගත හැකි සිතීමේ රටාවෙන් ගොඩනැඟෙන දැනුම අනුව ක්‍රියාත්මක වන රාජ්‍යයක්..
නලින් ද සිල්වා ඇදුරුතුමන්ට පැතූ බෝධියෙන් නිවන් සුව අත් වේවා!"
(තමලු මලිත්ත පියදිගමගේ මුහුණු පොතෙනි).

