SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අතර පවතින යුදමය අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරෙමින්

පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු හමුදාව "ප්‍රහාරයකට සූදානම්ව" (Locked and Loaded) සිටින බව පැවසූ ජනාධිපතිවරයා, අවශ්‍ය වුවහොත් එක් දිනකින් ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමිය හැකි බවට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

 

 

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය නිකුත් වී ඇත්තේ අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) විසින් ඉස්ලාමාබාද් නුවරදී ඉරාන නියෝජිතයින් සමග පැවැත්වූ සාම සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් පැය කිහිපයකට පසුවය.

 

 

ෆොක්ස් නිව්ස් (Fox News) වෙත කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය


ෆොක්ස් නිව්ස් නාලිකාවේ මාරියා බාර්ටිරෝමෝ (Maria Bartiromo) සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් මෙසේ අදහස් දක්වා ඇත:

 

 

"මට ඉරානය එක් දිනකින්... එක් පැයකින් විනාශ කළ හැකියි. ඔවුන්ගේ මුළු බලශක්තියම, ඔවුන්ගේ සෑම විදුලි බලාගාරයක්ම මට ඉලක්ක කළ හැකියි. එය ඉතා විශාල බලපෑමක්. මම එසේ කිරීමට අකමැතියි, මන්ද එය කළහොත් නැවත ගොඩනැගීමට වසර දහයක් ගතවේවි... ඔවුන්ට එය කිසිදා නැවත ගොඩනැගීමට නොහැකි වනු ඇත."

 

 

එසේම, ඉරානය විසින් නිකුත් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සහ ඔවුන්ට අමෙරිකානු බලය පෙන්වීමක් ලෙස තමන් දැනටමත් ඉරානයේ පාලමක් විනාශ කිරීමට පියවර ගත් බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

 

ජේ.ඩී. වෑන්ස්ගේ සාකච්ඡා අසාර්ථකයි


මාසයක පමණ කාලයක් පුරා ඇදී යන, සහ මේ වන විටත් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති මෙම අර්බුදය සමනය කිරීම සඳහා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සෙනසුරාදා දින ඉස්ලාමාබාද් නුවරදී ඉරාන නියෝජිතයින් සමග දීර්ඝ සාකච්ඡාවක නිරත විය. කෙසේ වෙතත්, ට්‍රම්ප් සෙනසුරාදා රාත්‍රියේ UFC තරගාවලියක් නරඹමින් සිටින අතරතුර, මෙම සාකච්ඡා අසාර්ථක වූ බව නිවේදනය කෙරිණි.

 

සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දැක්වූ උප ජනාධිපති වෑන්ස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙයයි:

 

 

"නරක ආරංචිය නම් අපට එකඟතාවයකට පැමිණීමට නොහැකි වීමයි. නමුත් මම සිතන්නේ එය අමෙරිකාවට වඩා ඉරානයට ඉතා නරක ආරංචියක් වනු ඇති බවයි."

 

 

ඔහුට අනුව සාකච්ඡාවල යම් ධනාත්මක වර්ධනයන් තිබුණද, යුද්ධය අවසන් කිරීම සඳහා වන අවසන් එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශ්වයම අපොහොසත් වී ඇත.

 

 

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමේ තර්ජනයක්


ඉරිදා උදෑසන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ඉරානයට එරෙහිව තවත් තර්ජන මාලාවක් නිකුත් කළේය. සාකච්ඡාවලදී බොහෝ කරුණු සඳහා එකඟ වූවත්, වඩාත්ම වැදගත් වන "න්‍යෂ්ටික" (NUCLEAR) ගැටළුව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බව ඔහු තහවුරු කළේය.

 

 

ඒ අනුව ඔහු සමාජ මාධ්‍යයේ මෙසේ සටහන් කර තිබුණි:

 

"සාකච්ඡා හොඳින් සිදු වුණා, නමුත් එකම වැදගත් කරුණ වන න්‍යෂ්ටික ගැටළුවට එකඟතාවක් ලැබුණේ නැහැ. වහාම ක්‍රියාත්මක වන පරිදි, ලෝකයේ විශිෂ්ටතම නාවික හමුදාව වන අමෙරිකානු නාවික හමුදාව, හෝමූස් සමුද්‍ර සන්ධියට (Strait of Hormuz) ඇතුළු වීමට හෝ පිටවීමට උත්සාහ කරන සහ ඉරාන රජයට බදු ගෙවන ඕනෑම නෞකාවක් අවහිර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත."

 

 

විදෙස් මාධ්‍ය විවරණය:


Independent ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ අමෙරිකාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කළහොත්, එය ගෝලීය ඛනිජ තෙල් සැපයුමට දැඩි සේ බලපානු ඇති බවයි. න්‍යෂ්ටික එකඟතාවයක් නොමැති වීම හේතුවෙන් දෙරට අතර පවතින මාසයක් පැරණි මෙම ගැටුම ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් උත්සන්න වනු ඇති බවට ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ අනතුරු අඟවති.

 

 

# නිරෝමී සුබ්‍රමනියම්

නවතම ලිපි