රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් පැවති සමයක, ඉන්දීය ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරන ලද
ප්‍රමිතියෙන් තොර 'හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්' (Human Immunoglobulin) සහ 'රිටක්සිමැබ්' (Rituximab) එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය මේ වන විට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තීරණාත්මක අදියරකට එළඹ තිබේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව රුපියල් කෝටි 14කට අධික මහජන මුදලක් වංක ලෙස ව්‍යවහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුවේ ඊයේ (16) දින විභාගය, පැමිණිල්ලේ සාක්ෂි සහ විත්තියේ හරස් ප්‍රශ්න ඔස්සේ ඉතා වැදගත් නෛතික සහ පරිපාලනමය කරුණු රැසක් මතුකර පෙන්වීය. රජයේ හෝ විත්ති පාර්ශ්වයේ මතයකට නොබැඳී, එදින අධිකරණයේදී දිගහැරුණු සාක්ෂි සහ නීතිඥ තර්ක විතර්ක මත පදනම්ව ගොඩනැගූ තාර්කික විග්‍රහයක් පහත දැක්වේ.

1. හදිසි ප්‍රසම්පාදනයේ පසුබිම සහ පැමිණිල්ලේ ස්ථාවරය රාජ්‍ය සහ පෞද්ගලික අංශය යන දෙකටම බලපාන පරිදි රට තුළ පැවති දැඩි ඖෂධ හිඟය පියවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක ඉන්දීය ණය ආධාර ක්‍රමය යොදාගත් ආකාරය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ශිරාණි චම්පිකා වික්‍රමසිංහ ගේ මූලික සාක්ෂියෙන් තහවුරු කෙරිණි.
පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ උත්සාහය වූයේ අදාළ ඖෂධ ආනයනය සඳහා පැවති යාන්ත්‍රණය සහ කමිටු ක්‍රියාවලිය අධිකරණය හමුවේ තහවුරු කිරීමයි.
2. ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන උල්ලංඝනය කළේද? විත්තියේ අභියෝගය විත්තියේ නීතිඥවරුන් සිය හරස් ප්‍රශ්න මගින් ප්‍රධාන වශයෙන් පහර දුන්නේ අදාළ ඖෂධ ගෙන්වීමේදී අනුගමනය කළ නෛතික සහ පරිපාලනමය ක්‍රියාපටිපාටියේ නිරවද්‍යතාවයටයි. එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න, සාක්ෂිකාරියගෙන් ඇසූ ප්‍රශ්න මගින් පරිපාලනමය දුර්වලතා අධිකරණය හමුවේ ප්‍රශ්න කළේය.
- විත්තියේ තර්කය: "ඩබ්ලිව් ඕ ආර් (W.O.R) සහතික ලබා ගන්න පෙර නීතිය අනුව පර්චසින් ඕඩරය (Purchasing Order) ඉදිරිපත් කළ යුතු බව නීතියේ සඳහන් වෙනවා නේද? ඔබලා ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඉක්මවලා කටයුතු කරලා තිබෙනවා නේද?"
- සාක්ෂිකාරියගේ පිළිතුර: "ඔව් මාර්ගෝපදේශවල එහෙම සඳහන් වෙලා තියෙනවා."
මෙමඟින් විත්තිය උත්සාහ කරන්නේ හදිසි තත්ත්වයක් මුවාවෙන් පිළිගත් ප්‍රසම්පාදන නීති රීති උල්ලංඝනය වී ඇති බවත්, ලේඛන කටයුතු නිසි පටිපාටියෙන් බැහැරව සිදුවී ඇති බවත් තහවුරු කිරීමටයි.

3. "ඖෂධ හිඟය" නමැති පදනම ප්‍රශ්න කිරීම හදිසි ප්‍රසම්පාදනයක් සඳහා මූලිකම සාධාරණීකරණය වන්නේ පවතින "හිඟයයි". එහෙත් නීතිඥ අමිත ආරියරත්න නැගූ තීරණාත්මක හරස් ප්‍රශ්නයකදී ඖෂධ හිඟය පිළිබඳව සාක්ෂිකාරිය දුන් පිළිතුර පැමිණිල්ලේ ආඛ්‍යානයට යම් අභියෝගයක් එල්ල කළේය.
- විත්තියේ ප්‍රශ්නය: "මා පෙර සඳහන් කළ දිනය වන විට (2022.09.24) එම එන්නත සපයා ගැනීමේ අවශ්‍යතාවය තිබුණා නේද?"
- සාක්ෂිකාරියගේ පිළිතුර: "හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත ඒ වනවිට හිඟයක් තිබුණා කියලා කියන්න බෑ."
හිඟයක් නොතිබූ වකවානුවක හදිසි මිලදී ගැනීම් හරහා අදාළ එන්නත් ඇනවුම් කළේ ඇයිද යන බරපතළ නෛතික ප්‍රශ්නය මෙමඟින් විත්තිය විසින් අධිකරණය හමුවේ විවෘත කර ඇත.
4. වගකීම් පැහැර හැරීම සහ ලේඛනවල අත්සන් අදාළ කාලසීමාව තුළ වගකිවයුතු නිලධාරීන් (වෛද්‍ය කපිල වික්‍රමනායක වැනි) විදේශගතව සිටීමත්, වැඩ බලන නිලධාරීන් ලේඛන සඳහා අත්සන් තැබීමත් විත්තියේ දැඩි අවධානයට ලක් විය. පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල විසින් සැපයුම්කරුට ගෙවීම් කර ඇතිද, අදාළ සමාගම විසින් ඖෂධ පරිත්‍යාග කර ඇතිද යන කාරණා සම්බන්ධයෙන් සාක්ෂිකාරියගේ ඇති නොදැනුවත්කම මතුකර පෙන්වීය.
5. නෛතික අයිතීන් තහවුරු කිරීම: අධිකරණයේ ස්ථාවරය නඩු විභාගය අතරතුර පැමිණිල්ල සහ විත්තිය අතර ඇතිවූ නෛතික ගැටුමකදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ගත් තීරණය සාධාරණ නඩු විභාගයක් (Fair Trial) සඳහා වූ අධිකරණයේ ස්ථාවරය මනාව පිළිඹිබු කළේය.
විත්තිය විසින් නව ලිපිගොනුවක් පදනම් කරගෙන නැවත හරස් ප්‍රශ්න ඇසීමට යාමේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ගෙන ආ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින්, "විත්තියට එම අයිතිය තිබෙනවා" යන නීතිඥ තර්කය පිළිගැනීමට විනිසුරු මඩුල්ල පියවර ගත්තේය.
ඊයේ (16 වනදා) නඩු වාර්තාව සමස්තයක් ලෙස ගත් කල, පැමිණිල්ල විසින් රජයේ මුදල් වෙන්කිරීමේ නිල යාන්ත්‍රණය පෙන්වා දීමට උත්සාහ කරන අතරතුර, විත්තිය විසින් එම යාන්ත්‍රණය තුළ තිබූ ක්‍රියාපටිපාටිමය සිදුරු, ලේඛනවල පරස්පරතා සහ "හදිසි අවශ්‍යතාවය" පිළිබඳ නිර්වචනය ඉතා සූක්ෂම ලෙස ප්‍රශ්න කරනු ලබන ආකාරය පැහැදිලිව නිරීක්ෂණය වේ. ඉදිරි දිනවලදී පැමිණිල්ලේ සාක්ෂි තවදුරටත් විභාග වන විට මෙම නෛතික ගැටුම තවත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කළ හැක.

නඩු වාර්තාව
16/03/2026
රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයෙත් පවතින ඖෂධ හිඟය රටේ ඇති නැති සැමට දැඩිව බලපාන කරුණක් වන බැවින් එයට විසඳුමක් ලෙස ඉන්දීය ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ දියත් කළ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ ආනයනය කිරීම සඳහා වෙන් කළ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලින් බහුතරයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හා පුද්ගලික අංශයට ලබා දීමට එකඟතාවය පළ කළේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මිය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (16) ප්‍රකාශ කළාය.
රාජ්‍ය අංශයේ පවතින ඖෂධ හිඟය අවම කිරීම සිය වගකීමක් වන බවත් රාජ්‍ය අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ප්‍රමාණයෙන් සියයට 50 ක් පමණ පෞද්ගලික අංශයෙන්ද සේවය ලබා ගැනීමට පැමිණෙන නිසා අංශ දෙකටම සාධාරණ අයුරින් මුදල් වෙන් කිරීමට සිය අනුකමිටුව තීරණය කර ඒ බව ප්‍රධාන කමිටුවට දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මූලික ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. ප්‍රමිතියෙන් තොර හියුමන් හිමියුනෝග්ලොභියුලීන් සහ රිටක්සිමැබ් නමැති එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13 යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ඊයේ (16) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ස්ථිර මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි.
සත්‍ය ප්‍රකාශ කරන බවට ප්‍රතිඥා දී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මිය 1981 වසරේදී වෛද්‍යවරියක ලෙස සුදුසුකම් ලබා වෘත්තීයට පිවිසි තමා 2002 වසරේදී වෛද්‍ය පරිපාලන සේවයට එක් වූ බව ප්‍රකාශ කළාය. 2021 වසරේදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරියක ලෙස රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයට තමා එක්වූ බවද එම මහත්මිය ප්‍රකාශ කළාය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබගේ එම පත්වීමට අත්සන් කළේ කවුද ?
සාක්ෂිකාරිය ; එවකට රාජ්‍ය සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා මම එතුමාව අවුරුදු 20 ක කාලයක් තිස්සේ අඳුනනවා. එම සාක්ෂිකාරිය දහවන විත්තිකරුව හඳුනා ගනී. ඉන්දියානු ණය ආධාර මාර්ගෝපදේශ මුදල් අමාත්‍යාංශයේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ සම්බන්ධීකරණ කමිටුව විසින් සකස් කර තිබුණා. එම සම්බන්ධීකරණ කමිටුව යටතේ අනුකමිටු තුනක් තිබුණා. එකී ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ආනයනයට අදාළ ඉල්ලුම්පත්‍ර ලැබුණාම අපි ඒවා සලකලා බලලා අදාල ගොනු හදලා ප්‍රධාන කමිටුවට යොමු කරනවා. ප්‍රධාන කමිටුව අනුමත කළොත් ඊට පසු සම්බන්ධීකරණ කමිටුවට යොමු කර අනුමැතිය ලබා ගන්නවා. කමිටු සටහන් තබා ගන්නවා. තාක්ෂණ කමිටුවේ සභාපතිවරයා ඔහු තමයි ප්‍රධාන සම්බන්ධීකරණ කමිටුවේ සම්බන්ධීකාරක.
එම සාක්ෂිකාරියගේ සාක්ෂිය ආරම්භ වීමට පෙර පැමිණිල්ලේ 130 වන සාක්‍ෂිකාරිය ලෙස නම් කොට තිබූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩ බලන තොග පාලන කළමනාකාරිනී ක්‍රිෂානි මදුකා ලියනආරච්චි, මහත්මියගේ එකොළොස්වන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
විත්තියේ නීතිඥවරයා ; ඔබ හඳුනා ගත් ඕඩර් ලිස්ට් එක කියන්නේ වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යම් ඖෂධයක් අවශ්‍ය බවට දැනුම් දීමේ ලේඛනය නේද?
සාක්ෂිකාරිය ; (සාක්ෂිකාරිය පැ 46 ලෙස ලකුණු කොට තිබූ එම ලේඛනය හඳුනා ගනී) එහෙමයි ස්වාමීනී. ඒක ඕඩර් ලිස්ට් එකේ කොටසක්. ඒක පරිගණක සටහනක්.
විත්තියේ නීතිඥ අමිත ආරියරත්න මහතා ; එම ආවරණ ලිපියට (පැ 46) ඖෂධ ලැයිස්තුව අමුණා නෑ නේද?
සාක්ෂිකාරිය ; ඒකෙ තියෙන්නෙ කොන්දේසි ටික විතරයි. ඕඩර් ලිස්ට් එක රාජ්‍ය ඖෂධ සංස්ථාවට ලැබුණම ඒක සෘජුවම යොමු කරන්නේ අපේ සභාපතිතුමාට. ඊට පසු එය ප්‍රසම්පාදන අංශයට යවනවා. ප්‍රසම්පාදන අංශය අවසර ලැබුණට පසු ලන්සු කැඳවනවා. ලන්සු කැඳවීම හා සීමිත ලන්සු කැඳවීම සිදුවෙනවා. ලියාපදිංචි නැති ලන්සුකරුවන් සිටින විට විවෘත ලන්සු කැඳවීමක් සිදුවෙනවා.
විත්තියේ නීතිඥවරයා ; ඩබ්ලිව් ඕ ආර් ලබාගන්න පර්චසින් ඕඩරය ඉදිරිපත් කරනවා නේද?
සාක්ෂිකාරිය ; නෑ
විත්තියේ නීතිඥවරයා ; හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. ඩබ්ලිව් ඕ ආර් ලබා ගන්න ඉදිරිපත් කළ යුතු ලේඛන මොනවාද කියලා. ඔබලා ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඉක්මවලා කටයුතු කරලා තිබෙනවා නේද ? ඩබ්ලිව් ඕ ආර් සහතික ලබා ගන්න පෙර නීතිය අනුව පර්චසින් ඕඩර්ය ඉදිරිපත් කළ යුතු බව නීතියේ සඳහන් වෙනවා නේද ?
සාක්ෂිකාරිය ; ඔව් මාර්ගෝපදේශවල එහෙම සඳහන් වෙලා තියෙනවා.
විත්තියේ නීතිඥවරයා ; පර්චින් ඕඩරය කියන්නේ පරිගණක උත්පාදන ලේඛනයක් නේද? පරිගණක ලේඛන උඩුගත කළ අයගේ දැනුම මත හදන ලේඛනයක් නේ ඒක. ඒක උඩුගත කළ අයගේ නම එම පරිගණක ලේඛනයේ සඳහන් වෙන්නේ නෑ නේද?ඒක හරි වෙන්නත් වැරදි වෙන්නත් පුළුවන් නේද?
සාක්ෂිකාරිය ; ඒක සුපවයිසර් කෙනෙක් පරීක්ෂා කරනවා
විත්තියේ නීතිඥවරයා; පැ 172 සහ පැ 173 කියන්නේ ඕඩර් ලිස්ට් එකක කොටසක් නේද?
සාක්ෂිකාරිය ; ඔව්
විත්තියේ නීතිඥවරයා ; පැ 172 මගින් පෙන්වන්නේ 2022.09.24 දින වන විට එහි සඳහන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත තොග හිඟයි එය සපයා ගත යුතුයි කියන එක නේද ?
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; විත්තියේ නීතිඥ මහත්තයා සාක්‍ෂිකාරියගෙන් එකවර ප්‍රශ්න තුනක් ඇහැව්වා. ඒකෙන් මොන ප්‍රශ්නයටද උත්තර දෙන්න ඕනා.
විත්තියේ නීතිඥවරයා ; හරි මම ප්‍රශ්න වෙන් වෙන් කරලා අහන්නම්කො. මා පෙර සදහන් කළ දිනය වන විට එම එන්නත සපයා ගැනීමේ අවශ්‍යතාවය තිබුණා නේද?
සාක්ෂිකාරිය ; හියුමන් හිමියුනෝග්ලොභියුලීන් එන්නත ඒ වනවිට හිඟයක් තිබුණා කියලා කියන්න බෑ.
විත්තියේ නීතිඥවරයා ; හිඟයක් තියෙනවා නම්, තොග මට්ටම අඩු නම් ඉදිරි කාලෙට අවශ්‍යතාවයක් වෙන නිසා නේද ඇනවුම් කරන්නේ? පැ 173 ලේඛනයේ සඳහන් රිටොක්සිමැබ් ඖෂධයත් 2022.09.26 වැනිදා වන විට යම් අවශ්‍යතාවයක් තිබෙන නිසානේ එවැනි ඕඩර් ලිස්ට් එකක් ඉදිරිපත් කරන්නේ?
සාක්ෂිකාරිය ; ඖෂධ සැපයුම් අංශය අපිට එහෙම දැනුම් දෙන්නේ සපයා ගැනීමේ අවශ්‍යතාවය නිසා තමයි.
විත්තියේ නීතිඥ ; පැ 172 හා 173 ලේඛන අත්සන් කර තිබෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය චන්දන විජේසිංහ බව මා ඔබට යෝජනා කරනවා. ඔබ ඔහුව දන්නවද ?
සාක්ෂිකාරිය ; මම ඔහුව දන්නේ නෑ.
විත්තියේ නීතිඥවරයා ; ඒ සමයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය කපිල වික්‍රමනායක රට ගොස් සිටි බවවත් ඔබ දන්නවාද?
සාක්ෂිකාරිය ; මම දන්නේ නෑ.
විත්තිය නීතිඥ අමිත ආරියරත්නන මහතා.; වෛද්‍ය කපිල වික්‍රමනායක විදේශගතව සිටින සමයේ වැඩ ආවරණ රාජකාරී කළ වෛද්‍ය චන්දන විජේසිංහ විදේශගතව සිටින බවවත් ඔබ දන්නවාද?
සාක්ෂිකාරිය ; නෑ මම දන්නෙ නෑ.
පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි, නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා; 2019.09.01 වැනිදා ඩබ්ලිව් ඕ ආර් නිකුත් කර තිබුණේ අධිකරණයට ඉදිරිපත් කළ ඔය ගොනුවේ තිබෙන එක ඖෂධයක් සඳහා විතරද?
සාක්ෂිකාරිය ; ඔව්
විත්තියේ නීතිඥවරයා ; අදාල ලේඛනයේ තිබෙන්නේ ඖෂධයක්ද නැතිනම් උපකරණයක්ද?
සාක්ෂිකාරිය ; ඒක යම් ද්‍රව්‍යයක් සකස් කිරීමට භාවිතා කිරීමට ගන්නා පව්ඩර් එකක්.
නීතිඥ චමින්ද අතුකෝරල මහතා; මේ නඩුව ඉවර වෙනකොට අපිටත් ෆාමසියක් දාගන්න පුළුවන් වේවි.
විත්තියේ නීතිඥවරයා ; ඒ පවුඩර් පාවිච්චි කරන්නේ කුමන එන්නත් වර්ගයක් හදන්නද?
සාක්ෂිකාරිය ; මට මතක නෑ. මම වැඩි කලක් රාජකාරි කළේ ප්‍රසම්පාදන අංශයේ.
විත්තියේ නීතිඥවරයා ; මතක නැතිද ඒ ගැන දැනීමක් නැතිද?
සාක්ෂිකාරිය ; මතක නෑ.
විත්තියේ නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතා ; ඔය ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ භාණ්ඩ ගෙනත් භාරදී තිබෙනවාද?
සාක්ෂිකාරිය ; ගෙනත් භාර දී තිබෙන්නේ
විත්තියේ නීතිඥවරයා ; අදාල ගෙවීම් සැපයුම්කරුට ලබා දී තිබෙනවාද?
සාක්ෂිකාරිය ; ගෙවීම් සඳහා බැංකු අංශයට යොමු කර තිබෙන්නේ. ගෙව්වාද නැතිද කියා එහි සඳහන් වන්නේ නෑ.
විත්තියේ නීතිඥවරයා ; ඔබ ටෙන්ඩරය ප්‍රධානය කරලා තිබෙන්නේ මොන ආයතනයටද?
සාක්ෂිකාරිය ; සීදුව අයිසොලේස් බයෝටෙක් ෆාමා සමාගමට
විත්තියේ නීතිඥවරයා ; 2022,2023 කාලේ රටේ මූල්‍ය දුෂ්කරතා හා මූල්‍ය අර්බුදයකට ලක්ව සිටියදී ඒ වගේම රාජ්‍ය ඖෂධ සංස්ථාවට වෛද්‍ය සැපයුම් හා ඖෂධ සැපයුම්කරුවන් නොපැමිණෙන වකවානුවේ ඔබ සඳහන් කළ අයිසොලේස් බයෝ ටෙක් සමාගම වර්ෂයකට ප්‍රමාණවත් එම ඖෂධ හා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළ බව ඔබ දන්නවාද ?
සාක්ෂිකාරිය ; මම ඒ ගැන දන්නේ නෑ.
විත්තියේ නීතිඥවරයා ; රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට එවැනි පරිත්‍යාගයක් කළොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කවුද කියලා ඔබ දන්නවාද?
සාක්ෂිකාරිය ; මට ඒ පිළිබඳ දැනීමක් නෑ. ඩොනේෂන් කළොත් ඒවා බාරගෙන ඖෂධ සැපයීම් අංශයට භාර දෙනවා.
දොලොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ; 2001 වර්ෂයේ සිට මේ දක්වා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවය කරන ඔබ පලපුරුදු නිලධාරිනියක්නේ?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී.
විත්තියේ නීතිඥවරයා ;ඔබට ලබා දී තිබෙන නිල ඊමේල් පත ඔබට මතකනේ? මේක බලන්න මේ අංකය තියෙන ඊමේල් පත නේද ඔබ රාජකාරිමය ලෙස භාවිතා කරන්නේ. (සාක්ෂිකාරිය සිය රාජකාරි ඊමේල් පත හඳුනා ගනී)
විත්තියේ නීතිඥවරයා ; 2023.09.21 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ චන්ද්‍රිකා කුමාරි ඔබට එවපු ඊමේල් පත ඔබට හඳුනාගන්න පුළුවන්ද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී.
එම සාක්ෂිකාරියගෙන් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විත්තිය විසින් ඇයගෙන් අසනු ලැබූ හරස් ප්‍රශ්න ඉදිරිපත් කරමින් නැවත ප්‍රශ්න ඇසීම සිදු කළේය. නැවත ප්‍රශ්න ඇසීම අවසන් කිරීමෙන් පසුව පළමුවන විත්තිකරුගේ නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය විසින් ලබා දුන් නියෝගය ප්‍රකාරව එම සාක්ෂිකාරිය විසින් ලිපි ගොණුවක් ඉදිරිපත් කළේය. එම ගොනුව සාක්‍ෂිකාරියට පෙන්වා විත්තියේ නීතිඥවරයා විසින් නැවත හරස් ප්‍රශ්නයක් ඇසීමට උත්සාහ කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඒ සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළාය.
නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ; ස්වාමීනි, විත්තියට ඒ සම්බන්ධයෙන් මෙම සාක්ෂිකාරියගෙන් ඇසීමට අදහස් කළ ලේඛණය නොතිබූ නිසයි මම ඔබ තුමාගෙන් එම ඉල්ලීම කළේ. විත්තියට එම අයිතිය තිබෙනවා.
මෙම අවස්ථාවේ දී නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරියගේ එම මූලික විරෝධය ප්‍රතික්ෂේප කල විනිසුරු මඩුල්ල එකී හරස් ප්‍රශ්න නැවත ඇසීමට විත්තියට අවසර ලබා දුන්නේය.
පැමිණිල්ලේ 203 වන සාක්‍ෂිකාරිය වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මියගේ වැඩිදුර මූලික සාක්ෂි විමසීම අද (17) දක්වා කල් තැබිණි.

