SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වූ ඇඟලුම් කර්මාන්තය තුළ දශක ගණනාවක් පුරා දැවැන්තම සලකුණක් වූ

අමලීන් පවුලට අයත් 'MAS Holdings' සමූහ ව්‍යාපාරය වටා මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

 

ශ්‍රී ලංකාවට අතිවිශාල විදේශ විනිමයක් ගෙන ආ, මෙන්ම ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසකට සෘජු රැකියා අවස්ථා සැපයූ මෙම දැවැන්ත සමාගම් ජාලය සිය කර්මාන්ත ශාලා රැසක් වසා දැමීමට හෝ සේවක කප්පාදු කිරීමට ගෙන ඇති තීරණය, හුදෙක් එක් සමාගමක අභ්‍යන්තර ගැටලුවක් පමණක් නොව සමස්ත රටේම සමාජ-ආර්ථික දේහයට එල්ල වන මරු පහරකි.

 

 

මේ වන විට වාර්තා වන තොරතුරු සහ පසුගියදා වැසී ගිය කර්මාන්ත ශාලා පිළිබඳ දත්ත විමර්ශනය කිරීමේදී, මෙම තත්ත්වය පිටුපස ඇති බරපතල භූ-දේශපාලනික, ආර්ථික සහ කළමනාකරණ ගැටලු රැසක් මනාව පැහැදිලි වේ.

 

 images 18

 

රැකියා 26,000ක අවදානම සහ පවුල් දහස් ගණනක අනාගතය අඳුරට

 

දිගුකාලීනව මෙරට ක්‍රියාත්මක වූ MAS Holdings ආයතනය මේ වන විට 96,000කට ආසන්න සේවක බලකායක් නඩත්තු කරයි. නමුත් ආයතනය නැවතත් "ලාභ ලබන තත්ත්වයට" පත් කිරීමේ මුවාවෙන් එම සංඛ්‍යාව 70,000 දක්වා අඩු කිරීමට, එනම් සේවකයින් 26,000කට ආසන්න පිරිසක් දොට්ට දැමීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

 

දැනටමත් තුල්හිරිය MAS ෆැබ්රික් පාර්ක් හි පිහිටි සේවකයින් 1400ක් සිටි 'MAS Kreeda Methliya' කර්මාන්ත ශාලාව වසා දමා ඇති අතර, මීළඟට වානවිල් හි පිහිටි 'MAS KREEDA Vaanavil', නිදහස් වෙළඳ කලාපවල පිහිටි 'MAS Active' මෙන්ම රත්නපුර-හොරණ 'MAS Bodyline' හි ද මෙහෙයුම් අත්හිටුවීමට හෝ කප්පාදු කිරීමට නියමිතය. මීට පෙර මිහින්තලේ කර්මාන්ත ශාලා දෙකක් වැසී යාම සහ වෙනත් සමූහ ව්‍යාපාරවලට අයත් (උදා: මිනුවන්ගොඩ Brandix inqube) ශාලා වැසී යාම ද මෙම ඛේදවාචකයේම දිගුවකි. මෙමගින් රැකියාව අහිමි වන්නේ හුදෙක් සේවකයෙකුට පමණක් නොවේ; එම වැටුපෙන් යැපෙන පවුල් දහස් ගණනකගේ දෛනික ජීවනෝපාය සම්පූර්ණයෙන්ම කඩා වැටීමකට ලක් වේ.

 

 0215

 

 

විදේශ විනිමය අහිමි වීම: ජාතික ආර්ථිකයට එල්ල වන මරු පහර

 

ඇඟලුම් ක්ෂේත්‍රය යනු ශ්‍රී ලංකාවට වැඩිම ඩොලර් ප්‍රමාණයක් ගෙන එන ප්‍රධානතම මාර්ගයකි. දශක ගණනාවක් පුරා MAS වැනි සමාගම් හරහා රටට ගලා ආ විදේශ විනිමය ප්‍රමාණය සුළුපටු නැත. කෙසේ නමුත්, මෙම කර්මාන්ත ශාලා වැසී යාමත් සමඟම මෙරට අපනයන පරිමාව දැඩි ලෙස කඩා වැටෙනු ඇත. ඩොලර් අර්බුදයකින් දැඩි ලෙස බැටකා, යන්තම් හිස ඔසවමින් සිටින ශ්‍රී ලංකා ආර්ථිකයට මෙමගින් සිදුවන විදේශ විනිමය අහිමිවීම කිසිසේත්ම දරාගත නොහැකි පාඩුවකි.

 

 

ප්‍රායෝගික නොවන විසඳුම් සහ සේවක අයිතීන් උල්ලංඝනය වීම

 

කර්මාන්ත ශාලා වසා දැමීමේදී සේවකයින්ට වෙනත් ශාලාවල රැකියා, තුන් මසක වැටුප් හෝ වන්දි ලබාදෙන බව පැවසුවද, යථාර්ථය ඊට වඩා කටුකය. තුල්හිරියේ සේවකයෙකුට රත්නපුරයෙන් රැකියාවක් ලබා දීම කිසිසේත්ම ප්‍රායෝගික නැත.

 

අනෙක් අතට, Victoria’s Secret, Nike, Adidas, Calvin Klein වැනි සේවක අයිතීන් ගැන ලොවටම බණ කියන ලෝක ප්‍රකට සන්නාමයන්හි අවසන් නිමැවුම්කරුවා වන MAS තුළ වෘත්තීය සමිති පිහිටුවීම සපුරා තහනම් කර තිබීම දැඩි විවේචනයට ලක් විය යුත්තකි. සේවකයින්ට තම අයිතීන් වෙනුවෙන් සාමූහිකව පෙනී සිටීමට ඇති අයිතිය අහිමි කිරීම හරහා, ආයතන පාලනාධිකාරියට තම අභිමතය පරිදි සේවකයින් දොට්ට දැමීමට පහසු වටපිටාවක් නිර්මාණය වී ඇත.

 

 

MAS2

 

 

බදු සහන භුක්ති විඳීම සහ ඉන්දියාවට සංක්‍රමණය වීම (රිස්ස අරන් රොඩ්ඩ විසිකිරීම)

 

මෙම කර්මාන්ත ශාලා මෙරට ආරම්භ කිරීමේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් (BOI) අසීමිත බදු සහන සහ වරප්‍රසාද ලබාගෙන ඇත. වසර ගණනාවක් එමගින් අතිවිශාල ලාභයක් ඉපැයූ මෙම සමාගම්, දැන් ශ්‍රී ලංකාවට වඩා ශ්‍රමික, විදුලි සහ ජල පිරිවැය අඩු ඉන්දියාව වැනි රටවලට සිය නිෂ්පාදන කටයුතු ගෙන යාමට සැලසුම් කරමින් සිටී. මෙය හරියටම "රිස්ස අරන් රොඩ්ඩ විසිකරනවා" වැනි තත්ත්වයකි. රටෙන් ගත යුතු උපරිම ප්‍රයෝජන ගත් පසු, ආර්ථික අර්බුදයක් හමුවේ රට සහ සේවකයින් අතරමං කර දැමීම සදාචාරාත්මකව බරපතල ගැටලුවකි.

 

 

බලධාරීන්ගේ නිහඬතාව සහ මාධ්‍ය වාරණය

 

මීට සමගාමීව, ඇමරිකානු ආනයන බදු ප්‍රතිපත්ති (උදා: ට්‍රම්ප් පාලන සමයේ තීරණ) සහ ගෝලීය වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිසි කාලයේදී නිසි මැදිහත්වීමක් නොකිරීමේ පාපතර ප්‍රතිඵල ද දැන් භුක්ති විඳීමට සිදුවී ඇත. ඉන්දියාව වැනි රටවල් බදු සහන ලබා ගනිද්දී අපේ රටට ඒ හා සමාන තත්ත්වයකට තරග කිරීමට නොහැකි වී ඇත්තේ රජයේ ප්‍රතිපත්තිමය දුර්වලතා නිසාය.

 

එමෙන්ම, මෙතරම් දැවැන්ත රැකියා කප්පාදුවක් සිදුවෙමින් පවතිද්දී ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය තුළ ඒ පිළිබඳව ප්‍රමාණවත් කතිකාවතක් නිර්මාණය නොවීම පිටුපස සමාගම් ප්‍රධානීන් විසින් මාධ්‍ය ප්‍රධානීන් සමග පවත්වන "Coffee with Editors" වැනි හිතවත්කම් සහ ගනුදෙනු බලපා ඇති බවට වෘත්තීය සමිති නගන චෝදනාව ද සුළුකොට තැකිය නොහැක.

 

 images 17

MAS Holdings ඇතුළු මෙරට දැවැන්ත ඇඟලුම් කර්මාන්ත ශාලා වැසීයාම හුදෙක් ව්‍යාපාරික තීරණයක් පමණක් නොවේ; එය ලාංකිකයින් දහස් ගණනකගේ බඩට ගසන සහ ජාතික ආර්ථිකය මරු කටට තල්ලු කරන ජාතික අර්බුදයකි. රජය වහාම ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික වෙළඳ ගිවිසුම් පිළිබඳව අවධානය යොමු කර කර්මාන්තය රැකගැනීමට මැදිහත් නොවුණහොත්, මීට වඩා අඳුරු ඛේදවාචකයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවනු නොඅනුමානය.

 

 

පුවත් මූලාශ්‍රය: Sri Lanka Mirror වෙබ් අඩවියෙනි.

නවතම ලිපි