SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ලොව පුරා මාධ්‍ය ක්ෂේත්‍රයම විමතියට පත් කරමින්, අමෙරිකාවේ ප්‍රමුඛතම පුවත්පතක් වන ‘වොෂින්ටන් පෝස්ට්’

(The Washington Post) සිය කාර්ය මණ්ඩලයෙන් 30%ක් එකවර දොට්ට දැමීමට එහි හිමිකාරිත්වය පියවර ගෙන තිබේ. මෙම දැවැන්ත තීරණය පිටුපස සිටින්නේ වෙන කවුරුත් නොව, 2013 වසරේ සිට එහි හිමිකාරිත්වය දරන ලොව ප්‍රකට ප්‍රකෝටිපතියෙකු වන ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බේසොස් (Jeff Bezos) ය.

 

 

මාධ්‍ය ලෝකය කම්පා කළ දොට්ට දැමීම

 

1877 දෙසැම්බර් 06 වන දින ස්ටිල්සන් හචින්ස් (Stilson Hutchins) විසින් ආරම්භ කරන ලද වොෂින්ටන් පෝස්ට් පුවත්පතට වසර 149ක අභිමානවත් ඉතිහාසයක් ඇත. එය වොෂින්ටන් ඩී.සී. හි පැරණිතම සහ වැඩිම අලෙවියක් ඇති දිනපතා පුවත්පතයි. 800කට අධික පිරිසකින් සමන්විත වූ එහි කාර්ය මණ්ඩලයෙන් 300කට ආසන්න පිරිසකට මේ වන විට සිය රැකියා අහිමි වී අවසන්ය.  

 

මෙම සේවයෙන් පහකිරීම් කෙතරම් අමානුෂික සහ හදිසි ඒවාද යත්, එක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුට සිය රැකියාව අහිමි වූ පුවත අසන්නට ලැබුණේ යුක්‍රේනයේ යුද බිමේ වාර්තාකරණයේ යෙදී සිටියදීය. තවත් මාධ්‍යවේදියෙකුට ඒ බව දැනගන්නට ලැබුණේ ඉතාලියේ ශීත සෘතු ඔලිම්පික් උළෙල ආවරණය කරමින් සිටින අතරතුරදීය. පුවත්පතේ ක්‍රීඩා, දේශීය සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අංශවලට මෙයින් දැඩි බලපෑමක් එල්ල වූ අතර, එහි සිටි සියලුම ඡායාරූප ශිල්පීන්වද කිසිදු සමාවක් නොමැතිව සේවයෙන් පහ කර දමා තිබේ.

 

 

මාධ්‍ය දැවැන්තයින්ගේ එදා සහ අද

 

19 වන සියවසේ අගභාගයේදී, වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍ර මගින් මුද්‍රණය කරන පුවත්පත්වල විභවය ව්‍යාපාරිකයින් විසින් හඳුනාගත් විට, ‘මාධ්‍ය දැවැන්තයින්’ (Media moguls) යන යෙදුම කරළියට පැමිණියේය. විලියම් රැන්ඩොල්ෆ් හර්ස්ට් සහ ජෝසෆ් පුලිට්සර් වැනි එදා සිටි මාධ්‍ය බලවතුන් දැවැන්ත පුවත්පත් ජාලයන් ගොඩනැගූ අතර, අද සිටින බිලියනපතියන්ට වඩා ඔවුන් සතුව එක් සුවිශේෂී වෙනසක් තිබුණි. එනම්, ඔවුන් සැබෑ ලෙසම පුවත්පත් කලාවට ආදරය කළ ‘පුවත්පත් කලාවේදින්’ වීමයි.

 

නමුත් අද තත්ත්වය මුළුමනින්ම වෙනස්‍ ය. වර්තමාන බිලියනපතියන් මාධ්‍ය ආයතන මිලදී ගන්නේ හුදෙක් දේශපාලනික බලය මෙහෙයවීමේ සහ සමාජය පාලනය කිරීමේ මෙවලමක් ලෙසිනි. අද වන විට ලොව විශාලතම මාධ්‍ය සමාගම්වලින් අඩකට වඩා සහ ප්‍රධාන සමාජ මාධ්‍ය සමාගම් සියල්ලම පාහේ මෙවැනි ප්‍රකෝටිපතියන් කිහිපදෙනෙකුගේ ග්‍රහණයට නතුව තිබේ.

 

 

දේශපාලනික අවස්ථාවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුර

 

වරක් ‘ප්‍රායෝගික මධ්‍යස්ථමතධාරී ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු’ ලෙස හැඳින්වූ බේසොස්, අද වන විට දේශපාලන වාතාවරණයට අනුව වර්ණය වෙනස් කරන දේශපාලන අවස්ථාවාදියෙකු බවට පත්ව සිටී. අමෙරිකානු ඩොලර් බිලියන 230ක දැවැන්ත පුද්ගලික වත්කමක් හිමි ඔහු, 2013 දී ඩොලර් මිලියන 250කට වොෂින්ටන් පෝස්ට් පුවත්පත මිලදී ගත්තේ එහි හිටපු හිමිකරුවන්ට නව තාක්ෂණය සඳහා ආයෝජනය කිරීමට මුදල් නොමැති වූ බැවිනි.

 

නව හිමිකාරිත්වය යටතේ පුවත්පතට නව ආදර්ශ පාඨයක් එක් විය: "ප්‍රජාතන්ත්‍රවාදය අඳුරේ මියයයි" (Democracy dies in darkness). නමුත් අද එය පුවත්පතේම විනාශය ගැන කියවෙන අසුබ නිමිත්තක් බවට පත්ව ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ පුවත්පත හොඳින් ක්‍රියාත්මක වුවද, ජෝ බයිඩන්ගේ පාලන සමයේදී පාඨකයින්ගේ සංඛ්‍යාව පහත වැටුණි.

 

2024 වසරේදී ට්‍රම්ප් නැවතත් ධවල මන්දිරයට පැමිණෙන බව පැහැදිලි වීමත් සමඟ බේසොස් සිය දේශපාලන ස්ථාවරය වෙනස් කළේය. පුවත්පත කමලා හැරිස් වෙනුවෙන් සහය පළ කිරීමට (Endorsement) සූදානම් වූ විට ඔහු එය අවහිර කළේය. ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවයේදී කැපී පෙනෙන අයුරින් ප්‍රභූන්ගේ අසුන් පෙළක (Oligarch Row) අසුන් ගත් ඔහු, පුවත්පතේ මතවාදී තීරුවට (Opinion section) වඩාත් ගතානුගතික (conservative) මුහුණුවරක් ගන්නා ලෙස බලපෑම් කළේය. මෙම ක්‍රියාකලාපය නිසා කලකිරීමට පත් පාඨකයින් දහස් ගණනින් පුවත්පතේ ග්‍රාහකත්වයෙන් ඉවත් වන්නට විය.

 

 

පුවත්පතට වඩා වටිනා සුඛෝපභෝගී නැව්

 

පොත් අලෙවියෙන් සිය ව්‍යාපාරික අධිරාජ්‍යය ගොඩනැගූ බේසොස්, වොෂින්ටන් පෝස්ට් හි පොත් සමාලෝචන අංශයද වසා දැමීමට තීරණය කිරීම දෛවයේ සරදමකි. ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලානියා ට්‍රම්ප් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට මුදල් යෙදවීමට දෙවරක් නොසිතූ බේසොස්, සිය පුවත්පත ගොඩනැගීම වෙනුවෙන් ආයෝජනය කිරීමට මැලි වෙයි.

 

ඔහුගේ සුඛෝපභෝගී ජීවන රටාව ඊට කදිම නිදසුනකි. ඔහු සතුව ඩොලර් මිලියන 500ක් වටිනා ‘කොරු’ (Koru) නැමති මීටර් 125.8ක් දිගැති දැවැන්ත රුවල් යාත්‍රාවක් සහ එය පසුපස ගමන් කරන හෙලිකොප්ටර් අංගනයක් සහිත ඩොලර් මිලියන 75ක් වටිනා 'අබියෝනා' (Abeona) නැමති තවත් යාත්‍රාවක් ඇත. ‘කොරු’ යාත්‍රාවේ වටිනාකම පමණක් ඔහු වොෂින්ටන් පෝස්ට් පුවත්පත මිලදී ගත් මුදල මෙන් දෙගුණයකි. ඒවායේ වාර්ෂික නඩත්තුව සඳහාද ඩොලර් මිලියන ගණනක් වැය වේ. ට්‍රම්ප්ගේ නව බදු නීති හරහා ඇමේසන් සමාගමට ඩොලර් බිලියන ගණනක බදු සහන හිමිවන විට, යුක්‍රේනයේ සිටි දක්ෂ විදෙස් වාර්තාකාරියකට තම ගමන් මලු අසුරාගෙන රැකියාව අහිමිව අමෙරිකාවට පැමිණීමට සිදුවී ඇත.

 

 

අර්බුදකාරී අවස්ථාවකදී සිය ආයතනයට නායකත්වය දෙනවා වෙනුවට ජෙෆ් බේසොස් කරන්නේ, තමාගේ ලාභය සහ ආරක්ෂාව පමණක් තහවුරු කර ගනිමින් බාහිර අභ්‍යවකාශ ගමන් ගැන සහ සිය සුඛෝපභෝගී නිවාඩු ගතකිරීම් ගැන සිහින දැකීමයි. සැබවින්ම, "ප්‍රජාතන්ත්‍රවාදය අඳුරේ මියයමින්" පවතී.

 

අනුවර්තනය - සමාරා පරණවිතාන

Daily Mirror පුවත්පතේ ‘Democracy dies in darkness’: Jeff Bezos vs The Washington Post ලිපිය ඇසුරින් සිංහලට අනුවර්තනය කර ඇත.

නවතම ලිපි