(විශේෂ අධිකරණ වාර්තාකරුවෙකු විසිනි)
සෞඛ්‍ය ක්ෂේත්‍රය භීතියට පත් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් (Immunoglobulin) මෙරටට ගෙන්වීමේ
මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එරෙහිව පවතින නඩුව ඊයේ (13) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යළි කැඳවිණි.
එහිදී ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අභ්‍යන්තර ලිපිගොනු රැසක් සාක්ෂි ලෙස සලකුණු කෙරුණු අතර, විදේශීය සමාගමක ඊමේල් පණිවිඩයක් සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල අතර ඇතිවූ නීතිමය සංවාදය එදින නඩු විභාගයේ සුවිශේෂී සිදුවීමක් විය.
නඩුවේ පසුබිම: හදිසි මිලදී ගැනීම් මුවාවෙන් වූ මහා වංචාව
මෙය හුදෙක් මූල්‍ය වංචාවක් පමණක් නොව, රෝගී ජීවිත සමඟ සූදුවේ නියැලීමක් ලෙස සැළකේ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ "හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියක්" මුවාවෙන්, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම තුළින් රුපියල් කෝටි 14 කට (මිලියන 140 කට) අධික මහජන මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිචෝදනා 13 ක් ගොනු කර ඇත.
NMRA ලිපිගොනු විවෘත වෙයි: හිටපු සභාපතිගේ අත්සන් සලකුණු කෙරේ
ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ, පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය වන NMRA හි නිශානි ලංකා කරුණාතිලක මහත්මිය ඊයේ සිව්වන දිනටත් සාක්ෂි ලබා දුන්නාය.
පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම විසින් මෙම අත්භූත "හදිසි සීඝ්‍රගාමී ක්‍රමවේදය" යටතේ ඖෂධ ආනයනය කිරීමට අදාළව NMRA භාරයේ තිබූ තීරණාත්මක ලිපිගොනු සහ ලේඛන විශාල ප්‍රමාණයක් මෙම සාක්ෂිකාරිය හරහා අධිකරණයට ඉදිරිපත් කළාය.
මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ:
- හදිසි ක්‍රමවේදය යටතේ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍ර.
- ඖෂධ ඇගයීම් කමිටුව විසින් ලබාදුන් නිර්දේශ, ප්‍රතික්ෂේප කිරීම් සහ ඒවාට පදනම් වූ හේතු.
- විශේෂයෙන්ම, 12 වන විත්තිකරු වන එවකට NMRA සභාපති වෛද්‍ය විජිත් ගුණසේකර විසින් 2022 සැප්තැම්බර් 19 සිට 2023 ජනවාරි දක්වා කාලය තුළ ලබාදුන් මතභේදාත්මක අනුමැතියන් සහ එම ලේඛනවල ඇති ඔහුගේ කෙටි අත්සන් සාක්ෂිකාරිය මගින් සලකුණු කිරීමය.
උණුසුම් වූ අවස්ථාව: "කටකතා සාක්ෂි" සහ විනිසුරු මත ගැටුම
නඩු විභාගයේ වඩාත්ම විමර්ශනාත්මක අවස්ථාව උදා වූයේ "Indian Livealth Bio Pharma" නම් සමාගමේ පුද්ගලයෙකු විසින් එවන ලදැයි කියන ඊමේල් (Email) පණිවිඩයක් පිළිබඳව සාක්ෂි විමසීමට ගිය අවස්ථාවේදීය.
මෙහිදී මැදිහත් වූ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, වෙනත් අයෙකු විසින් එවන ලද ඊමේල් පණිවිඩයක් පිළිබඳව මෙම සාක්ෂිකාරියට කරුණු දැක්විය නොහැකි බවත්, එය සාක්ෂි ආඥාපනතට අනුව "කටකතා සාක්ෂියක්" (Hearsay Evidence) වන බවත් පෙන්වා දුන්නේය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ද එම නීතිමය තත්ත්වය පිළිගත් අතර, මුලින් සභාපති විනිසුරුවරයා නියෝග කළේ එම කොටස නඩු වාර්තාවෙන් ඉවත් කරන ලෙසයි. ඊට කිසිදු පාර්ශවයකින් විරෝධයක් එල්ල නොවීය.
කෙසේ වෙතත්, මෙහිදී නීතිමය වශයෙන් වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කරමින්, විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මැදිහත් විය. ඔහුගේ අදහස වූයේ අදාළ කොටස වාර්තාවෙන් ඉවත් නොකළ යුතු බවයි. විනිසුරු වීරසූරිය ගේ එම මැදිහත්වීමෙන් අනතුරුව, සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ විසින් එම කොටස වාර්තාවෙන් ඉවත් නොකර පවත්වා ගැනීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය.
ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥ මණ්ඩලයක් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර, අටවන සාක්ෂිකාරියගෙන් මූලික සාක්ෂි විමසීම ලබන 16 වනදා දක්වා කල් තැබිණි.
නඩු වාර්තාව
13/02/2026
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12කට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරියගෙන් පස්වන දිනටත් මූලික සාක්ෂි විමසීම ලබන 16 දක්වා කල්තැබීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (13)නියෝග කළේය.
පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය ලෙස නම්කොට ඇති ඖෂධ නියාමන අධිකාරියේ සේවය කරන නිශානි ලංකා කරුණාතිලක මහත්මිය පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ සිව්වන දිනටත් ඊයේ (13) මූලික සාක්ෂි ලබා දුන්නාය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා තිබූ එම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ඊයේ (13) පෙරවරු 10.00 ට පමණ ආරම්භ කෙරිණි.
පැමිණිල්ල විසින් පැමිණිල්ලේ සාක්ෂි ලෙස අධිකරණය හමුවේ ගොනුකර තිබූ ප්‍රශ්න ගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය උපයෝගී කර ගනිමින් ආනයනය කිරීමට අදාළව ඖෂධ නියාමන අධිකාරිය භාරයේ තිබූ ලිපිගොනු විශාල ප්‍රමාණයක් හා ඒවායේ අඩංගු විවිධ ලේඛන විශාල ප්‍රමාණයක් නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය විසින් එම සාක්ෂිකාරිය මගින් ලකුණු කිරීමට පියවර ගත්තාය. හදිසි විශේෂ සීඝ්‍රගාමි ක්‍රමවේදය යටතේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව ආනයනය කිරීමට අදාළ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට අදාල ඉල්ලුම් පත්‍ර ඒවාට අදාළව ඖෂධ ඇගැයීම් කමිටුව මගින් ලබා දුන් නිර්දේශ , ප්‍රතික්ෂේප කිරීම් හා පිළිගැනීම් මෙන්ම ඒවාට හේතු පාදක වූ කරුණු ද සාක්ෂිකාරිය මගින් විවෘත අධිකරණය හමුවේදී පැමිණිල්ලේ සාක්ෂි ලෙස සලකුණු කිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පියවර ගත්තාය. ඖෂධ ඇගයීම් කමිටුව විසින් ලබාදුන් නිර්දේශ පදනම් කොටගෙන එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දොළොස්වන විත්තිකාර වෛද්‍ය විජිත් රණසිංහ ගුණසේකර මහතා විසින් 2022 සැප්තැම්බර් 19 වැනිදා හා 2023 ජනවාරි මාසය දක්වා වූ කාලය තුළදී ලබා දුන් නියෝග හා අනුමත කිරීම්වලට අදාල ලේඛන වල ඇති 12 වන විත්තිකරුගේ කෙටි අත්සන්ද එම සාක්ෂිකාරිය මගින් සලකුණු කිරීමට පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පියවර ගත්තාය. පෙර කී ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ආනයනය කරන ලද ඖෂධවල , ඒවා ආනයනය කළ සමාගම්වල තොරතුරු ද පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය මගින් අධිකරණය හමුවේ ලකුණු කිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වැඩිදුරටත් පියවර ගත්තාය.
නීතිඥ අසේල සේරසිංහ, ඉසුරු ජයවර්ධන, දිනුෂ් රන්දෙනිය, ගයන්ත විජය සුන්දර, රහුල් ජයතිලක, රවිහංස විජේසිංහ, ඉසුරු අබේගුණවර්ධන, කසුන් සරත්චන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අමිත ආරියරත්න, අශෝක සේරසිංහ, චමින්ද අතුකෝරළ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා විත්තිය නියෝජනය කළේය. දණ්ඩ නීති සංග්‍රහයේ 102 වගන්තිය සමඟ කියවිය යුතු පොදු දේපළ පනතේ (5) 1 වගන්තිය යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි විත්තිකරුවන්ට එමගින් චෝදනා නගා තිබිණි.
ඊයේ දින නඩු විභාගය අවසන් වන මොහොතේ Indian livealth bio pharma සමාගමෙන් එවන ලද email පණීවුඩයක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැණුනි. මෙහිදී මැදිහත් වූ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, වෙනත් අයෙකු විසින් එවන ලද ඊමේල් පණිවිඩයක් පිළිබඳව මෙම සාක්ෂිකාරියට කරුණු දැක්විය නොහැකි බවත්, එය සාක්ෂි ආඥාපනතට අනුව "කටකතා සාක්ෂියක්" (Hearsay Evidence) වන බවත් පෙන්වා දුන්නේය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ද එම නීතිමය තත්ත්වය පිළිගත් අතර, මුලින් සභාපති විනිසුරුවරයා නියෝග කළේ එම කොටස නඩු වාර්තාවෙන් ඉවත් කරන ලෙසයි. ඊට කිසිදු පාර්ශවයකින් විරෝධයක් එල්ල නොවීය.
සටහන -අචලා

