[සමාජ–දේශපාලන විශ්ලේෂණයක්]
“අවුරුදු දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා දේශපාලනය පාලනය කළ සම්ප්‍රදායික පක්ෂවල බලය අඛණ්ඩව පවත්වා ගෙන ආ විට,
ජනතාවගේ මනස තුළ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැඟූ නොසතුට 2019–2024 කාලය තුළ විශාල දේශපාලන හැරවීමකට මඟ පෙන්වීය. 2019 ජනාධිපතිවරණයේ දී 3%ක පමණ වූ ඡන්ද පදනමකින් ක්‍රියා කළ JVP නායකත්වය දරන මාලිමා සන්ධානය, ඉතා කෙටි කාලයක දී රටේ දේශපාලන සිතියම මුළුමනින් ම වෙනස් කළ ආකාරය එජාප නායකත්වයේ සමීපතමයෙකු වන සුදත් චන්ද්‍රසේකර විසින් මෙහි විග්‍රහ කෙරේ.”
සම්ප්‍රදායික පක්ෂ අභ්‍යන්තරයේ බිඳවැටීම
පසුගිය වසරවල දී සම්ප්‍රදායික පක්ෂවල දිගු කාලීන සාමාජිකයින් අතර දැඩි අසතුටක් මතු වී තිබුණි. එක්සත් ජාතික පක්ෂයේ දිගු කාලීන සාමාජිකයෙකු මට පැවසූ වචන මේ වෙනසට හොඳ උදාහරණයකි:
“UNP කියන්නේ අපේ ජීවිතවල කොටසක්. ‘සිරිකොත’ අපේ මහගෙදර. ඒත් අද අපි ම අපෙන් අහනවා, අපේ පක්ෂයට මොකක්ද සිදුවුණේ? කියලා.” මේ ප්‍රශ්නය UNP පමණක් නොව, පසුගිය මැතිවරණවල පරාජය අත්විඳින සියලු ම සම්ප්‍රදායික පක්ෂවල සාමාජිකයින්ගේ හදවතේ පවතින ගැටලුවකි. මීට සරල පිළිතුරක් නොමැති නමුත්, මෙය සමාජ–දේශපාලන හැරවීමක් බව පැහැදිලිව පෙනේ.
ප්‍රතිපත්ති වෙනුවට පොරොන්දු දේශපාලනය

ශ්‍රී ලාංකික ඡන්දදායකයා බොහෝ විට ප්‍රතිපත්ති–මූලික දේශපාලනයට වඩා පොරොන්දු–මූලික දේශපාලනය විශ්වාස කරයි. දියුණු රටවල පක්ෂ මැතිවරණ ප්‍රකාශ ජාතික ප්‍රතිපත්ති මත ගොඩනැගී ඇති අතර, ශ්‍රී ලංකාවේ බොහෝ පක්ෂවල මැතිවරණ ප්‍රකාශ බොරු පොරොන්දු වලින් පිරී ඇත. එහෙත් එය ලංකාවේ දේශපාලන සම්ප්‍රදායක් වී ඇත්තේ බොරුවෙන් හෝ බලය ලබා ගැනීමට තිබූ හැකියාව නිසායි.
3% සිට බලය දක්වා වූ උපායමාර්ගික ගමන
මෙවන් පසුබිමක දී JVP, 2019 වන විට 3%ක පමණ වූ ඡන්ද පදනමක් ඇති කුඩා පක්ෂයක් ලෙස සැලකුණ ද, 2019–2024 අතර කෙටි කාලයක දී සිදු වූ දේශපාලන හැරවීම ඔවුන්ට අලුත් මාවතක් විවෘත කළේ ය. අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ JVP නායකත්වය දරන මාලිමා සන්ධානය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියම උඩු යටිකුරු කළේ ය. මෙය හදිසි සිදුවීමක් නොව, සූක්ෂ්ම සංවිධානයක්, පැහැදිලි පණිවිඩයක් සහ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැක.

JVP පළමුවෙන්ම සම්ප්‍රදායික පක්ෂවලට තිබූ ජනතා විශ්වාසය බිඳ දැමීමට සාර්ථක විය. අසාර්ථක ආර්ථික කළමනාකරණය, දූෂණ චෝදනා, පවුල් පාලනය සහ අස්ථාවර ප්‍රතිපත්ති වැනි කරුණු සමාජගත කිරීම මගින් ජනතාව තුළ පැරණි පක්ෂ පිළිබඳ ගැඹුරු අවිශ්වාසයක් ගොඩ නැගීය. එම අවිශ්වාසය මත JVP තමන් “පිරිසිදු විකල්පය” ලෙස පිහිටුවා ගැනීමට සමත් විය. දූෂණ විරෝධී පාලනයක්, පැහැදිලි ආර්ථික පණිවිඩයක් සහ විනිවිද පාලන ආකෘතියක් යටතේ යහපත් රටක් ගොඩනැගිය හැකි බව ඔවුන් සාර්ථකව ජනගත කළහ.
සන්නිවේදනය සහ ප්‍රචාරණ විප්ලවය

JVP ප්‍රචාරණය නවීකරණය කළ ආකාරය මෙම ජයග්‍රහණයේ වැදගත් කොටසකි. ග්‍රාමීය මට්ටමේ ශක්තිමත් සංවිධාන ජාලයක්, ඩිජිටල් (Digital) ප්‍රචාරණයේ නවීන ක්‍රම, තරුණයන්ට සහ කාන්තාවන්ට සෘජු පණිවිඩ සහ සරල, පැහැදිලි සන්නිවේදනය ඔවුන්ගේ පණිවිඩය සමාජයේ සියලු ජන කොටස් වෙත ගෙන යාමට ඉතා ප්‍රබලව උපකාරී විය. ඔවුන්ගේ සන්නිවේදන දක්ෂතාව ජනතාවගේ සිත්වල ඉතා තදින් මුල් බැස තිබුණ ජනතා විමුක්ති පෙරමුණේ කළු පැල්ලම් සහිත අඳුරු අතීතය පවා අමතක කරන්නට ජනතාවට ඉඩ සලසා දුනි.
නායකත්වය සහ පක්ෂ විනය
අනුර කුමාර දිසානායකගේ නායකත්වය JVP නැගී සිටීමේ ප්‍රධාන සාධකයකි. ඔහු පළමු වරට ඡන්දය දෙන තරුණ පරපුර, පරණ පාලකයින්ගෙන් කලකිරී සිටි ජනතාව, පෙර JVP ඡන්දය නොදුන් පිරිස සහ සම්ප්‍රදායික පක්ෂවල කලකිරී සිටි සාමාජිකයින් එක් මැදහත් පදනමකට එකතු කිරීමට සමත් විය. JVP විසින් තම පක්ෂය තුළ ගොඩනැගූ විනය, ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු පක්ෂයක නොපෙනෙන ලක්ෂණයකි. අති මහත් බලයක් තිබූ දැඩි නායකයකු වූ ජේ.ආර්. ජයවර්ධන පවා පක්ෂ විනය පවත්වා ගැනීමේ අභියෝගයට මුහුණ දුන් බව සැලකූ විට, JVP විනය මෙම ජයග්‍රහණයේ වැදගත් සාධකයක් බව පැහැදිලි වේ.

පද්ධති වෙනසක් (System Change) සඳහා වූ ජනතා අරගලය
මෙය සම්ප්‍රදායික පක්ෂවලින් JVP වෙත සිදු වූ සරල පක්ෂ මාරුවක් නොවේ. ජනතාවට අවශ්‍ය වූයේ මාලිමාව දිනවීමට නොව, පැරණි සම්ප්‍රදායික පක්ෂවල වැරදිවලට එරෙහිව නැගී සිටීමටයි. මෙය ජනතාවගේ මනස, විශ්වාසය සහ දේශපාලන සංවේදනයේ ගැඹුරු වෙනසකි. ජනතාවට අවශ්‍ය වූයේ නව නායකත්වයක්, දූෂණ රහිත පාලනයක්, පවුල් දේශපාලනයෙන් මිදීමක් සහ අනාගතයක් ගැන විශ්වාසයකි. JVP එම අවශ්‍යතාවයට සෘජු පිළිතුරක් දුන්නා.
එයට ප්‍රතිවිරුද්ධ ලෙස, සම්ප්‍රදායික පක්ෂ ජනතාවගේ කෝපය, පවුල් දේශපාලනයට ඇති විරුද්ධත්වය සහ නව නායකත්ව අවශ්‍යතාව නොසලකා, අතීත ජයග්‍රහණවල ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් එහි ඇලී සිටියෝ ය. ඔවුන් කතා කළේ පක්ෂ ඉතිහාසය, පරණ නායකයන්, අතීත ජයග්‍රහණ සහ අතීත ක්‍රියාකාරකම් ගැනයි. නමුත් ජනතාවට අවශ්‍ය වූයේ අතීත කතා නොව, තම ගැටලුවලට විසඳුමයි.

අනාගත දේශපාලනයට පාඩමක්
2019–2024 දේශපාලන හැරවීම මාලිමා වැනි අවම ඡන්ද පදනමක් තිබූ පක්ෂයක ජයග්‍රහණයක් පමණක් නොව, එය ජනතාවගේ මනස, විශ්වාසය සහ දේශපාලන සංවේදනයේ ගැඹුරු වෙනසක් ඇති කළේය. අනාගතයේ සියලු පක්ෂ සඳහා මෙය පැහැදිලි පාඩමකි: ජනතාවගේ හදවත් කියවීමට නොහැකි, ජනතා හඬට සවන් නොදෙන පක්ෂවලට බලය ලබා ගැනීමට නොහැකි බව ජනතාව පෙන්වා දුන්නා.
රට ගැන සිතන, විනිවිද පාලනයක් ගොඩනගන, ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා පක්ෂවලට අනාගත දේශපාලන මාවත විවෘතය.
@ සුදත් චන්ද්‍රසේකර
සුදත් චන්ද්‍රසේකර ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ අවුරුදු 40කට වැඩි පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන හා සන්නිවේදන විශේෂඥයෙකි. ඔහු කැබිනට් අමාත්‍ය, විපක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය පුද්ගලික ලේකම් සහ උපදේශක ලෙස සේවය කළ අතර, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ, සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කළා.


