මෙරට සෞඛ්‍ය පද්ධතිය හමුවේ ඇති 'බාල ඖෂධ' අර්බුදය
පසුගිය කාලසීමාව පුරාවට මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ භාවිත කළ ඇතැම් ඖෂධ සහ එන්නත් නිසා රෝගීන් බරපතල අතුරු ආබාධවලට ලක්වීමේ සහ මියයාමේ සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර මේවායේදී ඖෂධවල ගුණාත්මක තත්වයන් වෙතට ඇඟිලි දිගුවීම සිදුව තිබේ. මෙම අර්බුදයේ ආසන්නතම සිදුවීම වන්නේ මහනුවර ශික්ෂණ රෝහලේදී නිර්වින්දන එන්නතක් තුළ බැක්ටීරියාවක් පවතින බව රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු වූ බවට වන කතිකාවයි.
ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කරන ලද මෙම ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව සහතික ලබාදුන් ඉන්දීය රසායනාගාර වාර්තා සහ මෙරට රසායනාගාර ප්‍රතිඵල අතර පවතින බරපතල පරස්පරතාව දැන් ප්‍රශ්න කෙරෙමින් පවතී.
සෞඛ්‍ය බලධාරීන් මෙම වගකීමෙන් බැහැර වන පසුබිමක, මෙරට සෞඛ්‍ය වෘත්තීයවේදීන් මෙම ගැටලුව සෘජුවම ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත යොමු කිරීමට තීරණය කර ඇත. පහත දැක්වෙන්නේ එම තීරණයට පාදක වූ කරුණු පිළිබඳව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ගේ පැහැදිලි කිරීමයි.

" මහනුවර රෝහලේ රසායනාගාරයෙහි පරීක්ෂණයකින් සොයා ගත් පරිදි එන්නතක බැක්ටීරියාවක් තිබී ඇත. ඒ අපූරූ සොයා ගැනීම ගැන ගොඩක් දේවල් හැංගුවාට, අදාළ බැක්ටිරියාව කුමක්ද යන්න පවා නිශ්චිත වශයෙන් සොයාගෙන ඇත. ඒ වගේම ඒ බව රටට තහවුරු කරමින් හෙලිදරව් කරන ලද්දේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාය. ඔහු ලංකාවේ ඉන්න ජෞෂ්ඨතම විශේඥ වෛද්‍යවරයකි. මේ වනවිට ඒ ඔස්සේ යමින් එන්නත් වර්ග දහයක් අත් හිටුවා ඇත. ඒ නිසා අපට ඒ පරීක්ෂණය ගැන හෝ තීරණය සැක කල නොහැකිය.
එන්නත ලංකාවට ගෙන්වා ඇත්තේ ඇම්පියුල් එකක් හෙවත් සීල් තබා සම්පූර්ණයෙන් වසන ලද වීදුරු ආවරණයක ය. එවන් ආවරණයක ඇති යමක්, අතර මැදදී අපිරිසිදු වන්නේ නැත. ඒ නිසා ඉහත කී මහනුවර රෝහලේදී හොයා ගත් බැක්ටීරියාව එන්නතට ඇතුල්වී තිබිය යුත්තේ ඉන්දියාවේදීය.
ඉන්දියාවෙන් මේ එන්නත ලංකාවට ගෙන්වා ඇත්‍තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින්ය. ඔවුන් එන්නත ගෙන්වීමට පෙර එහි තත්වය පිළිබඳ සෑහීමකට පත් ව තිබිය යුතුය. පුර්ව නිදර්ශක ගෙන්වා පරීක්ෂණ කිරීමට තරම් සුදුසුකම් ඇති රසායනාගාරයක් හදා ගන්නට අපට තවම නොහැකිවී ඇති බැවින්, ඔවුන් ඒ සඳහා ඉන්දියාවේ රසායනාගාර දෙකක පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගත් බව කියනවා. එකක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කල රසායනාගාරයක්. අනික ඖෂධ තත්ව පාලනය සඳහාම ප්‍රමිති ගත වුණු එකක්. එම රසායනාගාර වර්ථා අනූව එන්නත තුළ විෂබීජ පමණක් නොව, වෙනත් කිසිදු අඩුපාඩුවක් තිබිය නොහැක.
දැන් එහෙනම් මොකක්ද වෙලා තියෙන්නෙ ඕනේ. එක්කෝ ඉන්දියාවේ සමාගම විසින් පරීක්ෂා කල එන්නත් අපිට නොදී, බාල එන්නත් විකුණලා. එක්කෝ ඉන්දියාවේ රසායනාගාර දෙකම අපිට බොරු වාර්තා දීලා, බාල එන්නත් විකුණලා. නැත්තං රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඒ වාර්තා හරියට බලන්නේ නැතුව ඉන්දියාවෙන් පගාව අරං, බාල ඖෂධ ගෙන්වලා.
ඒ නිසා මේක ගැන අහන්න වෙන්නේ ඉන්දියාවෙන්ම තමයි. දැනටත් අපිට ඕන ඖෂධ වලින් සියයට 60% විතර ගෙන්වන්නේ ඉන්දියාවෙන්. අපේ අළුත් ආණ්ඩුව ඉන්දියන් ෆාර්මකෝපියා එක අනුමත කරන රහස් ගිවිසුමට පස්සේ ඒ ප්‍රමාණය තව ගොඩාක් ඉහළට යන්න නියමිතයි. ඒ නිසා අපි මේ ගැන ඉන්දියාවෙන්ම පැහැදිලි කිරීමක් ලබා ගන්න වෙනවා.
ඖෂධ ගැන වගකීමක් සෞඛ්‍ය ඇමතිට නැති බව පුන පුනා කියද්දී, අපි අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න අමාත්‍යාංශයේ කවුරුත්ම ඉදිරිපත් නොවෙද්දී, අපි ඒ ගැන ඉන්දියාවෙන් ඇහුවා".
රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

