SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ආනන්ද විජේපාලගේ තාත්තාගේ නම අල්ලාගෙන ඔහුගේ සිංහලකම ගැන ප්‍රශ්න කරන අය

විශාල ප්‍රමාණයක් මේ දිනවල දකින්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි අන්ත සිංහල බෞද්ධ ජාතිකවාදීන්ගේ පටන් මූලධර්මවාදී ක්‍රිස්තියානින් දක්වා පුළුල් පරාසයකට අයත් පිරිසක් මේ තුළ දකින්න පුළුවන් කම.

 

 

ඒ වගේම ලිබරල් අදහස් තියෙන අය, තමන් වාමාංශිකයන් කියාගන්න අය, තමන් දක්ෂිණාංශිකයන් කියාගන්න අය, ස්ත්‍රීවාදීන් වගේ පෙනී ඉන්න අය, බණ්ඩාරනායකට පක්ෂ අය, බණ්ඩාරනායකට විරුද්ධ අය, ජේ.ආර් ජයවර්ධනට පක්ෂ අය, ජේ.ආර් ජයවර්ධනට විරුද්ධ අය, රනිල් වික්‍රමසිංහට පක්ෂ අය ආදී වශයෙන් තුන් සිංහලයටම අයිති පිරිසක් මේකට එකතු වෙලා.

 

හරියට බැලුවොත් ඉතින් මෙතන තියෙන්නේ මේ ආණ්ඩුවට තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා ආනන්ද විජේපාලගේ තාත්තගෙ නම යොදා ගැනීම තමයි.

 

 

නමුත් මෙතන තියෙන ප්‍රශ්නය තමයි සිංහලයෝ කියන්නේ කවුද කියන එක මේ ගොඩක් අයට අමතක වෙලා තිබීම. යථාර්ථය ගත්තොත් ඉතින් සිංහලයෝ කියන්නෙ ජීව විද්‍යාත්මක වශයෙන් ගත්තොත් නම් පාට පෙට්ටියක් නේ. සුදු කළු දුඹුරු කහ ඔක්කොම තියෙනවා. සමහර සිංහලයෝ නිකම් සුද්දෝ වගේ, පාටින් හැඩයෙන් කොකේසියන්. තවත් අය කළු අප්‍රිකානුවො වගේ. තවත් පිරිසක් චීන්නු වගේ. තවත් කට්ටිය මැලේ ඒ කියන්නේ ජා වගේ. ඒ අතරින් අපි වැඩි පිරිසක් කේරළ හෝ තමිල්නාඩු වගේ. තවත් අතකින් බැලුවොත් බෙංගාල හෝ බංගලාදේශ වගේ.

 

 

නලින් ද සිල්වා මහත්තයා ඉස්සර කියනවා යමෙක් සිංහලයෙක් වෙන්නේ ජීව විද්‍යාත්මකව නෙවෙයි සංස්කෘතිකව කියල. ඒ කියන්නේ කොහෙන් ආවත් සිංහල සංස්කෘතිය පිළිඅරගෙන ඒකට අනුව හැඩගැහුනොත් ඉතින් එයා සිංහල කියන එක. ඒ කාලේ එතුමා කියනවා එතුමාගේ මුත්තා කේරළෙන් ආවා වෙන්නත් පුළුවන් කියලා. නමුත් ඒක සිංහල වෙන්න බාධාවක් නෙවෙයි කියල. මගේ මතකයේ හැටියට කැප්පෙටිපොලගේ සීයා ඇවිල්ලා තියෙන්නෙ මදුරාවෙන්. මම වැරදි නම් නිවැරදි කරන්න. ඒත් ඉතින් එතුමා කැරලිත් ගහලා ජීවිතෙත් පිදුවා සිංහලයෝ වෙනුවෙන්.

 

 

අපේ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ කියනවා එයාට යම් ආකාරයක චීන සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලා. එතුමා චීනේ ගිය සමහර වෙලාවල්වලදි චීනුන්ටත් එතුමව චීන විදියට පෙනිලා තියෙනවා කියලා එයාම කියනවා. එයාම ඒක කිව්වට පස්සේ මටත් එහෙම පේනවා.

 

 

තරහ අවසරයි, නමුත් අපේ රාජපක්ෂවරුන්ගේ පෙනුමේ මැලේ ඒ කියන්නේ ජා පෙනුමක් තියෙනවා කියන එක හංගන්න දෙයක් නෑ. එයාලා හම්බන්තොටනේ. හම්බන් කියන වචනය ඇවිත් තියෙන්නේ මැලේ සම්බන් කියන වචනයෙන් නේද? සම්බන් කියන්නෙ ජා මුහුදු යාත්‍රා විශේෂයක්. සම්බන් තොට තමයි හම්බන්තොට උනේ. එහෙම නේද? ඉතින් බෝට්ටු වලින් ආපු අය ජානත් ගෙනාවා කියන එක හරිම ලේසියෙන් හිතන්න පුළුවන් දෙයක්. ඒක ඒ අයට සිංහල වෙන්න හෝ සිංහලයන්ගේ වීරයන් වෙන්න කිසිම බාධාවක් වෙලා නෑ නේද?

 

 

ඔය වගේම බණ්ඩාරනායකලාගේ සහ ජයවර්ධනලාගේ පරම්පරා ගැනත් ඊට සමානම කතා තියෙනවනේ. විශේෂයෙන්ම බණ්ඩාරනායකලා මේ රටට ආවේ කෝට්ටේ යුගයේදී දකුණු ඉන්දියාවෙන් කියන එක ප්‍රචලිත කරුණක්. ඒ වගේම බණ්ඩාරනායකගේ තාත්තා ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි. ජේ.ආර් ගේ තාත්තත් ඇන්ග්ලිකන්. රනිල් වික්‍රමසිංහගේ තාත්තත් ඇන්ග්ලිකන්. නමුත් බණ්ඩාරනායකත්, ජේ ආරුත්, රනිලුත් කියන තුන්දෙනාම බුද්ධාගම ගැන පොත් ලියලා තියෙනවා. ඉතින් මොකක්ද තියෙන ප්‍රශ්නෙ?

 

 

ඔය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේලා ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දුලා කොචින්වලින් ආපු අය නේද? ඒ කියන්නේ කේරළයේ වරාය නගරයකින් ආපු අය. මම හරි නම් එයාලට ඒ කාලේ කිව්වේ කොච්චි කියල නේද? නමුත් එයාල කේරළ මිනිස්සු නෙවෙයි අපේම සිංහල මිනිස්සු වගේ නේද අපිට දැනෙන්නේ?

 

 

ඔය සමහර ඉතියෝපියෙන් හා සෝමාලියන් මිනිස්සු අපේ සමහර සිංහලයෝ වගේමයි. එයාලගේ පෙනුමේ තියෙනවා අප්‍රිකානු සහ අරාබි මිශ්‍රණයක්.

 

ඒ වගේම අපි හිතනවට වඩා සිංහලයෝ අතර යුරෝපීය සුදු මූලයන් තියෙන්න පුළුවන් කියලා සමහරු දැක්කම හිතෙනවා. පෘතුගීසි අය සිංහල සමාජය තුළටම අවශෝෂණය වෙලානේ. ඩච් බර්ගර් අයත් දැන් එක්කෝ සිංහලයන්ගේ නැතිනම් දෙමල අයගේ කොටසක් වෙලා.

 

ඒ විතරක් නෙවෙයි, දෙමළ, මලයාලම්, මැලේ හා මුස්ලිම් අය පුද්ගලයෝ වශයෙන් සිංහල බවට පරිවර්තනය වුණු උදාහරණ ගොඩක් මම මගේ ජීවිත කාලය ඇතුලතදිම දැකලා තියෙනවා. සමහරු එයාලම සිංහල බවට පත්වෙනවා. තවත් සමහර වෙලාවල්වලට පරම්පරාවක් ඇතුළත, ඒ කියන්නේ ඒ අයගේ දරුවෝ සම්පූර්ණ සිංහලයෝ බවට පත්වෙනවා.

 

 

මේ කොහොම වුනත් සිංහලයෝ කියන්නේ ජීව විද්‍යාත්මක වශයෙන් පුදුම තරම් කලවම් වුනු ජනවර්ගයක් බවට කිසිම විවාදයක් නැහැ. අපේ වංශකථා බැලුවමත් ඒ ඒ අවස්ථාවලදී විශේෂයෙන්ම වර්තමානයේ ඉන්දියාව කියල කියන රටේ විවිධ ප්‍රදේශවලින් ආපු අය සිංහල බවට පත් වෙලා මේ සිංහල සමාජයේ පූර්ණ සාමාජිකයෝ උනා කියන එකට උදාහරණ ගොඩක් තියනවනේ. ඔය ජය ශ්‍රී මහා බෝධිය සමඟ අටලොස් කුලයක් ආවා කියන එක, ගජබා රජ්ජුරුවෝ දොළොස් දාහක් දෙමල අය ගෙනාව කතාව වගේ ඒවා.

 

 

මට පේන විදියට නම් සිංහල කියල කියන්නේ ඉතාමත්ම පහසුවෙන් සාමාජිකත්වය ලබාගන්න පුළුවන් ජන වර්ගයක්. ලෝකයේ වෙනත් ජනවර්ග ගොඩක් එක්ක සංසන්දනය කරලා බැලුවම ඒක හොඳට පේනවා. ඉතිහාසය පුරා එහෙම වෙලා තියෙන නිසා තමයි පාට පෙට්ටියක් වගේ හැම පාටින්ම සිංහලයෝ ඉන්නේ. ඒ වගේම සිංහල කියන්නේ එහෙම පාට පෙට්ටියක් නිසාම ඒකට අලුතෙන් එකතුවෙන මොන පාට කෙනාටත් ඒ තුළට පහසුවෙන් එකතු වෙන්නත් පුළුවන් වෙලා තියෙනවා. මේ විවෘත සහ නම්‍යශීලී ඇතුලත් කර ගැනීමේ ක්‍රමය සිංහලයින්ගේ විචිත්‍රත්වයේ කොටසක් විදියට තමයි මට නම් පේන්නේ.

 

 

ඒ නිසා ආනන්ද විජේපාලගෙන් විතරක් තාත්තා කවුද කියලා අහන්න එපා. අහනවා නම් ඔය ගොඩක් අයගේ තාත්තලා, එහෙම නැතිනම් සීයලා, එහෙමත් නැතිනම් මුත්තල කවුද කියලා අහන්න වෙනවා. අද සිංහල කියලා කියාගන්න අපි ගොඩක් අයගේ මුතුන් මිත්තෝ වෙන ජනවර්ගවල අය. එහෙම වෙන තැනකින් ආපු අය මේ රටේදි ඉතිහාසයේ කවදා හරි දවසක සිංහල බවට පත්වෙලා තමයි වර්තමාන සිංහල ජාතිය හැදිලා තියෙන්නේ. ඒ නිසා කෙටි කාලීන දේශපාලන සටන් පාඨයක් විදියට ඔය වගේ වැරදි ඒ වගේම පහත් ප්‍රශ්නයක් අහන්න එපා.

 

 

සිංහල වෙන්න කැමති ඕනි කෙනෙකුට සිංහල වෙන්න ඉඩ දෙන්න. ඒක ඇත්තටම ගත්තොත් හොඳ දෙයක්. මම අහල තියෙන විදිහට සිරිමා බණ්ඩාරනායකලා එක සැරයක් යෝජනා කළා ලංකාවේ ජීවත් වෙන ඉන්දීය දෙමළ අයව සිංහල කර ගත යුතුයි කියලා. මම කියන්නේ එහෙම කාවවත් තර්ජනය කරලා සිංහලකරණය කරගත යුතු නැහැ. නමුත් කවුරුහරි කෙනෙක් සිංහල වෙන්න හිතනවනම් ඒකට බාධා කළ යුතුත් නැහැ.

 

එදා වෙනත් ජන වර්ගයක්ම කණ්ඩායමක් විදිහටම සිංහල කරන්න යෝජනා කරපු රටක, අද කැමැත්තෙන්ම සිංහල වෙන්න හදන මනුස්සයෙක්ගෙන් ජාතකය අහන එක කැත වැඩක් විතරක් නෙවෙයි, මෝඩ වැඩක්.

 

 

@Anuruddha Pradeep Karnasuriya

නවතම ලිපි