SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

අසාමාන්‍ය ලෙස දරුවන් ඔබට අකීකරුද?

දරුවන් ඔබව නොසලකා හරිනවාද?

ඔබ දිගින් දිගටම වරද දරුවන් පිටම පටවනවාද?

 

 

ඔබේ පාලනයෙන් පිට දරුවකුගේ හැසිරීම පවතී නම් ඊට හේතුව ඔබගේ යම්කිසි වැරැදි ක්‍රියාමාර්ගයක් විය හැකිය. . මෙවැනි තත්ත්වයක් නිවැරැදිව අවබෝධ කර නොගෙන දීර්ඝ කාලයක් මෙම තත්ත්වය නොසලකා හැරීම හේතුවෙන් ඔබට නොසිතූ ප්‍රතිඵල අත්විඳීමට සිදුවෙන්න පුළුවන්. අද අපි කතාබහ කරන්නේ දරුවකු මවුපියන්ගේ පාලනයෙන් ගිලිහීමට බලපාන හේතු පිළිබඳවයි.

 

ාොිෙ

 

1). දිගින් දිගටම දරුවාගේ නිදහසට අනවශ්‍ය ලෙස බාධා කිරීම.

 

බොහෝවිට මවුපියන් තම දරුවාව පීඩාකාරී කාලසටහනකට හුරු කිරීමට පෙලඹේ. රූපවාහිනිය නැරඹීම, කැමැති ක්‍රීඩාවක යෙදීම, පොත් කියවීම, මිතුරන් සමඟ කාලය ගත කිරීම වැනි දරුවාගේ දෛනික විනෝදාංශවලට බාධා නොවන අන්දමින් කාලසටහනකට දරුවන් හුරු කිරීම සුදුසුය. එවිට ඔවුන්ගේ නිදහස සහ විනෝදය වෙනුවෙන් යම්කිසි කාලයක් ඔවුන්ට ලබාදිය යුතුය. එසේ නොවන විට කලක් යෑමේදී ඇතිවන පීඩාව හේතුවෙන් නිදහස පිටින් සෙවීමට දරුවන් යොමුවේ. එය ඉතා හානිකර තත්ත්වයක් දක්වා වුවද වර්ධනය වේ. මෙවැනි තත්ත්වයක් හමුවේ මත්ද්‍රව්‍යවලට හෝ අහිතකර වෙනත් පුරුදුවලට ඇබ්බැහි වීමට ඉතා ලේසියෙන් දරුවන් පෙලඹේ.

 

 

2). දරුවන්ගේ වැරැදි අන් අය සමඟ නිතර නිතර පැවසීම හා ‍දොස් නැඟීම.

 

බොහෝ මවුපියන් තම දරුවන්ගේ වැරැදි පාසලේ ගුරුවරුන් අසල්වැසියන්, නෑදෑ හිත මිතුරන් ආදීන් සමඟ නිතර නිතර විවේචනය කරමින් සිදු කරන්නේ මවුපියන්ගේ මානසික පීඩනය දුරු කර ගැනීමයි. නමුත් මේ විවේචන අසා සිටින දරුවා තුළ ඇතිවන ඍණාත්මක ආකල්ප හේතුවෙන් දරුවා තමන්ව එම ඍණාත්මක ආකල්ප තුළින් දැකීමට පෙලඹේ. තමන් පිළිබඳ අසුබවාදී දේවල් නිතර නිතර ඇසෙන්න දකින්න ලැබෙන මෙම දරුවාට තමා පිළිබඳ ඇති ආත්මශක්තිය හීන වෙයි.

 

බොහෝවිට මවුපියන් අන් අය ඉදිරියේ තම දරුවාගේ වැරැදි විවේචනය කරමින් උත්සාහ කරන්නේ එම මොහොතේ දරුවා තුළ ලැජ්ජාවක් ඇතිකර එම ලැජ්ජාව නිසා ඔවුන් ඒ වරදින් මිදෙයි යන බලාපොරොත්තුවයි. නමුත් එවැනි අවස්ථාවකදී, ‘කවුරුත් මාව හරියට තේරුම් ගන්නේ නැහැ’ යන හුදෙකලා හැඟීම තවදුරටත් ඇතිවී දරුවා දිගින් දිගටම මුරණ්ඩු වේ. කල් යෑමේදී මවුපිය පාලනයෙන් ගිලිහෙන දරුවා ඉතා ප්‍රචණ්ඩකාරී දරුවෙක් බවට පත්වෙයි.

 

එම නිසා දරුවන්ගේ වැරැදි අන් අය සමඟ නිතර නිතර පැවැසීමේදී ඉතා කල්පනාකාරී වන්න.

 

නවහඒ

 

3). දරුවාගේ දක්ෂතා හා හැකියා නිසි පරිදි හදුනා නොගැනීම.

 

සමහරවිට ඔබේ දරුවා තුළ සැඟවුණු දක්ෂතා ඇත. ඒවා ඔබ කුඩා කාලයේදී දැක්වූ දක්ෂතාවලට වඩා හාත්පසින්ම වෙනස් ඒවා විය හැකිය. ඔබ නොලහිතන් අත්දැකීමක් ඔබේ දරුවා තුළ ඇති බව ඔබට නිසි පරිදි හදුනා ගැනීමට නොහැකි වූවා විය හැකිය. එම නිසා දරුවා යම් ක්ෂේත්‍රයක් නියෝජනය කිරීමට ඔබට යෝජනා කරන විට එය ඔබ අතින් ප්‍රතික්ෂේප වූවා විය හැකිය. ඒ තුළින් තමන්ට අසාධාරණයක් වූවා යන හැඟීම දරුවාට ඒත්තු ගැන්වී ඔබේ පාලනයෙන් පිටට දරුවා යෑමට ඉඩ ඇත. එම නිසා දරුවාට හොඳින් සවන් දීම කළ යුතුයි.

 

 

4). සාරධර්ම ගුණධර්මවලට හුරු නොකිරීම.

 

දරුවකු සමාජයට හැඩ ගැසීමේ මූලික පුහුණුව ලබාදෙන්නේ පවුලෙනි. සාමාජිකයන් අතර ඇතිවෙන යහපත් හැසිරීම්, ක්‍රියාකාරකම්, ආදර්ශ, ආකල්ප මඟින් දරුවකු සාරධර්ම ගුණධර්ම උගනි. තම පවුලේ සාමාජිකයන් අන් අය විවේචනය කරනවා නම්, අන් අය පහත් කොට සලකනවා නම්, පිදිය යුත්තන් පුදන්නේ නැත්නම්, ඒවා දරුවන් ඉගෙන ගැනීම අරුමයක් නොවේ. එම නිසා ඔබ ආදර්ශවත් වීම පළමුවෙන්ම සිදුවිය යුතුයි. මඟතොටදී මුහුණ දීමට සිදුවන කුඩා කුඩා සිදුවීම් ඇසුරින් හා අත්දැකීම් තුළින් දරුවාට සාරධර්ම ගුණධර්ම පුහුණු කිරීමට වග බලා ගන්න. අන් අයට ගරු කිරීම, සත්තුන්ට ආදරය කිරීම, ඉවසිය යුතු තැන් ඉවසීම ආදී මහත්මා ගුණ අත්දැකීම් ඇසුරෙන් නිර්මාණාත්මකව දරුවාට හුරු කරවන්න.

 

 

5). වෙනත් දරුවන් සමඟ සංසන්දනය කිරීම හා ඔවුන්ගේ රුචි අරුචිකම් නොසලකා හැරීම.

 

සෑම දරුවකුටම තමන්ට ආවේණික දක්ෂතා, හැකියා හා රුචි අරුචිකම් රාශියක් පවතී. අන් දරුවන් සමඟ සංසන්දනය කරමින් වර්තමාන තරගකාරී අධ්‍යාපන රටාව තුළ දරුවා කොටු කිරීම වෙනුවට ඔවුන්ගේ හැකියා හා රුචි අරුචිකම්වලට ගැළපෙන පරිදි පැහැදිලි අනාගතයක් සැලසුම් කරදීම ඔබේ යුතුකමකි. අන් අය සමඟ දිගින් දිගටම සංසන්දනය කිරීමට යෑමෙන් සමස්ත සමාජයම දෙස වෛරයෙන් බැලීමට දරුවන් පෙලඹේ. ඒ තුළින් ඔවුන්ට කල් යෑමේදී සමාජ භීතිකාව, විශාදය වැනි මානසික තත්ත්වයන් වුවද ඇතිවිය හැකිය.

 

මෙවැනි හේතු නිසා මවුපිය පාලනයෙන් ගිලිහෙන දරුවා පාසල් යෑම ප්‍රතික්ෂේප කිරීම, හුදෙකලා වී කල්ගත කිරීම, නිතර නිතර කෝපයෙන් පසුවීම, වෙනත් අහිතකර මත්ද්‍රව්‍යයකට හෝ අහිතකර පුරුද්දකට ඇබ්බැහි වීම, ජංගම දුරකථනයට, පරිගණකයට අනවශ්‍ය ලෙස ඇබ්බැහි වීම, අධික ලෙස නිදා ගැනීම වැනි ක්‍රියා කලාපයක් පෙන්නුම් කරයි. අවසාන ප්‍රතිඵලය ලෙස මෙවැනි ක්‍රියාකලාපයන් දක්වා වර්ධනය වූ පසු මානසික අවපීඩනයෙන් පෙළෙන දරුවාට පාසල් යෑම, මවුපියන්ට ගරු කිරීම, තමන්ගේ අරමුණු වෙත, ඉලක්ක වෙත යෑම, වෙහෙසකර ක්‍රියාවක් බවට පත්වේ.

 

එවිට තරගකාරී අධ්‍යාපන රටාව හා සංසන්දනය කරමින් දරුවාට නිතර නිතර චෝදනා කරන විට දරුවා මුළු මහත් සමාජයත් සමඟම වෛර බඳී. මෙවැනි තත්ත්වයකට පත්වුණු දරුවකු මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර රටාවකින් ක්‍රමානුකූලව මුදාගත යුතුයි. ඔවුන්ට තරයේ දඬුවම් කිරීම නොකළ යුතුයි. තම වගකීම් දැරිය හැකි මට්ටමකට ඔවුන්ගේ මනස සැහැල්ලු කර දිය යුතුයි. එකම වරද නැවත නැවත සිදු නොවීමට පරිසරය සකස් කර දියයුතුය. මිනිස් මනස මානසික නිදහසක් නොදැනෙන ඕනෑම තැනකින් ඉවත් වීම ඊට හේතුවයි. තම මානසික නිදහස වෙනුවෙන් ඉලක්ක අරමුණු යුතුකම් වගකීම් සියල්ලම වුවද බැහැර හැරීමට සූදානම්. නොවැළැක්විය හැකි හේතුවක් නිසා තම මානසික නිදහස වෙනුවෙන් සියල්ලම අත්හැරපු දරුවෙක් ඔබට සිටී නම් එම දරුවාගේ අනාගතය ලස්සනට පාට කිරීමට අදාළ පරිසරයක් බුද්ධිමත්ව ගොඩනඟන්න. ඉතින් ආදරණීය මවුපියනි “හැඳි නොගා හදන හොද්ද වගේ තමයි නොගහ හදන දරුවත්” කියන පැරැණි ව්‍යවහාරයේදී සමාන කළාට සමහර අවස්ථාවලදී එම ගැටලුවලට හොඳම පිළිතුර දඬුවම් දීමම නොවේ.

 

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

නවතම ලිපි