ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කීර්ති නාමයට සහ චරිතයට අපහාස වන අයුරින්
කාන්තාවක සම්බන්ධ කර සමාජ මාධ්‍යවල පළ වන වාර්තා පිළිබඳව' විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නීතිඥවරයෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
අගෝස්තු 7 වන දින නීතීඥ අකලංක උක්වත්ත විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ "ජනාධිපතිවරයාගේ උපදෙස්" මත බව එම නීතිඥවරයා සඳහන් කරයි.
දින කිහිපයක් පුරා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගයේ ඇතැම් ප්‍රබල චරිත ව්‍යාපාරික කාන්තාවකට සම්බන්ධ කරමින් සමාජ මාධ්‍යවල විවිධ ප්‍රකාශ මෙන් ම ඡායාරූප ද සංසරණය වන අයුරු නිරීක්ෂණය විය.
ඒ, ජනාධිපතිවරයා දුර පළාත්වල සිදු කරන සංචාරවලදී නිල නිවාසවල නොව අදාළ කාන්තාවට හිමි හෝටල්වල නතර වන බවට විවේචනය කරමිනි.
'මේ කාරණා සියල්ල ම අමූලික බොරු'
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතීඥ අකලංක උක්වත්ත මාධ්‍ය වෙත අදහස් පළ කළේ ය.
එහිදී ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරයා පිළිබඳව සමාජ මාධ්‍යවල සංසරණය වන මෙම ප්‍රකාශ අසත්‍ය සහ පදනම් විරහිත බැවින් තමන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ය.
"මේ ආසන්න කාලය තුළ ජනාධිපතිතුමාගේ කීර්ති නාමයට සහ චරිතයට අපහාස වන ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ සැරිසරන, කාන්තාවක් හා සම්බන්ධ වීඩියෝවක් සහ පෝස්ට් සම්බන්ධයෙන් සුදුසු විමර්ශනයක් කිරීම සඳහා අපි ජනාධිපතිතුමාගේ උපදෙස් මත මා විසින් අද දිනයේ පැමිණිල්ලක් කළා.
ඒ පැමිණිල්ලට අදාළව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කිරීම කළා. ඒ අදාළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ගිණුම් හා ඒ කාරණා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස,"
ඔහු පැවසීය.
එහිදී ඔහු අවධාරණය කළේ, "මේ කාරණා පදනම් විරහිතව ගොතන ලද කාරණා" බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බව තමන් විශ්වාස කළ බවත් ය.
"මොක ද මීට පෙරත් අපි දැක්කා ග්‍රීසියේ මුදල් සම්බන්ධයෙන් හල්ඔළුවගේ ප්‍රකාශ. අන්තිමේදී ඔවුන්ගේ ඒ ප්‍රකාශ තහවුරු කර ගැනීම සඳහා වන කාරණා ඉස්මතු වෙන කොට විමර්ශනයක් ආරම්භ කළා ම ඔවුන්ගේ ෆයිල් ටික කට්ටිය ඇවිල්ලා අරන් යනවා පාරවල් මැද."
"අපි විශ්වාස කරනවා, මේ වගේ අසත්‍ය කරුණු සමාජගත කරලා ඒවා සමාජය තුළ ජනතාවට විශ්වාස කිරීමට සැලැස්වීම වැරැද්දක් වශයෙන්. ඒ අනුව තමයි අපි අද දිනයේදී, ජනාධිපති අනුර දිසානායක මහතාගේ උපදෙස් මත මා අද පැමිණ මේ පැමිණිල්ල සිදු කළේ,"
ඔහු වැඩිදුරටත් පැවසීය.
අදාළ ප්‍රචාර සිදු කරන "මූලික පුද්ගලයා" හඳුනාගෙන ඇති බව ද එහිදී නීතිඥවරයා පැවසීය.
සමාජ මාධ්‍යවල සංසරණය වන්නේ මොනවා ද?
ජනාධිපතිවරයා සහ කාන්තාවක සම්බන්ධ විවිධ ප්‍රකාශ සමාජ තුළ සංසරණය වීම ඇරඹියේ ඔහු අනුරාධපුරයේ සිදු කළ සංචාරයේදී නිල නිවාසක නොව පෞද්ගලික හෝටලයක නවාතැන් ගත් බවට පළවූ අදහස් සමගිනි.
ඉන් එක් සටහනක සඳහන් වූයේ, ජනාධිපතිවරයා "ජනාධිපති ආරක්ෂක අංශයේ විරෝධය මත" අදාළ හෝටලයේ නවාතැන් ගෙන ඇති බව ය. එය දීර්ඝ කාලීනව සිදුව ඇති බව ද එම සටහනේ සඳහන් විය.
එහි තවදුරටත් මෙසේ සඳහන් වෙයි:
"අනුර මේ ආකාරයෙන් 'විවේක' ගන්නේ එක ම හෝටල් ජාලයක. හෝටල් කීවාට එය රට පුරා පිහිටි විලා ජාලයක්. නම **** (හෝටලයේ නම ඉවත් කර ඇත). අනුර '****' විලාවල නැවතීම අලුත් දෙයක් නොවෙයි. අනුර නත්තල, සිංහල අවුරුද්ද වැනි නිවාඩු වගේ ම ඔහුට විවේකයක් අවශ්‍ය සෑ ම විටක ම යන්නේ **** විලා එකකට. **** රට පුරා ම ඇති විලා ජාලයක්. 2024 නත්තල සහ 2025 සිංහල අලුත් අවුරුද්ද අනුර ගත කළේ නුවරඑළියේ පිහිටි **** හෝටලයේ."
කෙසේ වෙතත්, අදාළ හෝටල් ජනාධිපති නිල නිවාස මෙන් අරක්ෂක ක්‍රමවේද මත ගොඩනගා නැති බැවින් එය ඒවායේ නවාතැන් ගැනීම ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් බව එමගින් පෙන්වා දී තිබිණි.
තව ද මෙම හෝටල් හිමි කාන්තාව ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු බවත් ඇයට ආණ්ඩුවේ තීරණ සඳහා බලපෑම් කිරීම බලයක් පවා ඇති බවත් එම සටහනේ මෙන් ම සමාජ මාධ්‍යවල සංසරණය වූ තවත් ප්‍රකාශවල සඳහන් විය.
'එහෙම හිටියා ද කියන එක ලොකුවට අදාළ වෙන්නේ නැහැ' - කැබිනට් ප්‍රකාශක
මේ සම්බන්ධයෙන් අගෝස්තු 5 වන දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙවැනි ප්‍රකාශයක් කළේ ය:
"ඒ ස්ථාන අයිති ව්‍යාපාරික පිරිමියෙකුට ද කාන්තාවකට ද කවුද කියන එක වැඩිය වැදගත්කමක් නැහැ. ජනාධිපතිවරයා කොළඹ සහ නුවර ජනාධිපති මන්දිර රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට භාවිත කරන බවට ප්‍රසිද්ධියේ ම කියලා තියෙනවා.
"ඉතුරු කටයුතුවලදී අපි ආරක්ෂාව පිළිබඳවත් අවධානය යොමු කරමින්, ආරක්ෂාව ලබා දෙන ආරක්ෂක නිලධාරීන්ගේත් ඒ වගේ ම අපේ, අපිත් එක්ක වැඩ කටයුතු කරන අයගේත් උපදෙස් මත සහ ඒගොල්ලන්ගේ අනුදැනුම සහිතව ජනාධිපතිතුමා දුර පාළාත්වල ගියා ම නතර වෙනවා.
"ඉතින් සමහර දවස්වලට එහෙම එන්න බැහැ නේ. ඒ සම්බන්ධයෙන් අපි ඒ අයත් එක්ක සාකච්ඡා කරමින් තමයි නතර වීම් කටයුතු කරන්නේ. කොහේ ද නතර වෙන්නේ... නේ ද? එහෙම හිටියා ද කියන එක ලොකුවට අදාළ වෙන්නේ නැහැ."
රටේ පාලකයින්ට හිතවතුන්ගේ දේපළ පරිහරණය කළ හැකි ද?
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරාගෙන් විමසීමක් කළේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ සිට මහජන ධූර දරන්නන් ළබැඳියාවන් අතර ගැටීමකින් (conflict of interest) තොරව ජීවත් වීම අවශ්‍ය බව ය.
"මහජන ධූරයක් දරන කෙනෙකුට කෙනෙකුට සාමාන්‍ය පෞද්ගලික ජීවිතයේදී පවා ළබැඳියාවන් අතර ගැටීමක් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය යි. එවැනි කෙනෙකුට හිතුමනාපයේ පෞද්ගලික දේපළ පරිහරණය කරන්න බැහැ. ඒවා හිමියන් ඒවා කැමැත්තෙන් ම දුන්නත්,"
ඔහු පැහැදිලි කළේ ය.
"යාළු මිත්‍රකම්වලට නවාතැන් ගන්න එක, හෙලිකොප්ටර්ස් ගන්න එක... මෙවැනි ගැටලු ඇති වුණා ම එවැනි දේවල් නිසි විනිවිදභාවයකින් භාවිත කළ යුතු යි. එසේ නොවන සෑම අවස්ථාවකදී ම මුල් අවස්ථාවේදී ම හෙළිදරව් කරලා තමන් අදාළ පරිශ්‍රය, වාහනය, හෙලිකොප්ටරය හෝ යම් වරප්‍රසාදයක් භුක්ති විඳිනවා නම් තමන් දරන තනතුර සහ වගකීම සමග පරස්පරතාවක් නැති බවට සනාථ කර ගත යුතුයි,"
මන්ත්‍රීවරයා තවදුරත් පැහැදිලි කළේ ය.
ඔහු පැවසුවේ, සමාජයේ බොහෝ විට සිදුවන්නේ එවැනි මහජන ධූර දරන්නන්ට වාසි ලබා දී "පක්ෂපාතීත්වය ලබා ගන්නත්, රාජ්‍යයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ තමන්ට හෝ, තමන්ගේ සමාගමට හෝ තමන්ගේ හිත මිතුරන්ට හෝ වාසිදායක තීරණ ගන්නත්" පෙළඹවීම බව ය.
මෙවැනි ගැටලු ඇති වීම වළක්වා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් පවතින බවත් එහි ළබැඳියාවන් අතර ගැටීම සම්බන්ධයෙන් වෙන ම පරිච්ඡේදයක් ඇති බවත් ඔහු පැවසීය.
"යම් හෙයකින් එවැනි තත්ත්වයක් හදිසියේ හෝ, විකල්පයක් නැති විට ඇති වුණොත් ඒවා හෙළිදරව් කිරීමේ වගකීම රජයේ ධූර දරන්නන්ට තියෙනවා. වඩා සුදුසු දේ එහෙම නොකර ඉන්න එක්ක. එවැනි අවස්ථාවලදී [පසුව] ඒවා හෙළිදරව් වුණා ම ජනාධිපතිවරු, ඇමතිවරු, අගමැතිවරු ඉල්ලා අස් වෙලා තියෙනවා,"
මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.