SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව පුරා වෙරළ තීරයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් නොකර

තවදුරටත් පවත්වාගෙන යාමට අවසර දීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

 

 

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, එවැනි ඉදිකිරීම් වෙනුවෙන් වාර්ෂිකව දඩ මුදලක් අය කර ගැනීමට සැලසුම් කර ඇති බව ය.

 

එලෙස වාර්ෂික දඩ මුදලක් අය කර වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය නීතී ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසයි.

 

වෙරළබඩ කලාපයට අයත් භූමි ප්‍රදේශය හඳුනාගන්නේ කෙසේ ද?

 

'වෙරළබඩ කලාපය යන්නෙන් අදහස් වන්නේ, මධ්‍ය ජල මට්ටමෙන් මීටර් තුන්සියයක භූමි ප්‍රදේශයක සීමාව සහ මධ්‍ය ජල මට්ටමෙන් කිලෝමීටර දෙකක මුහුදු සීමාව සහ ගංගා, ඇළ දොළ, කලපු හෝ වෙනත් ජල ප්‍රවාහයන් ස්ථීරව හෝ වරින් වර මුහුදට සම්බන්ධ වීම වේ. මුහුද ගොඩබිම මායිම එහි ස්වාභාවික පිවිසුම් ස්ථාන අතර අඳිනු ලබන සෘජු පාදක රේඛාවට ලම්බකව මනිනු ලබන කිලෝමීටර දෙකක සීමාවක් දක්වා විහිදිය යුතු අතර එවැනි ගංගා, ඇළ දොළ සහ කලපු හෝ වෙනත් ජල ධාරාවක් මගින් මුහුදට සම්බන්ධ වන අතර, පරිධිය දිගේ ශුන්‍ය මධ්‍ය මුහුදු මට්ටමේ සිට මීටර් සියයක් ඇතුළත අභ්‍යන්තරයේ තවත් පුළුල් සීමාවක් තුළ ප්‍රදේශ රේඛාව ඇතුළත් විය යුතු ය,' යනුවෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් වෙයි.

 

මෙම කලාපය නියාමනය කිරීම වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තුමේන්තුවට අයත් වන අතර එක් එක් මුහුදු ප්‍රදේශ අනුව වෙරළ සීමාවේ සිට ඉදිකිරීම් සඳහා අවසර ලබා දෙන සීමාව වෙනස් වේ.

 

 

'දේශපාලන බලය, මුදල් හා ආයුධ බලය මත ඉදිවූ ඉදිකිරීම්'

 

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තුමේන්තුව විසින් සැලසුම් කරනු ලැබ ඇති මෙම ක්‍රියාවලිය පිළිබඳව බීබීසී සිංහල සේවය එම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාරගෙන් වැඩිදුරටත් කරුණු විමසීමක් කළෙමු.

 

පෙර පැවති රජයයන් අවිධිමත් ලෙස අවසර ලබා දෙමින් වෙරළ තීරයේ ඉදිකිරීම්, ඉදිකර ඇති බවත් ඉන් විධිමත් ලෙස අවසර ලබා ඉදිකිරිම් කටයුතු කරගෙන සිටි පුද්ගලයන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ය.

 

'දේශපාලන බලය, මුදල් හා ආයුධ බලය මත වෙරළ තීරය ඇතැම් පුද්ගලයන් අත්පත් කරගෙන අනවසර ඉදිකිරීම් කර ඇති බවත්, ඒ පිළිබඳව බොහෝ පැමිණිලි තම දෙපාර්තුමේන්තුවට ලැබී ඇති බවත්, ඒවා ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

 

 

ඉවත් කරන්නේ කුමන සීමාවක පවතින ඉදිකිරීම් ද?

 

කෙසේ වෙතත් වෙරළ සීමාව අනුව යම් සීමාවක පවතින ඉදිකිරීම් සඳහා පමණක් මෙම අවසරය ලබා දෙන බව මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර බීබීසි සිංහල සේවයට පැවසීය.

 

ඔහු ප්‍රකාශ කළේ, සංචාරක කර්මාන්තය ඇතුළු කරුණු කිහිපයක් සලකා දැනට පවතින ඉදිකිරීම් ඉවත් නොකිරීමට තීරණය කළ බව ය.

 

"අපි තීරණය කළේ ඉස්සෙල්ලා ම ගලවනවා වෙරළ කලාපයේ තියෙන ඒවා, වෙරළ උඩ තියෙන ඒවා ගලවනවා කියලා. දෙවන පියවර විදියට අපි ගලවනවා කිව්වේ වෙරළ ආරක්ෂක පවුරු, ඒ කියන්නේ ගල් වැටි සිමාවේ තියෙන ඒවා. මේ අවස්ථාවේ ගල් වැටි සහ බීච් එක මත තියෙන ඒවා තමයි ගලවගෙන යන්නේ ලංකාව වටේ ම. ඒවගේ ම වෙරළේ ඉඳලා තියෙනවා මුලින් ම තියෙන තුරුලතා මායිමේ ඉඳලා මීටර් 10,20,25 වගේ වෙනකම් එක එක තැන්වල, ඒ තැන අනුව රිසවේෂන් ඒරියා තියෙනවා. ඒ තැන්වල මුකුත් හදන්න බැහැ අපේ නීතිය අනුව. හැබැයි ඔය තැන්වල තියෙන්නේ ස්ථිරව හදපු ඉදිකිරීම් ඒ සමහරක් ඒවාට බලපත්‍ර කිසි ම එකක් නැහැ."

 

 

fjr 2

අවිධිමත් ඉදිකිරීම් විධිමත් කරන්නේ කොහොම ද?

 

අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, ලංකාව පුරා වෙරළ තීරයේ තුරුලතා මායිම් සීමාවේ ඉදිකරන ලද එවැනි ඉදිකිරීම් 2000ක් පමණ ඇති බවත්, ඒවා අධිකරණ නියෝග ලබාගෙන ඉවත් කිරීමට උත්සහ කළහොත් විවිධ ගැටලු ඇති විය හැකි බවත් ය.

 

"අපි කල්පනා කළේ සංචාරක කර්මාන්තයටත් උදව් වෙනවා සමහර තැන්වලදි මේ ඉදිකිරීම්. ඒ නිසා මේ නීතිය සංශෝධනය කරලා අවිධිමත් කට්ටිය කොහොම ද විධිමත් කරන්නේ කියලා. ඒ ගැන සාකච්ඡා කරගෙන යද්දි මේවට වැඩි දඩයක් ඒ කියන්නේ අවුරද්දට ලක්ෂ පහක් විතර ගෙවලා තියාගෙන ඉන්න පුළුවන්. ගෙවා ගන්න බැරි නම් එයාට සිද්ධ වෙනවා උසාවි නියෝගයක් මත ගලවගන්න."

 

කෙසේ වෙතත්, එම සීමාවේ ඉදිකර ඇති නිවාස වැනි දෑ සම්බන්ධව මානුෂීය ලෙස සලකා සුළු දඩ මුදලක් හෝ වෙන යම් පිළියමක් යෙදීමට කටයුතු කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

 

 

'අලුත් ඉදිකිරීම්වලට අවසර නැහැ'

 

මෙම සීමාව තුළ නව ඉදිකිරිම්වලට කිසිදු අවසරයක් නොදෙන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවසීය.

 

"අලුතින් ඉදිකරන්න අවසර දෙන්නේ නැහැ. නමුත් ඉතින් කට්ටිය ඉදිකරනවා. අපි ඒවට නීතිමය පියවර ගන්නවා."

 

 

hotel sudu araliya 1

 

'වැරදි පූර්වාදර්ශයක් සහ නීතියේ අධිපත්‍යය පළුදු කිරීමක්'

 

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තුමේන්තුව ගෙන ඇති මෙම තීරණය වැරදි පූර්වාදර්ශයක් මෙන් ම නීතියේ අධිපත්‍යය පළුදු කිරීමක් ලෙස පරිසරවේදී සජීව චාමිකර පැවසීය.

 

"පනතක් සංශෝධනය කරන්න ඕනේ හානිකර තත්ත්වය මත ඒවා නියාමනය කරන්න මිසක් ඒවා සාධාරණීකරණය කිරීමේ අරමුණින් නෙවෙයි. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තුමේන්තුව කරන්න ඕනේ දැනට තියෙන තත්ත්වය සම්බන්ධයෙන් පුළුල් වාර්තාවක් සකස් කරලා අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ. මේ පනත මෙච්චර ආයතන ප්‍රමාණයක් උල්ලංඝනය කරනවා. මේ විදියට කිරීම හරහා සිදුවන හානිකර තත්ත්වය, ඒ හරහා සිදුවන වෙරළ කලාපයේ පරිසර පද්ධතියට හා ධීවර සම්පත්වලට, සමස්ත රටේ අභ්‍යන්තරයට ඇති කරන බලපෑම ඒ සියලු ම තත්ත්වයන් සම්බන්ධයෙන් ඔවුන් අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට අධිකරණයෙන් දෙන නිර්දේශ මත තමයි ඊළඟ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඕනේ."

 

"එහෙම ක්‍රියාවලියකින් තොරව ඔවුන්ට අභිමත පරිදි පනත සංශෝධනය කරමින් මේ ක්‍රියාවලිය ගොඩනැගීම හරහා සිද්ධ වෙන්නේ වැරදි පූර්වාදර්ශ මේ සමාජයට ලබා දීමක්. එක පැත්තකින් වැරදි පූර්වාදර්ශ ලබා දීමක්, අනිත් පැත්තෙන් නීතියේ ආධිපත්‍යය කියන එක පිළිබඳව තියෙන විශ්වාසය පළුදු කිරීමක්," යැයි සජීව චාමිකර පැවසීය.

 

 

fje 3

 

නිලධාරීන්ගේ මග හැරීම් සාධාරණීකරණය කිරීම

 

වෙරළ කලාපය මත රටේ ම සුරක්ෂිතතාව රැඳී පවතින බව පැවසූ පරිසරවේදී සජීව චාමිකර වෙරළ කලාපයේ සුවිශේෂී පරිසර පද්ධතිය මත සාගර ජීවීන් බෝ වීම සහ වර්ධනය වීමේ ක්‍රියාවලිය සිදුවන බවත්, විවිධ සංවර්ධන ක්‍රියාවලීන් හරහා ඒ පරිසර පද්ධතියට සිදුවන බලපෑම් ඔස්සේ සමස්ත සාගර පද්ධතිය බිඳ වැටීමට ලක් වන බවත් පෙන්වා දුන්නේ ය.

 

නිලධාරීන් සිදුකරන මග හැරීම් හරහා සිදුවන නීතිවිරෝධී ක්‍රියා නියාමනය කිරීම සඳහා හෝ ඒවා සාධාරණීකරණය කිරීමට වෙනත් නීති ගෙන ඒමෙන් පරිසර පද්ධතියට හානි සිදුවීම මෙන් ම නීතියේ ආධිපත්‍යය පිළිබඳව ඇති විශ්වාසය ද බිඳ වැටෙන බවත් ඔහු පැවසීය.

 

"නිලධාරීන් මග හැරීම් ගණනාවක් සිද්ධ කරලා, ඔවුන්ගේ මග හැරීම් නිසා සිද්ධ වෙන නීතිවිරෝධී ක්‍රියාවලීන් ආපහු නියාමනය කිරීම සඳහා එහෙම නැතිනම් ඒවා සාධාරණීකරණය කිරීම සඳහා ආපහු වෙනත් නීති පද්ධතීන් ගෙන ඒම හරහා දිගින් දිගම මේ ක්‍රියාවලිය සිද්ධ වුණොත් මේ පරිසර පද්ධති විනාශ වෙනවා විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් නීතිය ආධිපත්‍යය පිළිබඳව තියෙන විශ්වාසය ජනතාවට බිඳ වැටෙනවා."

 

'ඒ ජනතාවට සාධාරණය ඉෂ්ට වෙන්න ඕනේ'

 

වෙරළ තීරය අවභාවිත කිරීම අතිබහුතරයක් සිදුකරනු ලබන්නේ ව්‍යාපාරික ප්‍රජාවක් විසින් බව පෙන්වා දෙන සජීව චාමිකර පවසන්නේ, ඔවුන් එවැනි ක්‍රියාවල නිරත වන්නේ නොදැනුවත්භාවය හෝ ජීවත් වීමට ක්‍රමයක් නොමැති වීම නිසා නොවන බව ද සඳහන් කළේ ය.

 

"ඉතා ම අතලොස්සක් ජනතාව තමයි තමන්ට කරකියා ගන්න දෙයක් නැති, භූමියක් නැති ජනතාව මේ ස්ථානවල පදිංචි වෙලා ඉන්නවා. ඒ ජනතාවට සාධාරණය ඉෂ්ට වෙන්න ඕනේ. නමුත් අතිබහුතරයක් දෙනා සිද්ධ කරලා තියෙන්නේ නීතිය අවභාවිත කරමින්, දේශපාලන බලය පාවිච්චි කරමින්, ව්‍යාපාරික බලය පාවිච්චි කරමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින්ට මුදල් ලබා දෙමින්, වෙනත් ඒ කලාපවල ක්‍රියාත්මක වන නිලධාරීන්ද මුදල් ලබා දෙමින් අවභාවිත කිරීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ."

 

එම අවභාවිතය නතර කිරීමට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, කෙටි කාලින, මධ්‍ය කාලීන හා දිගු කාලීන යාන්ත්‍රණයක් ඔස්සේ සැලසුම් ක්‍රියාත්මක විය යුතු බවත් පරිසරවේදී සජිව චාමිකර අවධාරණය කළේ ය.

 

ඔහු අවධාරණය කළේ, මේවායේ ඇති සංකීර්ණතා හා විශේෂ තත්ත්වයන් හඳුනා ගනිමින් ඒ පිළිබඳව අධිකරණයට කරුණු දක්වා නිර්දේශ ලබා ගත යුතු බව ය.

 

 

BBC 

නවතම ලිපි