පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල
“භාතිය” නමින් ප්‍රසිද්ධ වූ ඇතාට ප්‍රතිකාර කරමින් සමාජය තුළ සුදු චරිතයක් බවට පත් වීමට උත්සාහ දරා ඇත්තේ හීලෑ අලි - ඇතුන් හිමිකරුවන් ගේ සංගමයේ හා දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර ගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට බව මේ වන විට තහවුරු ව ඇත.
ඔහු විසින් මෙරට පෙරහැර කටයුතු සඳහා හීලෑ අලි - ඇතුන් 400 ක් පමණ අවශ්‍ය බවත් එසේ නොමැති වුවහොත් පෙරහැර කිරීමට නොහැකි වනු ඇති බවත් පවසමින් හීලෑ අලි - ඇතුන් හිමිකරුවන් ගේ සංගමයේ නියෝජිතයා බවට පත් ව සිටී.
මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ගේ පාලන සමය තුළ රාජ්‍ය අනුග්‍රහය සහිත ව ක්‍රියාත්මක කළ අලි පැටවුන් ජාවාරම හා සම්බන්ධ ව කටයුතු කළ අශෝක දංගොල්ල වනාන්තරවලින් හොර රහසේ, නීති විරෝධී ව අල්ලා ගත් අලි පැටවුන්ට ප්‍රතිකාර කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක කළ නිරාජ් රොෂාන් (අලි රෝෂාන්) ඇතුළු බොහෝ පිරිසකට සහය විය.
(පරිසරවේදී සජීව චාමිකරගේ හෙළිදරව්වක්)
වනාන්තරවලින් නීති විරෝධී ව අල්ලා ගත් අලි පැටවුන් රහසිගත ව රඳවා සිටින ස්ථානවලට ගොස් රහසිගත ව ප්‍රතිකාර කිරීම ඇතුළු බොහෝ කාර්යයන් ක්‍රියාත්මක කළේ මොහු විසිනි. ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව ද සාක්ෂි සහිත ව තහවුරු වී ඇත. මේ සියල්ල එම කාලවකවාණුවේ දී අප විසින් අනාවරණය කළෙමු.
විශේෂයෙන් නාමල් රාජපක්ෂට අයත් නමුත් නෙවිල් වන්නිආරච්චි භාරයේ සිටින කසාගල රජ මහා විහාරයට සන්නස් මගින් පූජා කර ඇති නීති විරෝධී ව වනාන්තරයෙන් අල්ලා ගත් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති මිහින් රාජා හා රෝහණ රාජා නම් ඇත් පැටවුන් දෙදෙනා පළමු ව රහසිගත ව සඟවා සිටි කාල සීමාවේ දී අවශ්‍ය ප්‍රතිකාර කරනු ලැබූවේ ද මහාචාර්යවරයා විසිනි.
අද වන විට නැවත වරක් නව මුහුණුවරකින් හීලෑ අලි - ඇතුන් ජාවාරම ක්‍රියාත්මක කිරීමට අශෝක දංගොල්ල නායකත්වය ගනිමින් සිටී. ඒ සඳහා ඔහු භාවිත කරන උපායමාර්ගය වී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බවට පත් වී මෙම ජාවාරම ක්‍රියාත්මක කිරීමට ය. ඒ සඳහා පිවිසීමට භාතිය වැනි තුවාල ලැබූ අලි - ඇතුන්ට ප්‍රතිකාර කරන මුවාවෙන් තමන් ගේ නායකත්වය නොමැති ව නිසි පරිදි අලි - ඇතුන්ට ප්‍රතිකාර කළ නොහැකි බවට මතවාදයක් ගොඩ නගමින් සිටී.
මීට අමතර ව හීලෑ අලි - ඇතුන් ගේ සංගමයේ බලය අත්පත් කර ගෙන සිටින අලි ජාවාරම්කරුවන් විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා උඩවලව ඇත් අතුරු සෙවණේ සේවක මණ්ඩලයට ඔවුන් ගේ නියෝජිතයන් කිහිපදෙනෙකු මේ වන විට යොමු කර ගෙන ඇත්තේ මෙම ජාවාරම ඉදිරියේ දී මහාචාර්ය අශෝක දංගොල්ල ගේ සහය ඇති ව ශක්තිමත් ව ක්‍රියාත්මක කිරීම සඳහා ය.
මහාචාර්ය අශෝක දංගොල්ල හීලෑ අලි - ඇතුන් ගේ ගහනය වැඩි කර ගැනීමෙන් උත්සාහ දරන්නේ පෙරහැර සඳහා අලි වැඩි කර ගැනීමට නොව ඔහුගෙන් ප්‍රතිකාර ලබන අලින් ගේ ප්‍රමාණය වැඩි කර ගැනීමෙන් ආදායම් ඉපයීම ශක්තිමත් කර ගැනීමට ය.
සැබෑ ලෙස ම පෙරහැර සඳහා අලි හිඟය මතු ව ඇත්තේ තෙත් කලාපයේ වනාන්තර තුළ සිදු කෙරෙන දැව ජාවාරම සඳහා යොදා ගැනීම හා හබරණ, සීගිරිය, පින්නවල ඇතුළු ප්‍රදේශවල සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීම හේතුවෙනි. මීට අමතර ව හීලෑ අලි - ඇතුන් නිසි පරිදි රැක බලා නොගැනීම හේතුවෙන් පසුගිය කාලය තුළ සතුන් විශාල ප්‍රමාණයක් මරණයට පත් විය. ඊට අමතර ව හීලෑ අලි - ඇතුන් බෝ කිරීමේ කාර්යය සඳහා එම සතුන් හිමිකරුවන් උත්සාහ නොගැනීම ද හීලෑ අලි ගහනය අඩු වීමට හේතු වී තිබේ. නමුත් මේ සැබෑ යතාර්ථය සඟවමින් මහාචාර්ය අශෝක දංගොල්ල වනාන්තරයෙන් අල්ලා අලින් හීලෑ කර ගැනීමට සමාජය තුළ මතවාදයක් ඇති කිරීමට උත්සාහ දරයි.
අලි - මිනිස් ගැටුම පාලනයට පිළිතුරක් ලෙස අලින් වනාන්තරයෙන් අල්ලා හීලෑ කර පෙරහැර සඳහා භාවිත කිරීමෙන් ගැටළු දෙක ම මඟ හැරෙන බව පෙන්වීමට උත්සාහ දරයි. නමුත් එමගින් සිදු වන්නේ අලි - ඇතුන් වඳ කිරීම වේගවත් කිරීම බව ඔවුන් විසින් ම සඟවමින් සිටී.
අප පසුගිය ඉතිහාසය පුරා ම අවධාරණය කළේ පින්නවල අලි අනාථාගාරයේ විශේෂ සංචිතයක් පෙරහැර සඳහා පුහුණු කර නිවැරදි ක්‍රමවේදයකට යටත් ව ප්‍රධාන පෙරහැර සඳහා භාවිත කරන ක්‍රියාවලියක් ඇති කළ යුතු බව ය. නමුත් මේ සඳහා එකඟතාවක් පල නොකරන නිලංග දෑල බණ්ඩාර හා නිරාජ් රොෂාන් වැනි අලි ජාවාරම්කරුවන් සහ පටු අරමුණු වෙනුවෙන් පෙනී සිටින මහාචාර්ය අශෝක දංගොල්ල වැනි පුද්ගලයන් ව්‍යාජ සංස්කෘතියක් මවා පෙන්වමින් වාණිජ අරමුණු මත සිදු කරන තම ජාවාරම් ශක්තිමත් කර ගැනීමට උත්සාහ දරයි. මෙය පිටුදැකීමට නම් අප උරුම කර ගත යුතු සැබෑ මානවවාදී මෙන් ම අවිහිංසාවාදී සංස්කෘතිය දෙසට සමාජය මෙහෙයවීම සිදු කළ යුතු ව ඇත.
@සජීව චාමිකර