SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රුහුණේ සුගලාවන් පහුගිය සති කිහිපයම එක්තැන් වෙලා උන්නෙ සරීර සෞඛ්‍යය ඒ තරම්ම හොඳ නොවිච්චි හින්ඳ.

ගමේ වෙද මහත්තැන් ගෙන් බෙහෙත් වඩි කීපයක් ගත්තත් ඒ හැටි ගුණයක් නොවුන හින්ඳ ඉංගිරිසි බෙහෙත් ටිකක් ගන්න යන්නම කියලයි සුගලාවන්ගෙ දරු මුණුපුරෝ සුගලාවන්ට බල කොරේ.

 

ඒ හින්ඳම පාන්දරම උනු වතුර හැලියක් හදල දුන්නෙ බිසෝහාමියි. වතුර ටිකක් නාගත්තම ඇඟට පුදූම සහනයක් නොවැ කියමින් සුගලාවන් ඉස්තෝප්පුවෙ තමන්ගෙ රාජ පුටුවෙ හිඳ ගත්තෙ දින ගානකින් පත්තරයක්වත් බලන්න එළිපහලියට නාව හින්ඳමයි.

 

 

ඒ එක්කම වගේ කිරි බණ්ඩෙත් මිදුලට ගොඩ වැදුනෙ කොලපතකට තියල ගැටගහපු කිතුල් පැණි මුලකුයි  අනික් අතෙන් මී කිරි හට්ටියකුයි  එල්ලාගෙන.

 

 

“හප්පේ  කිරිබණ්ඩෙ කොහේදෑ මේ බෑරක්ද?”

 

 

“බෑරක් නෙවේ දේවී මේ ආවෙ දේවී බැහැදකින්නමයි...

කෝ ඉතිං පහුගිය දවස්වල සුගලා දේවී  එළිපහලියටවත් ආවෙ නැතුකොට අපි ආපහු හැරිල ගියා නොවැ..

මේන් මම හොඳවයින් කිතුල් පැණි මුලක් ගෙනාව අපේ අලුතින් පැටව් වදපු මී වැස්සිගෙ  නොඉඳුල් මී  කිරි ටිකකුත් ඇන්න”.

 

 

“හොඳා කිරිබණ්ඩෙ.

මේක මේ ඉස්නායු අමාරුවක්ලුනේ..ඔය ඉංගිරීසි බෙහෙත් ගන්නයැ කියල මේ ගෙදර ඈයොන්ගෙ පොරේ නොවැ.

මං හිතාගෙන ඉන්නෙ කොළොඹ රටට ගොහින් ස්නායු දොස්තර කෙනෙක්ට පෙන්නන්ට”.

 

 

"අප්පේ ඒ කියද්දි නොවැ දේවී මතක් උනේ.. සුගල උත්තමාවි ඉතිං යන්නෙ රජයේ ඉස්පිරිතාලවලටම නොවැ.. ඒත් ඒවයෙ දොස්තරල නම් දැන් ටික ටික අයින් වෙන හැටියක් තමයි පේන්න තියෙන්නෙ.."

 

 

“ඔව් ඔව් මොකක්ද කිරි බණ්ඩෙ ඒ සිද්ධිය..

මම මේ පත්තරේ මුල් පිටුවෙම දැක්ක ජයවඩ්ඩනපුර ඉස්පිරිතාලෙ විශේෂඥ දොස්තරල කීපදෙනෙක්ම ඉල්ලා අස්වෙලා යන්න ගිහිල්ලය කියල”.

 

 

“අර දියවන්නා කවුන්සිලයෙ දයාසිරි උන්නැහෙ නම් ඊයෙ පෙරෙයිද කියල තිවුනෙ මහේෂි කියන විසේසඥ දොස්තර නෝනව අත්තඩංගුවට අරගනිපු සිද්ධිය හින්ඳ දොස්තරලා දැන් බෙහෙත්, උපකරණ ඔින ඒව කොලවල ලියල රෝගීන්ට පිටින් ගන්න කියන්න බයලු. ඒ හින්ඳ හිරේ විලංගුවෙ නොවැටී ඉල්ලා අස්වෙන එක තමයිලු උන්දැලා කොරන්නෙ”

 

 

“ආ..ඔව් ඔව්..මේ තියෙන්නෙ කිරිබණ්ඩෙ මේ තියෙන්නෙ ඒ ගැන මහ ලිපියක් දාල..”

 

 

“අනේ ඒකෙන් ටිකක් මටත් ඇහෙන්න කියවන්නකො සුගලා දේවී.”

කිරිබණ්ඩෙ හරි බරි ගැහෙමින්  ඉස්තෝප්පු පඩියේ වාඩි ගත්තේය.

 

 

“ඔින් අහගනිං එහෙනම්...

රෝහල්වල ශල්‍ය උපකරණ නොමැති වීම හේතුවෙන් පිටතින් උපකරණ ගෙන්වාගෙන සැත්කම් සිදුකළ වෛද්‍යවරුන් මෙම රෝහලේ සේවය කළ ස්නායු ශල්‍ය වෛද්‍යවරියට චෝදනා එල්ල වීමෙන් පසුව ඖෂධ සහ උපකරණ බාහිරින් ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින් ම නතර කර තිබීම මේ තත්ත්වයට හේතුව බව එම ආරංචිමාර්ග සඳහන් කරයි”.

 

 ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු, විකලාංග, අක්ෂි ඇතුළු අංශ කිහිපයකම සැත්කම් උපකරණ නොමැති වීමෙන් මේ වන විට රෝහලේ අක්ෂි සැත්කම් මුළුමනින් ම නතර වී ඇති අතර උගුර, කන, නාසය පිළිබඳ සැත්කම් 75%කින් පමණ අඩාල වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.”

 

“හනේ ඉතිං මේ ඔක්කොම රජයෙ වස වැරැද්ද නිසානෙ දේවි ”.

 

“ඔව් ඔව්..ඉස්පිරිතාලවලට ඔින බෙහෙත් ටික, ඒවට ඔින සැත්කම් උපකරණ වෙනුවෙන්ය කියල හැම අව්රුද්දෙම අයවැය සම්මත කොරගන්න එකේ ඔය නිළධාරීන්ට ඇමතිවරුන්ට මේව වෙලාවට සපයන්න වැඩපිළිවෙලක් නැති එකනේ ඔක්කොටම හේතුව”.

 

“වැඩපිළිවෙලක් නැත්තෙ සුගල දේවී වැඩපිලිවෙලක් පිලිවෙලට  නැති වෙලාවට නොවැ ඔය මැති ඇමතිවරුන්ගෙ හෙංචයියලව දාල පෝලිමෙන් පිට පැනල බඩු ටික ගේන්න පුළුවන්.

 

ඉතිං දොස්තරල නිර්දේශ කරන උපකරණවත් බෙහෙත්වත් නෙවෙයි ඒ තැරව්කාරයො ගේන්නෙ උන්ගෙ මිත්තරයොන්ගෙ කොම්පැනිවල තියෙන ඒව ගේන්නෙ. ඒවට ඉතිං කෝටි ගණන් කොමිස් ලැබෙනව නොවැ?”

 

“ඒකනෙ කිරිබණ්ඩෙ.. දැන් ඔය විසේසඥ දොස්තරල බෙහෙත්, සැත්කම් උපකරණවලට ඒ අයගෙ නිර්දේශ දෙන්නෙ නැතිලු.

 

කිරිබණ්ඩෙ දන්නවද ඔය සිද්ධියට අදාළව අත්තඩංගුවට අරගනිපු දොස්තර නෝනට ගේන චෝදනාව. ඒ ඇත්ති කවදාවත් ඔපරේෂන් වලට නිර්දේශ කරන්නෙ නැතිලු ඉන්දියාවේ සැත්කම් උපකරණ ගන්න. ඒ ඇත්ති  කියන්නෙම  එක්සත් රාජධානියෙ බඩු ගන්න කියලලු. ඔය ඉන්දියාවේ තියෙන බෙහෙත් මාෆියාව ඔිවට ඉඩ දෙන්නෙ නෑනෙ කිරිබණ්ඩෙ.

 

මම අහගෙනයි වතාවක් කෙනෙක් කියල තිබුණ එක දවසක් ඉන්දියන් කොම්පැනි අතරමැදියෙක් ඇවිත් දොස්තර නෝනව හම්බවෙලා ලියුමකට අත්සනක් ඉල්ලුවම මේ දොස්තර නෝන බැනල එලව ගත්තය කියල”.

 

“හප්පේ සුගලා දේවී. එහෙමනම් ඉතිං බේරෙනව බොරු. ලොකු කුමන්ත්‍රණයක් කරන්න ඇති හේනම්”

 

“ඒකනේ කිරිබණ්ඩෙ. අහල තියෙනවද ලංකාවේ සේනක බිබිලෙ කියල කෙනෙක්ව. අදටත් උන්නැහෙට උනේ මොකක්ද දන්නවද? මේව ලේසි පාසු වැඩ නෙවෙයි.

 

ඒත් රුහුණෙ සුගලාව විදිහට මම නම් කියන්නෙ මේවට හිරගෙවල් දාහක් පිරෙව්වත් සටන් කොරන්න ඔිනය කියල. නැත්නම් අර කෙහෙලිය හිටපු ඇමතිවරු වගේ වතුර පුරවල ඉන්ජෙක්ෂන් ගහල මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කොරන ඒව ඉස්සරහටත් සිද්ද වේවි”.

 

“සුගල දේවි දන්නවැයි මේ දොස්තර නෝනට විරුද්ධව ගතු කේලම් කියන්න බෙහෙත් ගනිපු ලෙඩ්ඩු සීයක් විතර ඇවිත් ය කියල ඔය අල්ලස් දූසන ඇත්තො කියන්නෙ.”

 

“ඒව නං ඉතිං මේ රටේ මිනිස්සුන්ගෙ රැල්ල නොවැ. මතකනේ අර සාෆි කියල දොස්තර මහත්තයා බඩදරු අම්මලව වඳ කොරාය කියල අව්රුදු හතරක් හිරේ දාල ඉද්දි දාස්ගානක් ඇවිත් සාක්කි දුන්නෙ. ඉන් පස්සෙ ඒව බොරු කතාය කියද්දි ඒ ආපු ඇත්තියො මොකෙක්වත් නෑ නොවැ. ඔය එන්නෙ රැල්ලට”

 

“ඒකනෙවැ දේවි. මේක මහ යක්ස රටක් නොවැ...”

කතාවෙන් කතාව සුනංගු උනා. එහෙනම් මං ගිහින් එන්නම් දේවී. කොළඹ ඉස්පිරිතාලෙට යනවනං වේලපහ ගිහින් එන්න වෙයි. රේල්ලුවත් යන්නෙ එන්නෙ ඒ ඇත්තන්ට හිතුන වෙලාවට විතරයි නොවැ...”

 

“හොඳයි කිරිබණ්ඩෙ එහෙනම් ගිහිං එමුකො”.

 

#sugala

නවතම ලිපි