පසුගියදා හදිසි අනතුරකින් මරණයට පත් වූ පෘතුගාල පාපන්දු ක්‍රීඩක දියේගෝ ජෝටා සහ ඔහුගේ සොහොයුරු
ඇන්ද්‍රෙ සිල්වා ගේ අවසන් කටයුතු සිදු කෙරුණා. එම අවමංගල්‍ය උත්සවයට පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහභාගී වූයේ නෑ.
පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ සහ ජෝටා ක්‍රීඩා කරන ලිවර්පූල් කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් මෙම අවස්ථාවට සහභාගී වුණා. නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනවශ්‍ය මාධ්‍ය අවධානය සහ ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබේ යැයි විශ්වාස කිරීම රොනාල්ඩෝ අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවීමේ ප්‍රධාන හේතුව වූ බවයි.
ඔහු පෞද්ගලිකව ජෝටා ගේ පවුලේ සාමාජිකයන්ට තම සංවේගය ප්‍රකාශ කර තිබුණා. නමුත් මේ සම්බන්ධයෙන් බොහෝ සමාජ මාධ්‍ය වල රොනාල්ඩෝව විවේචනයට ලක් වුණා.
එම විවේචන වලට ඔහුගේ සොහොයුරිය ඉන්ස්ටග්‍රෑම් හරහා පිළිතුරු ලබා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් වෙබ් අඩවිය කළ වාර්තාවකට අනුව මෙම ලිපිය සැකසෙනවා.
"අපේ තාත්තා මියගිය වෙලාවේ අවමංගල්‍ය උත්සවය පිරෙන්න තිබුණේ කැමරා විතරයි. අවමංගල්‍යය තිබුණ තැන ඉඳලා සුසාන භූමිය වෙනකන්ම කැමරා එක්ක ගනුදෙනු කරන්න අපිට සිද්ධ වුණා."
"එතන තිබුණ කලබලයට අපිට කොහෙවත් යන්න වුණෙත් නෑ. කොටින්ම දේවස්ථානයෙන් එළියට යන්න වුණෙත් නෑ. දැන් තත්ත්වය ඊටත් වඩා වෙනස්."
"එදා ගොඩක් දෙනෙක් එතනට ඇවිල්ලා හිටියා. ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, සභාපතිවරුන් මේ වගේ ගොඩක් අය ඇවිල්ලා හිටියා. මට මතක නෑ."
"පවුලේ මරණයකදී එහෙම වෙද්දී ඔබට ඒ අත්දැකීම නැත්තන් කොහොමත්ම ඒක හිතාගන්න බෑ. කවුරුහරි මගේ සහෝදරයා කරපු දේ වැරදියි කියලා මට පණිවුඩ එවනවා නම් මම එයාව බ්ලොක් කරලා දානවා."
"මේ කතා කරන්නේ සංවේදී දෙයක් ගැන. බනින්නේ කිසිම හේතුවක් නැතුව. පිස්සු මිනිස්සු, ලෙඩ මිනිස්සු ඉන්න සමාජයක්. අපි ඔක්කොටම පවුලේ සාමාජිකයන් ඉන්නවා."
"රූපවාහිනී නාලිකා, මාධ්‍ය, විස්තර විචාරකයෝ, සමාජ මාධ්‍ය ඒ හැම තැනකම සහෝදරයන්ගේ මරණය ගැන කතා වෙනවා. පෙන්නනවා. ඒක මහ අප්‍රසන්නයි."
"ලෝකෙ යන විදිහයි, සමාජයේ තියෙන මතවාදයි, කිසිම වැඩක් නෑ. ඔවුන් නිකම් පතුළක් පේන්නෙ නැති වළවල් වගේ. මිනිස්සුන්ගේ නපුරුකම් වලට එරෙහිව අපි හැමදාම යුද්ධ කරන්න ඕනි. මට කණගාටුයි."
රොනාල්ඩෝ සම්බන්ධයෙන් මේ විදිහට සෑම අවස්ථාවකදීම කතා කිරීමට ඇය සෑහෙන ප්‍රසිද්ධ චරිතයක්. කොහොම වුණත් තවමත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නම් මේ ගැන කිසිම දෙයක් ප්‍රකාශ කරන්නේ නෑ.
ඩේලි මේල් වෙබ් අඩවියම වාර්තා කරන විදිහට පෘතුගාල මාධ්‍යවේදියෙක් වන ඇන්තෝනියෝ රිබෙයිරෝ ගේ වාර්තාවක් උපුටා දක්වලා තියෙනවා,
"ඔහු පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායකයා. ගොඩක් දෙනෙක් ඔහු පැමිණේවි කියලා බලාපොරොත්තු වුණා."
කොහොම වුණත් රොනාල්ඩෝගේ නොපැමිණීම සම්බන්ධයෙන් ඔහුට පක්ෂව මෙන්ම විපක්ෂවත් අදහස් සහ මත පළ වෙනවා. බොහෝ දෙනෙක් පවසන්නේ සුපිරි තරු රැසක් සහභාගී වූ නිසා රොනාල්ඩෝට ද එම අවස්ථාවට එක් වීමේ හැකියාව තිබූ බවයි.
තමන්ගේ පියාගේ අවමංගල්‍යයෙන් අනතුරුව රොනාල්ඩෝ එවැනි අවස්ථා වල මාධ්‍ය අවධානය සම්බන්ධයෙන් බොහෝ දුරට ඇති අකමැත්ත මෙයට ප්‍රධාන හේතුව බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Copied