SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ කලාව කියන්නෙම උදේ ඉදලා හවස් වෙනකම් පිරිමි ශරීර ටිකක් විසින්ම මොනවහරි කරලා

පිරිමි ටිකක් විසින් සීරියස් සාකච්ඡා පවත්වලා සතුටු වෙලා විසිරී යන සභාවක්.

 

 

මේ තත්වෙ ඉතිහාසෙ කියලත් මහ ලොකු වෙනසක් වෙලා නෑ. බොහෝ වෙලාවට මේ පිරිමි කලා අධිරාජ්‍යයන් වල ගැහැණු ශරීර භාවිතා කරන්නේ රූකඩ විදිහට. උදාහරණයක් විදිහට මාලනී ෆොන්සේකා වගේ කෙනෙක් ගැන ලියැවුණ බොහෝ දේවල් වල තිබුණෙ පිරිමි ආශා කරන ගැහැණු ලක්ෂන ටික නියෝජනය කීරීම තුළ ඇයට ලැබුණු වටිනාකමක් හැර වෙන දෙයක් නෙමෙයි.

 


මෙවැනි සන්දර්භයක් තුළ සෝමලතා සුබසිංහ කියන්නෙ ලංකාවේ බිහිවුණු සුවිශේෂී සහ සංකීර්ණ පෞරෂයක්. එයාව මුණ ගැසුණු අවස්ථාවලදී මේක මට දැනිලා තියෙනවා. ඒ වගේම සෝමලතා සුබසිංහගේ නිර්මාණ පරිස්සමට ලිහා බැලුවහම එයාගෙ හිතුවක්කාරකම අහුවෙනවා. ඒක පිරිමි හෝ ගැහැණු කියන කැටගරිස් වලට ලඝු කරන්න බැරි හිතුවක්කාරකමක්. උදාහරණයක් විදිහට 'විකෘති 'නාට්‍යයේ ප්‍රියංගනී කියන චරිතය මට අනුව සෝමලතා මිස්ගේම ප්‍රතිරූපයක්. නාට්‍යයේ ප්‍රියංගනී දුවන තරගයකින් දිනනවා. මෙතන ජවය කියන පිරිමි මැස්කියුලිනිටි එකට ප්‍රියංගනී අභියෝග කරනවා. ඒ වගේම අනිත් පැත්තට නාට්‍යයේ තවත් දර්ශනයක ප්‍රියංගනී ලාලිත්‍යයෙන් පිරි නර්තනයක් ඉදිරිපත් කරනවා.

 

ඇත්තටම ප්‍රියංගනී කියන්නෙ නිදහස් මනුස්සයෙක්. ඇය සමාජය විසින් ගොඩනගපු පිරිමි හෝ ගැහැණු කියන පර්පෝමටිව් ඇක්ට්ස් රීපිට් කරන්නෙ නැහැ. සෝමලතා සුබසිංහගේ 'රත්මලී' (Little Red Riding Hood) නාට්‍යයේ ඇය විසින් සතුරාව ඝාතනය කිරීමේ බටහිර පුරුෂ මූලික අදහස හිතුවක්කාර විදිහට වෙනස් කරලා සතුරාට සමාව දෙනවා. 'තොප්පි වෙලෙන්දා' නාට්‍යයේ වදුරන්ට තොප්පි ටික දීලා වෙළදාමට එහා ගිය මනුස්සකමක් ගැන ඉගි කරනවා.

 

 

තව උදාහරණයක් තමයි "පුංචි අපිට දැන් තේරෙයි" නාට්‍යයෙ කුකුලෙක් ( පිරිමි සතෙක් ) විසින් කැවුම් උයනවා. මේ කුකුලා කැවුම් උයන එක බලා ඉන්න ආසා හිතනෙ ලාලිත්‍යයෙන් පිරුණු ඇක්ට් එකක්. සාමාන්‍යයෙන් ලංකාවේ සමාජයෙ ආච්චි සහ කැවුම් අතර සම්බන්ධය නිකං වැවයි දාගැබයි වගේ. මම මෙතන කියන්නෙ පිරිමි විසින් ගැහැණු කරන වැඩ කළාම සාධාරණ සමාජයක් බිහිවෙනවා කියන සරල අදහස නෙමෙයි. හැබැයි සෝමලතා සුබසිංහ විසින් කුකුලාගේ ඇක්ට් එක තුළින් ලංකාවේ සමාජයේ ගැඹුරින් කාවැදුණු ජෙන්ඩර් පර්පෝමන්ස් එකක රිපිටිෂන් එක ඉතා සිම්පල් විදිහට ( පණ්ඩිත කතා නොකියා) කඩලා දානවා.

 


මේවා හරි සරල දේවල් කියලා කාට හරි කියන්න පුළුවන්. නමුත් "බැරිනම් හොද්දක් ඒදා ගන්න, බැරි නම් රෙද්දක් හෝදාගන්න, මොනවා තිබ්බත් මොකටද ගෑණුන්ට" කියලා ඇයගේ සමකාලීන පිරිමි නාට්‍යකරුවෙක්ගෙ නාට්‍යයක කියන කොට ඇය කියන්නෙ "විහිළුවකට විනෝදෙකට වෙනවැඩකට නෑ වෙලාව විභාගෙ" කියලා. මේ ගීත දෙක පරිස්සමෙන් සන්සන්දනය කළාම සෝමලතා සුබසිංහගෙ පෞරෂය සමකාලීන සමහර පිරිමි නාට්‍යකරුවන්ට වඩා ඉහලයි කියලා පැහැදිලි වෙනවා. නමුත් සෝමලතා සුබසිංහ ගැන සීරියස් සාකච්ඡාවක් ලංකාවෙ ඇතුලෙ සිදුවෙන්නෙ නැහැ. බොහෝ වෙලාවට ඇයව ලමා නාට්‍ය කරපු නාට්‍යකාරිනියක් ගොඩට දාලා ( ලංකාවට අනුව ලමා නාට්‍ය කියන්නෙ එච්චර වැදගත් දෙයක් නෙවෙන නිසා) පැත්තකින් තියනවා.

 


ඇය විසින් නිර්මාණය කරපු වැඩිහිටි නාට්‍ය ගැන අවධානය යොමු කලාම ඇය කොයිතරම් දුරට සමකාලීන සමාජ දේශපාලනයට සංවේදීද කියලා පැහැදිලි වෙනවා. උදාහරණ්‍යක් විදිහට ඇය විසින් "යදම් "සහ "ඇන්ටිගනී" කියන නාට්‍ය දෙකම කරන්නෙ ලංකාවේ දේශපාලන වශයෙන් අවුල් වියවුල් තියෙන මොහොතක. ඒ වගේම යුද්ධය තුළ සමාජය ගොඩගන්න බැරි විදිහට එරිලා තියෙන වෙලාවක ඇය විසින් Mother Courage and Her Children කරනවා. මේ නාට්‍ය ගැන එම නාට්‍ය ලංකාවේ ඉදිරිපත් කරපු කාලය එක්ක තියලා සාකච්ඡා කළෙතේ එම නාට්‍යවල මුල් කෘතිවලට අහුනොවෙන පැතිකඩවල් ගණනාවක් ලංකාවේ සමාජය ආශ්‍රයෙන් විශ්ලේෂණය කරගන්න පුළුවන්.

 


ඇය විසින් කරපු තවත් සුවිශේෂී මැදිහත් වීමක් තමයි ලමා හා යොවුන් රංගපීඨය ආරම්භ කිරීම. ලමා හා රංගපීඨය කියන්නේ ලංකාවේ රංගනය සහ නාට්‍ය කලාව ගැන ඉතාම සීරියස් භාවිතාවක නිරත වන ස්ථානයක්. එතනට ආව ගිය බොහොම දෙනෙක් ලංකාවේ සහ ජාත්‍යන්තරවශයනේ කලාව තුළ ඉතා බරපතල මැදිහිත් වීම් කරලා තියෙනවා සහ කරමින් සිටිනවා. නාට්‍ය කලාව වගේ එකක් සතපහකටවත් ගණන් ගන්නෙ නැති රටක "වරෙං බං නාට්‍යයක් කරන්න" කියලා පිරිසක් එකතු කරගන්න සහ ඒකට හරියන භූමියක් සකසා ගන්න ඇයට පෞරෂය එන්නෙම ඇයගෙ හිතුවක්කාර කමේ ප්‍රතිපලයක් විදිහට වෙන්න ඇති.

 

 

ඒ විදිහට තමන්ම හදාගත්ත වේදිකාවක, තමන්ගෙ හිතුවක්කාරකමට වැඩ කරන පිරිමි නොවන මනුස්සයො ටිකක් ලංකාවේ වේදිකාවට ඕනෙ. එහෙම අය හිග කලාවක් සහ සමාජයක් පරිපූර්ණයි කියලා අපිට කියන්න බැහැ.

 


සෝමලතා සුබසිංහ ගැන මේ කෙටි ලිපියට එහා ගිය ගැඹුරු සාකච්ඡාවක් කවද හරි කරන්න ඕනෙ කියලා මට හිතෙනවා. ඒ සදහා ඕනෑතරම් අමුද්‍රව්‍ය ඇයගේ කලා භාවිතාව තුළ තියෙනවා. නමුත් ඒකට තව ටික කාලයක් ඉන්න ඕනෙ.

 

@ චමිල ප්‍රියංක

නවතම ලිපි