SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආණ්ඩුව ඩීල් දැම්මා ය, අරක ය, මේක ය කියා විපක්ෂය හොටු පෙරාගෙන අඬන හැටි දකින විට හිනා යයි.

එයින් තහවුරු වෙන කාරණා දෙකකි. එකක් නම් අනුර කුමාර දක්ෂ ලෙස විපක්ෂයේ පුද්ගලයන්, කණ්ඩායම් සහ පක්ෂ තමාට අවශ්‍ය ලෙස පාලනය කරන බව ය. අනෙක නම් විපක්ෂ නායකයා වන සජිත් ප්‍රේමදාසට විපක්ෂයේ පුද්ගලයන්, කණ්ඩායම් සහ පක්ෂ අඩුම තරමින් එකතු කර ගැනීමටවත් නොහැකි බව ය.

 

 

මෙතන ගැටලුව තිබෙන්නේ සජිත් ප්‍රේමදාසගේ ය. ඔහු දේශපාලන බබෙක් නොවේ, තොත්ත බබෙකි. මාලිමාවට බලය යන්නෙත්, දැන් ඔවුන් එම බලය නමැති කඩුව ඕන ඕන විදිහට වනන්නෙත් විපක්ෂ නායක සජිත්ගේ ඇති නිවට නියාලු දුර්වලකම නිසා ය.

 

විපක්ෂ නායක යනු ප්‍රජාතන්ත්‍රයේ ඉතාම වැදගත් ව්‍යුහයකි. ආණ්ඩුවේ නායකයා හා සමාන වගකීමක් සහ බලයක් විපක්ෂ නායකට තිබේ. ප්‍රජාතන්ත්‍රය සාර්ථක වීමට නම් සෑම විටම ආණ්ඩුව සහ විපක්ෂය යන දෙකම කරට කර විය යුතු ය. සාර්ථක ආණ්ඩුවකට සාර්ථක විපක්ෂයක් අත්‍යවශ්‍ය වේ. එබැවින් විපක්ෂ නායක තනතුරට පත් කර ගැනීම ආණ්ඩුවේ ප්‍රධානියා පත් කර ගන්නවා හා සමාන බරපතල දෙයකි. ආණ්ඩුවේ ප්‍රධානියා මුළු රටේම ජනතාව නියෝජනය කරන්නා සේ ම, විපක්ෂ නායකයා ද මුළු රටේ ම වැසියන් නියෝජනය කරයි. මේවා ගැන ලංකාවේ පුහුදුන් වැසියාට එතරම් අවබෝධයක් නැත.

 

විපක්ෂ නායකයාගේ කාර්යභාරය ආණ්ඩුවේ ප්‍රධානියාට වඩා අමාරු ය. ඔහු/ඇය විපක්ෂයේ සියලු දෙනාගේ සහාය දිනා ගත යුතු ය. මුළු රටේම වැසියන් මුහුණ දෙන ලොකු කුඩා ප්‍රශ්න ඔහු නිරන්තරයෙන් ඉදිරිපත් කළ යුතු ය. ඒවාට විසඳුම් ලබා ගැනීමට ආණ්ඩුව නිරන්තරයෙන් තල්ලු කළ යුතු ය. කොටින් ම ආණ්ඩුව පාලනය කරන්නේ විපක්ෂ නායකයා ය. ඒ සඳහා විපක්ෂ නායකයාට හොඳ පෞරුෂයක් තිබිය යුතු ය. හොඳ අධ්‍යාපනයක් සහ තාර්කික නුවණක් තිබිය යුතු ය. ඉතා දක්ෂ ලෙස කථා කිරීමටත් වාද කිරීමටත් හැකි විය යුතු ය. දේශපාලන උපාය උපක්‍රම පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතු ය. විපක්ෂය එක මිටට සංවිධානය කිරීමට හැකි විය යුතු ය. විපක්ෂ නායකයාට වෙනම කාර්යාල, නිල නිවාස, සේවක මණ්ඩල, මුදල් ප්‍රතිපාදන ආදිය ජනතා මුදලින් දෙන්නේ ඒ දැවැන්ත කාර්යභාරය ඉටු කිරීම වෙනුවෙනි.

 

දැන් මම ඔබෙන් අහන්නේ සජිත් ප්‍රේමදාසට ඔය එකක්වත් තිබෙනවාද? කියා ය. නැහැනේ. සජිත් යනු ඔහුගේ පියාගේ අනුහසින් දේශපාලනයට පාත් වූ පියරු බබෙකි. වයස හැටක් වෙන්න ආවත් වේදිකා උඩ පියානෝ ගසමින් ගිටාර් ගසමින් තමන්ගේ පුද්ගලික හැකියාවන් පෙන්වා අනුන්ගෙන් වැලිඩේෂන් ඉල්ලා සිටින චූන් කොල්ලෙකි. බස් එලවමින් ක්‍රිකට් ගසමින් ආතල් දෙන පිස්සු ඩයල් එකකි. මළ රැජනවත් නොදොඩන ඉංග්‍රීසි වචන කියමින් තමන්ගේ පුද්ගල පණ්ඩිතකම් පෙන්වා ජොලියක් ගන්නා කවටයෙකි. ඔහු විපක්ෂ නායක වන්නේ ඔහුගේ ඇති නායකත්වයක් නිසා නොවේ. ඔහු සජබයේ නායකයා වන්නේත් ඔහුගේ හැකියාවකින් නොවේ. පෘතුගීසින් විසින් දොන් ජුවන් ධර්මපාල නමැති නිවට කොළුවාට ඔටුනු පළඳවා තම සිර අඩස්සියේ තබා ගෙන ලංකාව කොල්ල කෑවාක් මෙන් සජිත්වත් ඔය පුටුවේ තබා ගෙන මේ රාජ්‍යය කොල්ල කන්නේ සජබයේ දේශද්‍රෝහීන් ය.

 

මාලිමාව බලයට ගෙන ආවේ සජබය යි. එජාපය දෙකඩ කරවීමෙන් දක්ෂිනාංශික ඡන්ද පදනම දෙකට කැඩීම දේශපාලන ව්‍යාපෘතියකි. එම බෙදුම ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නේ සජබයේ පිරිසක් විසිනි. මාලිමාවට ඇත්තට ම ඩීල් එක තිබෙන්නේ සජබයේ පිරිසක් සමග ය. කොළඹ නගර සභා සෙල්ලමේ ඩීල් එක කා අතේ තිබ්බාද කියා අප දන්නේ කොහොම ද? රහස් ඡන්දයේ දී සජබයේ පිරිසක් මාලිමාවට ඡන්දය නොදුන්නා කියා කිව හැක්කේ කාට ද? එබැවින් මේ දේශපාලන අංකූරන් මාධ්‍ය ඉදිරියේ කියන කථා ඒ ආකාරයෙන් ම ඔබ විශ්වාස නොකළ යුතු ය.

 

දැන් මේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය ඔය ප්‍රාදේශීය සභා ද? නැත රටේ ආර්ථිකය වේගයෙන් බිඳ වැටෙමින් තිබේ. රටේ සමාජ සංස්කෘතික පදනම බිඳ වැටෙමින් තිබේ. රටේ අභ්‍යන්තර සහ බාහිර ආරක්ෂාවට බරපතල තර්ජන එමින් තිබේ. ඒවා කිසිවක් ගැන කථා නොකර මේ කෙහෙල්මල් සුදු අලි ප්‍රාදේශීය සභාවල ඩීල් ගැන කාලය නාස්ති කරයි. ඩීල් යනු දේශපාලන යථාර්ථයකි. මිනිසා බිහි වූ දා සිට ඩීල් දමා තිබේ. එය කිසිදා වෙනස් නොවන මානව ස්වභාවයකි. රටේ මිනිස්සුන්ට විදුලි බිල 15% කින් ආණ්ඩුව වැඩි කළා. විපක්ෂය මොනවද කළේ? උඩ බලා ගෙන හිටියා. මේ කරන්නේ මාලිමා ආණ්ඩුවේ අසාර්ථක බව මග හැර ජනතාවට ආතල් දීමකි.

 

ජනතාව කල්පනා කරන්නේ යකෝ ඉතින් විපක්ෂයට ඕකවත් කරගන්න බැරි වුණා නම් උන්ට රටක් කරන්නත් බැරිය කියා ය. කොළඹ බලය ගන්නවා කියා මාධ්‍ය ඉදිරියේ ලොරි ටෝක් දුන් සජබ මුස්ලිම් ජෝකර්ලා අන්තිමට කුජීත වී ගියේ ය. දේශපාලනය කළ යුත්තේ සුක්ෂ්මව ය. ජනතාව මෙය දකින්නේ අනුරගේ ජයග්‍රහණයක් ලෙසට ය. අනුර කොහොම හරි දේශපාලනය ජය ගෙන තිබේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණයක් ගත යුතු ය. විපක්ෂයට නායකත්වය දිය හැකි දක්ෂයෙක් සමග ශක්තිමත් විපක්ෂයක් හදනවා ද? නැත්නම් දිගට ම සජිත්ගේ මෝඩ ආතල් බල බල ඉන්නවා ද? දිස් ඊස් පොලිටික්ස්.

 

@එරන්ද ගිනිගේ

2025 ජූනි 18

නවතම ලිපි