ලෝක පරිසර දිනය නිමිත්තෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක ඊයේ (05 වැනිදා) සිදුකළ
වාහන දුම් පරීක්ෂාවේදී ඩීසල් වාහනවලින් සියයට පනහක්ම අහිතකර දුම් පිටකරන බව අනාවරණ වූයේ යැයි වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ජනක පැවසීය.
එමෙන් ම පෙට්‍රල් වාහනවලින් සියයට පහළොවක් පමණ ද මෙම දුම් පරීක්ෂාවෙන් අසමත්ව තිබේ.
දුම් පරීක්ෂාව අසමත් එම වාහන සියල්ලම මීට මාස හතරකට හෝ පහකට පෙර දුම් සහතිකය ලබා ගත් වාහන බවත්, නමුත් ගත වුණු කාලයේදී ඔවුන් කිසිවකු සිය වාහනය නඩත්තු කිරීම පිළිබඳව සැලකිලිමත් වී නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
පෙට්‍රල් වාහන බොහොමයක් භාවිත කරන්නේ පෞද්ගලික පරිහරණය සඳහා වන බැවින් ඔවුන් තමන්ගේ වාහනවල නඩත්තුව ගැන සැළකිලිමත් වන නමුත්, ඩීසල් වාහන බොහොමයක් බස් රථ වැනි ආදායම් උපයන වාහන වන බැවින් ඒවා භාවිත කරන්නන් වාහනයේ නඩත්තුව පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වන බවද අධ්‍යක්ෂවරයා කීවේය.
වාහන වායු විමෝචන භාරකාර අරමුදල හා පොලිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන යටතේ දුම් පරීක්ෂාවෙන් අසමත් සියලු වාහන සඳහා නඩත්තු නියෝග නිකුත් කර ඇත. ඒ අනුව ඔවුන්ගේ ආදායම් බලපත්‍රය රඳවා ගන්නා අතර, නඩත්තු නියෝගය ලැබ දින 14ක් ඇතුළත තම වාහනය යථා තත්ත්වයට පත් කරගත යුතුය. එසේ නැතහොත් දින 14න් පසුව අදාළ වාහනය ධාවනය කිරීම තහනම් වන බව හෙතෙම පෙන්වා දුන්නේය.
ඉදිරියේදී ද දිවයින පුරා ධාවනය කෙරෙන වාහනවලින් පිට කරන දුම සම්බන්ධයෙන් අහඹු පරීක්ෂා කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ අතර දුම් පරීක්ෂාවෙන් අසමත් වන වාහන යළි යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ඔවුන්ට සහාය වෙන ආකාරයේ වැඩසටහනක් ආරම්භ කිරීමට ද වාහන වායු විමෝචන භාරකාර අරමුදල සැලසුම් කර ඇත.
@ ගයාත්‍රි ගීගනආරච්චි