මීට අවුරුදු 15 කට විතර කලින් මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ඉගනගන්න කාලේ
පොඩි උපකාරක පන්ති කිහිපයක් කරගෙන ගියා.
මේ කීපයම කණ්ඩායම් පන්ති, සාමාන්‍යයෙන් එක පන්තියක හිටියේ උපරිම ළමයි 10ක් විතර තමයි. එක පැත්තකින් අමතරව ආදායමක් ලැබුණු නිසාත්, මම ඉගනගත්ත විෂය කරුණු ආයෙත් මතක්වෙන නිසාත් මම වැඩේ ආසාවෙන් කරගෙන ගියා.
මේ පන්ති බහුතරයක හිටපු ළමයි ගොඩක් දෙනෙක් බොහොම උනන්දුවෙන් ඉගනගන්න වගේම තමන්ගේ අම්මා-තාත්තා වියදම් කරන මුදල්වලට සාධාරණයක් කරන්න උපරිම කැපවුණු පිරිසක්. ඒ නිසාම මගේ අරමුණ වුනෙත් ඒ දරුවන්ට වඩා හොඳ ක්‍රමවේදයකට වඩා වැඩි දැනුමක් වගේ පුහුණුවක් අදාල විෂය ක්ෂේත්රයෙන් ලබලා දෙන්න.
මේ එක පන්තියක හිටියා ටිකක් විනෝදයට බර වගේම ටිකක් තමන් දිහාවට අවධානය වැඩිපුර ලැබෙනවට කැමති දරුවෙක්. නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගනගත්ත මේ දරුවා මුල් කාලීනව පන්තියේ ගැහැණු ළමයි ඉලක්ක කරගෙන එක එක විහිළු කරනවා මිසක් වෙන විදිහේ බාධාවක් පන්තියේ කටයුතු වලට කලේ නෑ.
ඒත් ටික කාලයක් යද්දි මේ ශිෂ්‍යයා ටික ටික ඒ විහිළු කිරීම්, බාධා කිරීම් මගේ පැත්තට යොමු කරන්න පටන්ගත්තා. එක එක ප්‍රශ්න අහන විදිහට පටන් අරගෙන ඒවා අතරේ විහිළු කිරීම්, අපහාස කිරීම් වගේම සාමාන්‍යයෙන් ඒ වගේ පන්තියකට ටිකක් නොගැලපෙන විදිහේ හැසිරීමක් පෙන්නුම් කරන්න පටන්ගත්තා.
සමහර විෂය කරුණු පදනම් කරගෙනත් ඇතැම් වෙලාවට මාත් එක්ක අනවශ්‍ය වාද ඇතිකරගන්න සහ ඒවා පදනම් කරගෙන මට විහිළු හෝ අපහාස කරන්න මේ ශිෂ්‍යයා ටික දවසකින් පටන්ගත්තා. මේ ශිෂ්‍යාගේ මේ ක්‍රියාවන්ට අනෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කලේ හිනාවුණු එක, ඔහුගේ ඒ හැසිරීමේ විනෝදය වින්ඳා වගේම ඒ නිසා මම පත්වුණු අසීරුතාවයත් ඔවුන්ට විනෝදයක් වුණා.
ඒ වගේ වෙලාවට මගේ තිබුනු අඩු අත්දැකීම් ප්‍රමාණය නිසා වගේම යොවුන් වයසේ මගේ තිබුණු ආකල්ප එක්ක සමහර වෙලාවට ලැජ්ජාවක් දැනීම නිසාම තරහක් ඇතිවුණා. ඒ තරහා සමහර දවස්වල පන්තිය පැවැත්වුණු කාලය විතරක් නෙවෙයි ගෙදර ආවමත් මගේ ඇතුලේ රැඳෙන්න පටන්ගත්තා. ඒ නිසාම එක පැත්තකින් ඒ පන්තිය වෙනුවෙන් මගේ තිබුණු උනන්දුව සහ කැපවීම ටික ටික අඩුවෙන්න පටන්ගත්තා.
මොකද මම ගොඩක් උත්සහ කලේ ඒ පන්තිය එක්කෝ මගහරින්න, නැත්නම් විහිළු තහළුවට හේතුවක් නොවී අවසන් කරන්න. ශිෂ්‍යයන්ට ගහලා-බැනලා නටන ගුරුවරයෙක් නොවුණ නිසා මට ඊට එහා පියවරක් ගන්න කටයුතු කලේ නෑ. අනිත් එක මම දැනගත්ත විදිහට මේ දරුවා තමන්ගේ දෙමව්පියන්ටවත් පාලනය කරන්න පුළුවන් වුණ කෙනෙක් නෙවෙයි, ඉස්කෝලෙදිත් මේ හැසිරීම් නිසා ගුරුවරුන්ගේ දැඩි දඬුවම්වලට ලක්වුණ කෙනෙක්.
මේ විදිහට මම මේ පන්තිය ගැන තියන උනන්දුව සහ කැපවීම අඩුවීම අනිත් දරුවන්ගේ අධ්‍යාපනයට බලපානවා කියලා මට පේන්න තිබුණා. ඒ දරුවන්ගේ අධ්‍යාපනය ගැන මට තියන වගකීම මතක් වෙද්දි මම මේ ප්‍රශ්නෙට මුහුණදෙන විදිහ නියම විදිහ නෙවෙයි කියලා මට තේරුණා. මම මේ ගැන දවස් ගාණක් තිස්සේ කල්පනා කලා.
අන්තිමට මම තීරණය කලා මේ ශිෂ්‍යයාව මගහරිනවා වෙනුවට, මේ ශිෂ්‍යයා නිසා පීඩනයට හෝ අපහසුතාවයට පත්වෙනවා වෙනුවට ඒකට ගැලපෙන විදිහට මුහුණදෙන්න. එතනින් එහාට මම හැමදාම ඒ පන්තියට ගිහින් පාඩම් වැඩ කරගෙන යද්දි මේ දරුවා පුරුදු විදිහට ප්‍රශ්න අහන විදිහට විහිළු කරනවා, අපහාස කරනවා. ඒත් වෙනවා ක්‍රමය වෙනුවට මම ඒ දරුවාගේ ප්‍රතිචාර සියල්ලටම හොඳ හිනාවකින් උත්තර දෙන ගමන් අහන ප්‍රශ්නවලට උත්තර දෙනවා, පෙරලා අහන ප්‍රශ්නවලටත් උත්තර දෙනවා, කරන විහිළු හිනාවෙන් ඉවසනවා, අපහාස ඉවසනවා, විෂය කරුණකින් අවශ්‍ය පැහැදිලි කිරීම කරනවා. පුරුදු විදිහට අනිත් ළමයි මේ සංවාද සහ සිදුවීම්වලට හිනාවෙමින් ඉන්නවා.
ටික දවසක් ගතවෙද්දිත් තත්ත්වය එහෙම්මයි. මේ ශිෂ්‍යයා මේ වැඩේ නතර කරන්නෙම නෑ. සමහර දවස්වල පන්තියේ පැය දෙකෙන්, මිනිත්තු විස්ස-තිහ ගතවෙන්නේ මේ ශිෂ්‍යාගේ ප්‍රශ්න සහ මගේ පිළිතුරු වලට. හැබැයි එකම එක පැහැදිලි වෙනසක් සිද්ධවුණා. ඒ තමයි මම මේ ශිෂ්‍යාගේ හැසිරීම් නිසා පීඩනයට පත්වෙනවා වෙනුවට සැහැල්ලුවෙන් ප්‍රතිචාර දැක්වීම. ඒ නිසාම පන්තියේ වැඩවලට පාඩුවක් වෙන්න දුන්නේ නෑ.
හැබැයි ටික දවසක් යද්දි පන්තියේ අනිත් ඉගනගන්න උනන්දුවක් තිබුණු දරුවන්ට තේරුණා මේ ශිෂ්‍යයාගේ හැසිරීම් නිසා පන්තියේ වෙලාවෙන් සැලකිය යුතු කාලයක් ඔවුන්ට අහිමිවෙනවා කියලා. ඇත්තම කිව්වොත් මට ඒක ඔවුන්ට දැනෙන්න දෙන්න අවශ්‍යවුණා. ඒ නිසාම ටික ටික අනිත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මේ කතාබහට හිනාවෙන එක නතර කලා.
ඊටත් පස්සේ මේ ශිෂ්‍යයා නැගිටලා බාධා කරද්දි අනිත් ශිෂ්‍යයන්ගෙන් ඔහුට විරෝධතා එන්න පටන්ගත්තා. මුලින්ම මේ වැඩේ පටන්ගත්තේ පන්තියේ හිටපු ගෑණු ළමයින්ගෙන්. පස්සේ මේ විරෝධය පිරිමි ළමයින් අතරට සහ අර බාධා කරන ශිෂ්‍යාගේ හොඳම යහළුවා දක්වාම ගියා. ඒ ගැටුම ඔවුන්ටම විසඳගන්න අවශ්‍ය කාලය දීලා මම සන්සුන්ව සිනාමුසු මුහුණින් බලාගෙන හිටියා.
කාලයත් එක්කම විරෝධය නිසා අර බාධාකාරී ශිෂ්‍යයාට තමන්ගේ පුරුදු රටාව පැත්තකින් තියන්න වුනා. ඉගනීමට යොමුවෙන එක කෙසේ වුනත් අඩුම තරමේ පාඩුවේ පන්තියේ ඉන්න අවශ්‍ය සංයමය බලහත්කාරයෙන් හරි ඇතිකරගන්න ඔහුට සිද්ධවුණා. ඒකත් එක්කම මම පුරුදු විදිහටම පන්තිය කරගෙන ගියා. මේ ශිෂ්‍යයාත් පස්සේ යම්තාක් දුරට විෂය කරුණු හදාරලා පන්තියට බාධාවක් නොවී තමන්ගේ වැඩේ කරගෙන ඉන්න පුරුදු වුණා.
සමහර ප්‍රශ්න තියනවා තහංචි දාලා, දඬුවම් කරලා, ගැටිලා විසඳන්න බැරි ඒවා. ඒවා විසඳන්න වෙන්නේ සමහරවිට සෑහෙන්න ඉවසීමකින්, ඔළුව වෙහෙසෙන කල්පනා කිරීමක ප්‍රතිඵලවලින්, ඒත් නැත්නම් කාලයත් එක්ක කරන දැඩි උත්සාහ කිරීම්වලින්.
ආන්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා මාධ්‍ය හසුරවන විදිහ දැක්කට පස්සේ මට මේක මතක්වුණා.
@Janaranga Wijaindu Dewasurendra