SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර කම්කරු දිනය මෙරට සමාජය තුළ ඉතා සරලවම කට වහරට එකතු වී ඇත්තේ මැයි දිනය ලෙසය.

ජන්මයට වැඩිය පුරුද්ද එසේ වුවත් මැයි දිනයට වඩා ගැළපෙනුයේ ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් තැබීමය. වඩා ගැළපෙන දෑ නොවන කල්හි වචන පමණක් නිවැරැදි කර ගැනීමෙන් වන ලොකු අරුතක්ද නොවේ. හැමදේකම පාහේ අරුත් සුන් වෙන්නට පටන් ගෙන බොහෝකල් ය.

 

 

ජාත්‍යන්තර කම්කරු දිනය එහි සමාරම්භක අරමුණු අතින් මේ වන විට බොහෝ සේ දුරස් වී ඇත. මුල් අරුත ලිහා ගනිද්දී හමුවන 1886 සිද්ධිය තවමත් වලංගු දැයි එළිපිට විලංගු නැති වචනාර්ථයෙන් වහලුන් සේ නොපෙනෙන එහෙත් වහල් පන්නයේම වෘත්තීන්හි නියැළෙන බොහෝ අය දෙස් දේ යැයි කීම දෝස්මුරයක්ද?

 

1886 ඇමරිකාවේ චිකාගෝ නවර සටන් ඇවිළුණේ කම්කරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූ පැය 8ක සේවා කාලයක් මුල් කරගෙනය. එකල දිනෙක වැඩ කාලය පැය 15ක් විය. පැය 24න් පැය 15ක් සේවයටම කැප කළ ජීවිතයක් ගෙවන්නට ඉතිරි වන්නේ කොතරම් සොච්චම් කාලයක්ද? සිය ජීවිතයම ආර්ථිකමය කටයුතු සඳහා යෙදවූ විට විනෝදය, නිදහස හෝ සමාජ පොදු කටයුතු සඳහා වෙන් කිරීමට කාලයක් හදා ගැනීමට අවකාශයක් නිර්මාණය කරගනුයේ කෙසේද?

 

එදා සටන් කොට දිනා ගත්තා යැයි කියන පැය 8 රස්සා අද පැය අටටම සීමා වී ඇත්ද? අතිකාල එල්ලාගෙන හෝ අමාරුවෙන් දිනාගත් පැය 15ටත් වඩා කාලයක් අප සමාජය තුළ වැඩකරුවන් ඉල්ලා නොසිටින්නේද?

 

අද සටන පවතිනුයේ වැඩ කරන කාලයට වඩා කාලයට සරිලන වැටුපක් නැතිකමටය. පැය අට නොව පැය 24ම වුව වැඩ කරන්නට මිනිසුන් කැමැතිය. ඒ ළඟා කර ගත හැකි වෙතැයි සිතන කප්පරක් සිහින වෙනුවෙනි. ඒ සිහින එල්ලා ඇත්තේද මහන්සි වී වැඩ කර ලබාගත යුතු ප්‍රතිඵල ලෙසය. පැය ගණනක් නොව සොයන ගණනක වඩා වටිනා දේ වී ඇත. අද විලංගු වෙනුවට ඇත්තේ ණය ය. බැංකු ණය, නිවාස ණය, ලීසිං ණය කප්පරක් ණය ය. ජීවිතයම ගෙව්වද ගෙවා ගත නොහැකි තරමට බොහෝ අය ණය ය. මේ ගැලවීමක් නැති චක්‍රයකි.

 

එදා චිකාගෝ නුවර හේමාර්කට් චතුරස්‍රයේ පැවැති සාමකාමී විරෝධතාවට පොලිසිය වෙඩි තැබීය. අදත් විරෝධතාවලදී හැම රටකම පොලිසිය ප්‍රහාර එල්ල කරති. වෙඩි තැබීමද කරති. මෙරට තුළ පසුගිය කාලයේ එවැනි උපහැරණ අපමණය. එදා පොලිසිය කීවේ කම්කරුවන් අතරින් කෙනකු අත්බෝම්බයක් හෝ වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවයි. ඊට ප්‍රතිචාර ලෙස වෙඩි තැබීමෙන් කම්කරුවන් පිරිසක් මියගිය අතර නායකයන් අත්අඩංගුවට පත්වී ඒ අයට පැනවූ නඩු හරහා ඇතැමුන් එල්ලා මැරීමද සිදු කළේය. මේ සිද්ධිය පදනම් කරගෙන කම්කරු ජීවිත වෙනස් කළ යුතු මංසන්ධියක් ලෙස ගෙන 1890දී එම අරගලයට වටිනාකමක් දෙමින් ජාත්‍යන්තරය විසින් මැයි පළමු වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. මේ ජනප්‍රිය කතාවය. ඒ අනුව යමින් හැම රටකම මැයි පළමු වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස සමරමු. ඒ අතර වැඩවර්ජන කරමින් උද්ඝෝෂණය කරමින් ඉල්ලීම් වෙනුවෙන් හඬ නඟමින්, ගුටි කමින්, කඳුළු ගෑස් කමින්, වෙඩි කමින් ජීවන අරගලය පෙර පරිදිම ඉදිරියට ගෙන යමු. 

 

එදා ඇමරිකා  කම්කරු  උද්ඝෝෂණයට පසු ලොව පුරා කම්කරු වැඩවර්ජනවලදී කොතෙක් නම් මිය ගොස් ඇත්ද? අතපය කඩා ගෙන ඇත්ද? රැකියා අහිමි කරගෙන ඇත්ද? තවමත් ඉතිරිව ඇති එකම දේ ජාත්‍යන්තර කම්කරු දිනය මැයි පළමු වැනිදාට යෙදී තිබීම පමණය. එදිනට දේශපාලන පක්ෂ එයට වන්දනා මාන කිරීම පමණය. ඊට එහා ඇත්ත නම් එදිනත් කම්කරුවෝ වැඩ කරති. මැයි රැලිවලින් පසුත් වැඩ කරති. එදා නිවාඩු දිනයක් නොවූ මැයි දිනය අද නිවාඩු දිනකි. ඒ නිවාඩුවත් සැබෑ නිවාඩුවක්ද? එදා නිවාඩුව නොදුන් කල වැඩ වර්ජනය කර මැයි දිනය සමරන්නට පාරට බැස්ස නිසාවෙන්ම අකැමැත්තෙන් හෝ දෙන්නට සිදුවූ නිවාඩුව අද කැමැත්තෙන් වැඩ කරන තැනට පත්වී එදින අතිකාල හෝ විශේෂ දීමනාවක් ලබන දිනයක් වී ඇත. ඒ කම්කරුවන් ලද ජයක් බවට අද පත්වී ඇත.

 

මැයි දිනය දේශපාලන පක්ෂවලට බජව් පන්නයේ දිනයක් වී ඇත. පක්ෂ සාමාජිකයන් සමඟ විකට ඇඳුම් පන්නයේ ආණ්ඩු විරෝධී සටන් පාඨ සහිත දිනයක් වී ඇත. මේ කිසිදු මැයි දිනයක් වෘත්තීය සමිතිවල පැවැත්මට හේතු වූ තරම් වැඩ කරන ජනයාට හේතු වූයේද? ලංකාවේ හැඩම මැයි දිනය පැවැත්වූයේ ජනතා විමුක්ති පෙරමුණය. පෙරටුගාමීන්ද ඔවුන්ගේ සහෝදරයෙක් නිසා ඊට සමගාමීව එය ඉටු කරමින් සිටී. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය මෙරට මැයි දිනයේ හිමිකරුවන්ය. “සාදුකින් පෙ‍ළෙන උන් දැන් ඉතින් නැඟිටියව්”  යන්න ඔවුන්ගේ ජනප්‍රියතම සටන් පාඨයකි.  ඒවා අද හුදු නෑසෙන කෙඳිරිලි බවට පත්වී ඇත.

 

ලංකාවේ කම්කරුවාද පක්ෂවලට බෙදී ඇත. ජවිපෙ, පෙරටුගාමී  වැනි පක්ෂ එදා හිතුවේ සැබෑ කම්කරුවා සිටිනුයේ තමන් සමඟ බවත් එජාප, ශ්‍රී ලංකා සමඟ සිටිනුයේ ධනපතීන් බවය. මේ සරල හිතලුය. සැවොම එකම පන්නයේය. කම්කරුවන් කම්කරුවන්ම වන විට පක්ෂ නායකයෝ හැම පක්ෂයේම සැපට ජීවත් වූවෝය. ලෝකයට එකක් පෙන්වන ඔවුන් ඇතුළාන්තයෙන් තවත් විදිහකි.

 

උද්ඝෝෂණ, වැඩ වර්ජන හරහා රජයේ රැකියාවන්හි නියුතු රාජ්‍ය සේවකයාට පඩි වැඩි කරගත හැකි වුවත් පෞද්ගලික සේවකයාට වැටුප් වැඩ කරගත හැකි ක්‍රමයක් නැත. ඔවුන්ට වැඩි වර්ජන, උද්ඝෝෂණ අකැපය. කළහොත් රැකියාවෙන් දොට්ටය. රාජ්‍ය සේවකයාගේ පවා මූලික වැටුප ඉහළ දැමීම වෙනුවට අතිරේක එල්ලීම් නිතර සිද්ධ විය. වතු කම්කරුවාගේ වැටුප හැමදාම සටන් පාඨයක් විය. ඒවාට ලැබෙන ස්ථිරසාර විසඳුම් නොවීය.

 

අද ඇති විශේෂත්වය නම් එදා මේවා සටන් පාඨ ලෙස කරපින්නා ගත් අය රටේ පාලන බලය ලබාගැනීමය. එසේ නම් අද කම්කරුවාට ප්‍රශ්න නැති සමාජයක් තිබිය යුතුය. මැයි දින නොවුවමනා විය යුතුය. එහෙත් මෙවරද පෙර කවරදාටත් වඩා මැයි දිනය සමරනු ඇත්තේ වත්මන් ආණ්ඩුවය ය.

 

ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පෙරටුගාමීන්ද වාමාංශික ලේබල් සහිත වාමාංශික නොවන පිරිස්ය. සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ ලෙස පැවැති ව්‍යාජ පක්ෂද අද වන විට අවලංගුය. ඒවායේ පැරැණි ගල්කණු කිහිපයක් විශාල පක්ෂ මූලස්ථාන සමඟ ගල්වී ඇත. ඒ පිරිස මැයි දාට අමාරුවෙන් අත් වාරුවෙන් හෝ පාරට බසිති. මැයි දා නම් ලකුණු කරයි. මේ මෙරට වාමාංශික පෙළහරය. 

 

ජවිපෙ ඇතුළු සියලු වාමාංශික පිරිසට මෙරට කම්කරුවා කවුද යන්න හඳුනාගත නොහැකි විය.  ලංකාවේ 20%ක්  පමණ වන රාජ්‍ය හා පෞද්ගලික ස්ථිර රැකියාවන්හි නියුතු පිරිස මොන හෝ  අසමානකම් මැද හෝ සිය ජීවිකාව වෙනුවෙන් මාසිකව ස්ථිර වැටුපක් ලබන අය ය.

 

මේ බොහෝ අය වෘත්තීය සමිති සමඟ සම්බන්ධය. ඒ වෘත්තිය සමිති පක්ෂ සමඟ සම්බන්ධය. වෙනසකට ඇත්තේ වාමාංශික වීම සහ වෙනත් පක්ෂ වීමය. මැයි දින දා පෙරමුණේ ඉන්නෙ මේ පිරිසය. දේශපාලනයට ඍජුවම කඩේ යන්නෙ මේ ස්ථිර වැටුප් ලබන පිරිසය. මැයි දින හරහා කම්කරුවන් යැයි උඩ දමනුයේද මේ පිරිසමය.

 

ඒ තත්ත්වය එසේ නම් මාසික වැටුප් නොලබන වෘත්තීය අරගල සඳහා සංවිධාන ගත නොවන, අවිධිමත් ආර්ථික තුළ රැඳී සිටින 60%ක් වන බහුතර ජනතාවගේ තත්ත්වය කුමක්ද? ඒ සඳහා දේශපාලන කණ්ඩායම්වල වගකීම මෙන්ම වගවීම කුමක්ද?

 

ත්‍රීවීලර් රථ රියැදුරන්, බස් රියැදුරන්, කොන්දොස්තරවරුන්, කුලී වැඩ කරන්නන්, පේමන්ට්වල බඩු විකුණන්නන්, වඩු, මේසන්, කාර්මිකයන්, කුඩා පරිමාණ ගොවීන්, පෞද්ගලික අංශයේ අනියම් සේවකයන් වැනි අවිධිමත් ආර්ථිකයේ සිටින අයට කම්කරු දිනය අකැපද? කඩවල වැඩ කරන වේටර්වරුන්, කෝකියන්ට මැයි දිනය එපාද?

 

 

හැම කල්හී මෙන්ම මෙවරත් මැයි දිනය සීමිත පිරිසකගේ මංගල්‍යයකි. මෙවර එය ඊටත් වෙනස් මුහුණුවරක් ගනුයේ එදා ඉහත 20%ක ප්‍රමාණයෙන් අති බහුතරයකට නායකත්වය දුන් ජවිපෙ අද ආණ්ඩුව සතු වූවන් වීම නිසා කම්කරු සටන් රැක ගැනීම වුවමනාද යන්නය.

 

පසුගිය ආණ්ඩුවලට එරෙහිව උද්ඝෝෂණ, වැඩ වර්ජන සිදු කළේ ජවිපෙ  ප්‍රමුඛ වෘත්තීය සමිතිය. ඒ නිසාම ජවිපේ ආණ්ඩුවක් ඇති වූ කල රටේ සියලු ප්‍රශ්න නිවාරණය වූ ගානට වැඩ වර්ජන, උද්ඝෝෂණද වාෂ්ප විය. කොළඹ ජනයා මෙයට කැමැති වනවා නියතය. අද ලිප්ටන් වටරවුම පාළුය. දුම්රිය පොළ ඉදිරිපිට හිස්ය.  ඉඳහිට පෙරටුගාමීන් කුරු කුරු ගෑවාට ආණ්ඩු ලියාපදිංචි රැකවලුන් යොදවති. හැමදේම වෙනස් වී ඇත. රටේ ප්‍රශ්න අතුරුදන් වී ඇත. උද්ඝෝෂණ, ඉල්ලීම්, වැඩ වර්ජන සියල්ල දේශපාලනිකය. එදා විරුද්ධ වූ දෑ අද පක්ෂ දෑ බවට පත්වී ඇත. දිගු කාලයක් ආණ්ඩු කළ අයට ආණ්ඩුවකට විරුද්ධව එන හැටිද ඉගෙනීමට තව බොහෝ කල් යනු ඇත. ආණ්ඩුවලට විරුද්ධ වීම හැරුණු කොට වෙන දෙයක් නොකළ අයට ආණ්ඩුවක් කිරීමට ඉගෙනීමටද තව බොහෝ කල් යනු ඇත. මේ දෙපිරිස අතර කම්කරුවාට සිය අරගලය වෙනුවෙන් පෙර පරිදිම වෙහෙසෙන්නට වී ඇත. ඒ සඳහා එක් දවසක් පාරට බැස සමරනු වෙනුවට එදාටත් වැඩි මුදලක් උපයා ගැනීමට වෙහෙසිය යුතුව ඇත. හැමෝම ජීවන අරගලයේ නියැළෙන මුත් අරගලයේ ස්වභාවය වෙනස්ය.

 

කම්කරු දිනය කම්කරුවන්ට කැප දෙයක් නොවේ. මැයි පළමු වැනිදා නිවාඩු ලැබීමට ඊට වඩා කම්කරුවන් කැමැති වුවත් එයත් නිවාඩුවක් නොවී වැඩි යමක් ඉපැපයීමට හැකි වීම අගනා දෙයකට හරවා ගෙන ඇත.

 

මැයි දිනය යනු තවත් එක් දිනෙකි. කම්කරුවන් නොවන කම්කරුවන්ගේ  දිනෙකි. සාදුකින් සිටින උන්ට වත්මන් ආණ්ඩුව අමතන හැටි බැලීම මෙවර මැයි දිනයේ වර්ණ අත්දැකීම වනු ඇත. එදා ආණ්ඩු කළ වුන් මෙවර ආණ්ඩුවට විරුද්ධව ගෙනයන සටන් පාඨ කෙබඳු වනු ඇත්ද? විකිණීමට, රට පාවා දීමට විරුද්ධ වූවෝ පක්ෂ වී ඇත. පක්ෂ වූවෝ විරුද්ධ වී ඇත. මේ හැම අය පිටුපසම යන කම්කරුවන්ට ඇඳි පිරිස එකම පිරිස වී ඇත. කම්කරුවන්ට වැඩ කිරීම හැර විකල්පයක් ඉතිරි කොට නැත. එයට විරුද්ධ වීමට හේතුවක්ද පෙනන්නට නැත. හේතු අපමණ වුවත් විරුද්ධ වන්නටද නොහැකිය. ලෝකවාසී කම්කරුවනි එක්වව්! ඒ සටන් පාඨය හැමදාම ඉතිරිය.

 

@ ටිරන් කුමාර බංගගමආරච්චි

මව්බිම