SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අප්‍රේල් 22 වන දා කාශ්මීරයේ පෙහෙල්ගාම් නගරය ආසන්න ප්‍රදේශයකදී

සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්තානය අතර බරපතළ ගැටුමක් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ.

 

 

මෙම ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තානය සිටින බවට ඉන්දියාව වෙතින් මතු වූ චෝදනාව සහ ඊට පාකිස්තානය දැක්වූ ප්‍රතිචාරයන් සමග මෙම අවදානම වර්ධනය වී ඇත. එමෙන් ම ඊයේ (අප්‍රේල් 25) වනවිට ද දෙරටෙහිම ආරක්ෂක අංශ සීරුවෙන් තබා තිබිණි.

 

පෙහෙල්ගාම් ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරය ඉන්දියාවම සසල කිරීමට සමත් වූවක් විය. ඊට ත්‍රස්තවාදීන් සය දෙනෙකු සම්බන්ධ වූ බැව් ඇතැම් වාර්තා අනුව සඳහන් වූ අතර ඉන් සිව් දෙනකු විදේශිකයන් බවත් කියැවිණි. ඒ අතර එක් අයෙකු මීට පෙරද ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ වූ අයෙකු බව තහවුරු වී ඇතැයි ද ඉන්දියානු බලධාරීන් විසින් සඳහන් කරන්නට යෙදිණි. මෙම ත්‍රස්තවාදීන් දෙදෙනා බැගින් වූ කණ්ඩායම් ලෙස විසිර ගොස් සංචාරකයන් ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාර එල්ල කළ බව වාර්තා වූ අතර එහිදී හින්දූන් සොයා ඝාතනය කිරීමට ඔවුන් කටයුතු කර තිබිණි. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 26 දෙනෙකු මරණයට පත්වූ අතර ඉන් වැඩි ප්‍රමාණයක් ඉන්දියානු සංචාරකයෝ වූහ.

 

  • ත්‍රස්ත තර්ජනය

 

මෙම ප්‍රහාරය 2019 පෙබරවාරි 14 වන දා සිදු වූ පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව කාශ්මීරයේදී සිදු වූ විශාලම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන අතර සිවිල් වැසියන් ඉලක්ක කරගෙන පසුගිය දශක දෙකකදී පමණ එල්ල වූ ප්‍රධානම ප්‍රහාරය ලෙස සැලකිය හැකි විය. තවද මෙම ප්‍රහාරය එල්ල වූ පසුබිම ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට මෙන් ම කාශ්මීරයටද අපහසුතා ඇති කරන තත්ත්වයක් වූයේ ය.

 

 

පුල්වාමා ප්‍රහාරයට ඉන්දියාව ප්‍රබල ලෙස ප්‍රතිචාර දැක් වූ අතර එම පසුබිමෙහි 2019 මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය විශාල ජයග්‍රහණයක් ලැබීය. ඉන් ස්වල්ප කලකට පසු ජම්මු සහ කාශ්මීරයට විශේෂ තත්ත්වයක් ලබා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වන වගන්තිය අහෝසි කිරීමට ආණ්ඩුව ක්‍රියා කළේය. ඒ අනුව ජම්මු සහ කාශ්මීරයේ ප්‍රාන්ත තත්ත්වය පහත හෙළා එය මධ්‍යම ආණ්ඩුව යටතේ පවතින ප්‍රදේශයක් බවට පත් කරන ලදී. තවද එම ප්‍රාන්තයේ කොටසක් වූ ලදාක් ප්‍රදේශය වෙනමම ඒකකයක් ලෙස වෙන් කර මධ්‍යම ආණ්ඩුව යටතේ පවතින තවත් ප්‍රදේශයක් ලෙස ප්‍රතිසංවිධානය කෙරිණ.

 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය අහෝසි කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වූ අතර එහිදී මධ්‍යම ආණ්ඩුව ප්‍රකාශ කළේ ප්‍රාන්ත තත්ත්වය අහෝසි වූ පසු ජම්මු සහ කාශ්මීරයේ ආරක්ෂක තත්ත්වය වඩා යහපත් වූ බවයි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තු කමිටුවක් ඉදිරියේ ප්‍රකාශ කළ පරිදි 2019 දී 286ක් වූ ත්‍රස්තවාදයට සම්බන්ධ සිදුවීම් 2024 වසරේ නොවැම්බරය දක්වා කාලය තුළ 40ක් දක්වා අඩු වී තිබිණි. ආරක්ෂක අංශ වෙත 2019 දී එල්ල වූ ප්‍රහාරයන් සංඛ්‍යාව 96ක් වූ අතර 2024 නොවැම්බරය වනවිට ප්‍රහාර 5ක් පමණක් වාර්තා වී තිබිණි. ත්‍රස්ත කල්ලි හා එක්වන කාශ්මීර් තරුණයන් සංඛ්‍යාවද ශීඝ්‍රයෙන් අඩු වී තිබිණි.

 

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු වූ පෙත්සම්වල තීන්දුව ලබා දෙමින් අධිකරණය පෙන්වා දුන්නේ 370 වගන්තිය අහෝසි කිරීම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවය. නමුත් ජම්මු සහ කාශ්මීර් ව්‍යවස්ථාදායක සභාව සඳහා හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතු බවද අධිකරණය නිර්දේශ කළේය. ඒ අනුව 2024 සැප්තැම්බර්, ඔක්තෝබර් සමයේ මැතිවරණය පවත්වන ලදී.

 

මෙසේ එක් අතකින් ත්‍රස්ත ප්‍රහාර අඩු වෙමින්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය නැවත බල ගැන්වෙමින් පවතින සමයක, අනෙක් අතින් සංචාරක කර්මාන්තය දියුණු වෙමින් පවතින අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වීම තුළින් පෙනෙන්නේ ත්‍රස්තවාදීන් කල් යල් බලා මෙම ප්‍රහාරය දියත් කළ බවය. කාශ්මීරයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බවට පෙන්නුම් කිරීමට රජයට අවශ්‍ය වූ බවද පැහැදිලිය. එම පසුබිමෙහි මෙම ප්‍රදේශයේ ඇතැම් ආරක්ෂක ක්‍රියාමාර්ග එතරම් තදින් සිදු නොවූ බවටද වාර්තා වේ. පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඒ ආසන්න ප්‍රදේශයේ කිසිදු ආරක්ෂක භටයකු නොවීම ඊට එක් සාක්ෂියකි.

 

සිදුවීම් අඩු වුවද කාශ්මීරයේ ත්‍රස්ත තර්ජනය දිගට ම පැවති බව ඉන්දීය බුද්ධි අංශයන්හි මතය ය. එක් මාධ්‍යවේදියෙකු ප්‍රකාශ කළ පරිදි ශ්‍රී නගර් නිම්නය සහ ජම්මු ප්‍රදේශය අතර වන පීර් පන්චාල් කඳුකරයෙහි ත්‍රස්තවාදීන් හැට දෙනෙකු පමණ සැරිසරන බවට තොරතුරු ලැබී තිබිණි. මොවුන් ඉතා හොඳ පුහුණුවක් සහිත, කඳුකරයෙහි පහසුවෙන් සැරිසරන අය බව දැනගන්නට තිබුණ අතර ඔවුන් ජංගම දුරකථන පවා භාවිත නොකිරීමට වගබලාගත් බව සඳහන්ය. ඔවුන් සොයාගැනීමද පහසු නොවූයේ ය. මෙම පිරිස විදේශීය පුහුණුවක් ලැබූවන් බවට සැක කෙරේ. තවද ඔවුන් වැඩි වශයෙන් ලශ්කාර්-ඊ-තයිබා සහ ජායිශ්-ඊ-මුහම්මද් සංවිධානයන්හි සාමාජිකයන් යැයිද බුද්ධි අංශ පවසති. පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙහි වගකීම භාරගත්තේ ප්‍රතිරෝධයේ පෙරමුණ නමින් පෙනී සිටින පිරිසක් වන අතර ඔවුන් ලශ්‍කාර්-ඊ-තයිබා සංවිධානයෙන්ම බිහි වූ පිරිසක් ලෙස අනුමාන කෙරේ. මෙසේ සැරිසරමින් සිටින ත්‍රස්තවාදීහු විටින් විට හමුදා සහ සිවිල් ඉලක්ක වෙත පහර දී නැවත කඳුකරයේ සැඟව ගනිති. පෙහෙල්ගාම් ප්‍රහාරයට පැමිණි පාකිස්තානුවකු යැයි සැක කෙරෙන ආසිෆ් ෆවුජි නමැත්තා කලින් රජෝරි ප්‍රදේශයේදී සෙබළුන් තිදෙනකුට මරු කැඳවූ ත්‍රස්ත ප්‍රහාරයටද සම්බන්ධ වී තිබේ.

 

 

  • හමුදාපතිගේ තර්ජනය

 

මේ අතර පෙහෙල්ගාම් ප්‍රහාරයට දින කිහිපයකට පෙර පාකිස්තාන හමුදාපති ජෙනරල් ආසිම් මුනීර් විසින් කළ කතාවක් වෙත විශාල අවධානයක් යොමු වූයේය.

 

එහිදී ඔහු කියා සිටියේ රාජ්‍ය දෙකක් නිර්මාණය වූයේ හින්දූන් සහ මුස්ලිම්වරුන් ආගමිකව, සංස්කෘතිකව ආදී වශයෙන් සියලු ආකාරයන්ගෙන් එකිනෙකාට වෙනස් වන හෙයින් බවයි. කාශ්මීරය පාකිස්තානයේ පැවැත්මට අත්‍යවශ්‍ය කණ්ඨ ශිරාව මෙන් බවද ඔහු කියා සිටියේ ය.

 

කෙසේ වෙතත් ඔහුගේ කතාව තුළ යටිපෙළින් වූයේ පාකිස්තානය වෙත අවධානය දෙන ලෙස කළ කන්නලව්වකි.

 

පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාව විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පාකිස්තානය හුදෙකලා කිරීමට සමත්ව තිබේ. මෑතක් වන තෙක් පාකිස්තානයේ මිතුරන් වූ සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි පාර්ශ්ව සමඟ මෝදි රජය ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඇත. ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමය. පාකිස්තානයට දිගු කාලීන මිතුරකු ලෙස ඉතිරිව ඇත්තේ චීනය පමණි. කලකට පෙර, ඉම්රාන් ඛාන් අගමැතිව සිටියදී රුසියාව සමඟ මිත්‍රත්වය වර්ධනය කරගන්නට පාකිස්තානය සමත් වුවද වර්තමානය වනවිට රුසියාව නැවත ඉන්දියාවට ඉතා සමීපව සිටියි.

 

පාකිස්තානය ඉතිහාසයේ බරපතළ ම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර රටේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳවද ප්‍රශ්න පවතී. තලේබාන් සංවිධානය සමඟ වන ගැටුම සහ බලෝචි කැරලිකරුවන් වෙතින් එන තර්ජනයන් එයට බලපා තිබේ. තවද, 2024 මහ මැතිවරණයේදී වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ ආකාරය පිළිබඳව ජනතාවගෙන් විශාල පිරිසකගේ එතරම් ප්‍රසාදයක් නොමැත. පාකිස්තානයේ හමුදාවේ ජනප්‍රියත්වයද ඓතිහාසිකව ඉතා පහළ අඩියකට වැටී ඇත.

 

 

මෙම පසුබිමෙහි පාකිස්තාන යුද හමුදාපති ලෙස කටයුතු කරන ආසිම් මුනීර් ඉතිහාසයේ පෙර නොවූ විරූ හමුදාපතිවරයෙකි. මතවාදීව ඉස්ලාම් දැඩිමතධාරියකු ලෙස ඔහුව හඳුන්වා දී තිබේ. එවන් ඉස්ලාමිකයකු මෙතෙක් පාකිස්තාන හමුදාපති ලෙස සේවය කර නොමැත. වසර කිහිපයකට පෙර එරට බුද්ධි සේවා ප්‍රධානියා වූ ඔහුව ඉම්රාන් ඛාන් විසින් ධුරයෙන් ඉවත් කරන ලදී. එහෙයින් ඔහු තදින්ම ඉම්රාන්ට විරුද්ධය. ඔහුගේ මතවාදීමය අන්තගාමීත්වය පාකිස්තාන හමුදාවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සැක උපදවයි.

 

ඉතිහාසයේ අවස්ථා කිහිපයකදී ම පාකිස්තාන යුද හමුදාව ජනප්‍රියත්වයෙන් පහළ වැටුණ අවස්ථාවන්හි ඉන්දියාවෙහි ත්‍රස්ත ප්‍රහාර සිදු විය. 2008 නොවැම්බර් 26 ප්‍රහාරය සහ 2019 පුල්වාමා ප්‍රහාරය ඒ අතර වෙයි. පෙහෙල්ගාම් ප්‍රහාරයද එවැන්නක් බව ඇතැම් ඉන්දීය විචාරකයන්ගේ අදහසය. එමෙන්ම ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්ගේ ඉන්දීය සංචාරයට සහ නරේන්ද්‍ර මෝදිගේ සවුදි අරාබියානු සංචාරයට සමගාමීව මෙම ප්‍රහාරය එල්ල වීමද ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයන්ට අකුල් හෙළීමේ සහ අවධානය වෙනතක ගැනීමේ පියවරක් සේ පෙනී යයි.

 

 

  • එකට එක කිරීම්

 

පෙහෙල්ගාම් ප්‍රහාරයට පාකිස්තානය වගකිව යුතු බව චෝදනා කළ ඉන්දියාව අප්‍රේල් 23 සන්ධ්‍යාවෙහිදී එරටට එරෙහිව පියවර පහකින් ප්‍රතිචාර දක්වන බව කියා සිටියේය. එයින් මූලික වූයේ 1960 සින්ධු නදී ගිවිසුම අත්හිටුවීමය. සින්ධු නදී ගිවිසුම අනුව සින්ධු, චිනාබ් සහ ජේලම් ගංගාවන්හි ජලය භාවිතයට පාකිස්තානයට පූර්ණ අයිතිය තිබේ. එයින් ඉවත් වීමත් සමඟ මෙම ගංගාවන්හි ඉහළ ප්‍රදේශයන්හි ඉන්දියානු ක්‍රියාමාර්ග සඳහා වන බාධා ඉවත් වේ.

 

 

කාශ්මීරය පාකිස්තානයේ කණ්ඨ ශිරාව බවට ආසිම් මුනීර් කළ ප්‍රකාශයේ සැබෑ අර්ථය වන්නේද මෙම ගංගාවල ජලය පිළිබඳ ප්‍රශ්නය යි. මෙම ගංගාවන් පාකිස්තානයට ඇතුළු වන්නේ කාශ්මීරයෙනි.

 

ඉන්දියාවේ අනෙක් ප්‍රතිචාර අතර අටාරි දේශසීමා මුරපළ වසා දැමීම, මහ කොමසාරිස් කාර්යාලවල මිලිටරි නියෝජිතයන් යළි කැඳවීම, සාක් වීසා වැඩපිළිවෙළ යටතේ පැමිණ සිටින පාකිස්තාන ජාතිකයන් පිටමං කිරීම සහ වීසා වැඩපිළිවෙළ අවලංගු කිරීම මෙන්ම මහ කොමසාරිස් කාර්යාලයේ තානාපති නිලධාරීන් අඩු කිරීම යන කරුණු සඳහන් වූයේ ය.

 

 

පාකිස්තානය ද ඊට ප්‍රතිචාර දක්වමින් පියවර කිහිපයක් ගන්නා බව නිවේදනය කළේ ය. ඒ අතර ඔවුහු ද ඉන්දියාවේ පියවරයන්ට එකට එක කිරීමක් ලෙස රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අඩු කිරීමට සහ දේශසීමා මුරපොළ වසාදැමීමට පියවර ගත්හ. ඉන්දියාවේ සමාගම්වල ගුවන් යානාවන්ට සිය ගුවන් සීමාව තහනම් කිරීමට සහ දෙරට අතර වෙළෙඳාම අත්හිටුවීමටද පාකිස්තානය පියවර ගත්තේය. තවද ගංගාවන් අවහිර කිරීමට කටයුතු කළහොත් එය යුද්ධ ප්‍රකාශ කිරීමක් ලෙස සලකන බව ද පාකිස්තානය කියා සිටියේ ය.

 

මේ අතර පාකිස්තානය සඳහන් කළේ ද්විපාර්ශ්වික ගිවිසුම් අත්හිටුවීමටද තමන් කටයුතු කරන බව ය. ඒ අනුව 1972 ශිම්ලා ගිවිසුමද අත්හිටු වෙන අතර එයින් කාශ්මීරයේ තවත් අවිනිශ්චිතභාවයක් ඇති වූයේය. කාශ්මීරයේ දෙපාර්ශ්වය අතර දැනට පවතින මායිම ඒකපාර්ශ්විකව වෙනස් නොකරන බවට දෙපාර්ශ්වය ශිම්ලා ගිවිසුමෙන් එකඟ වී තිබේ. නමුත් එම ගිවිසුම අත්හිටුවීමත් සමඟ කාශ්මීරයේ අනාගත ගැටුමක අවදානමක් මතුව ඇත. මේ අතර ත්‍රස්තවාදීන් සොයා කාශ්මීරයේ සෝදිසි මෙහෙයුම් දිගට ම ක්‍රියාත්මකය.

 

@චාමර සුමනපාල

mawbima

නවතම ලිපි