නව රජයක් බලයට පත්ව මාස හයකට ආසන්න කාලයකි.
බලයට පැමිණිමේදී ඔවුන් දහසකුත් එකක් කාරණා පිළිබඳව සංවේදී වන්නට මැතිවරණ වේදිකාවන්හි මොර ගෑවේය.
රාජපක්ෂලා හොරකම් කළ මුදල් යළි ලබාගැනීම, බැඳුම්කර මගඩිය, පාස්කු ප්‍රහාරය විමර්ශනය කර වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම, තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳ විමර්ශනයන්, හිටපු ජනාධිපතිවරුන්ගේ ව්‍යවස්ථා කඩකිරීම් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, හොරුන්ට දඩුවම් කිරීම, අයිඑම්එෆ් ණය උගුල, බටලන්ද ඝාතනයට ලක්වූවන්ට යුක්තිය ඉටුකිරීම මේ ආකාර වූ බොහෝ මාතෘකා සම්බන්ධව කටයුතු කිරීමට මෙම රජය පොරොන්දු දුන්නේය.
මේවා සතියෙන්, මාසයෙන්, මාස දෙකෙන්, මාස තුනෙන්, මාස හයෙන් යැයි පවසමින් මෙතෙක් දුර ඇදුනේය. එසේ වූවාටද කම් නැතැයි සිතමු. එසේ අප පවසන්නේ මේවා ඡන්ද වේදිකාවල කියනවා මෙන් නොව අදාළ කටයුතු සිදුකිරීමට යම් කාලයන් අවශ්‍ය වන නිසාය.
එහෙත් ඒ අතර ප්‍රාදේශීය සභා ඡන්දය අභිමුඛ වීම තුළ, අගමැති මෝදිගේ ලංකා නිල සංචාරයත් එහිදී ඉන්දියාව සමග ගිවිසුම්ගත වූ කාරණා හෙළිදරව්වෙන් වැලකීමත්, බොහෝ විමර්ශනයන් ආරම්භ කිරීමට පවා නොහැකි වීම් යටපත් කිරීමත්, සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර යන මාලිමා ආණ්ඩුව වෙත එල්ල වන චෝදනා යටපත් කිරීමටත් බොහෝ අතීත දේශපාලකයින් මෙන් යොදාගත් තුරුම්පුවක් ලෙස වසර 16කට පසුව දළදා ප්‍රදර්ශනය සිදුකෙරෙන බවටද මාධ්‍ය වාර්තා පළවන්නට පටනු ගැනුණි.
කෙසේ හෝ වේවා මහනා හිමිවරුන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක කරන ලද ඉල්ලීමකට අනුව දළදා ප්‍රදර්ශනයට දින නියම කෙරිනි.
ඒ වෙනුවෙන් මහා පරිමාණයෙන්ම විශාල මාධ්‍ය ප්‍රචාරණයක්ද සිදු කෙරුනි.
එහෙත් අත්දැකීම් අඩු නිසා හෝ නොහැකියාවන් නිසා හෝ, එමෙන්ම මෙතෙක් ආරම්භ කළ බොහෝ ව්‍යාපෘතීන් (ක්ලීන් ශ්‍රී ලංකා වැනි) අසාර්ථක ව පවතින තත්වයක් යටතේ මෙම වැඩසටහන පිළිබඳව මීට වඩා වගකීම් සහගත වීම අදාළ නිළධාරීන් සිදු කළ යුතුව තිබුණි. කොතෙක් ජනකායක් පැමිණේද යන්න පිළිබඳව වාර්තා (බුද්ධි අංශ හරහා) මුලදීම ලබාගත යුතුව තිබුණි. ඊට අදාළව ජනයාගේ පැමිණීමට අදාළ යටිතල සේවා පහසුකම් සැකසීමත් කළ යුතුව තිබුණි.
එහෙත් මේ වනවිට දළදා ප්‍රදර්ශනයෙන් මහනුවර නගරය විසාලා මහනුවරක් බවට පත්වෙමින් ඇත. බැලූ බැලූ අත අපවිත්‍ර කැලි කසල, අසූචි ඇතුළු අවිධිමත් නගරයක සිරි උසුලමින් ඇත.
මේවා පරිපාලනමය දුර්වලතාවන්ය.
ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම සඳහා බැතිමතුන් ලක්ෂ ගණනක් එක්රැස් වීමත් සමඟ මහනුවර නගරය දිනෙන් දින වැඩි වන අපද්‍රව්‍ය ඉවතලීමෙන් බරපතල ගැටලුවකට මුහුණ දී සිටී.
නගරයේ ඇති වීදි කුණු කසළවලින් පිරී ඇති අතර, පොලිතින් බෑග්, ප්ලාස්ටික් බෝතල් සහ ආහාර දවටන මාර්ග දිගේ විසිරී ඇත.
දිගු පෝලිම්වල රැඳී සිටින අමුත්තන් පැවසුවේ තම කුණු බැහැර කිරීමට නිසි ස්ථාන නොමැති බවයි. බොහෝ අය දිගු වේලාවක් බලා සිටීම සඳහා සුලු කෑම, වතුර බෝතල් සහ වෙනත් ද්‍රව්‍ය රැගෙන එන නමුත්, පෝලිම් ගමන් කරන විට ඔවුන්ගේ අපද්‍රව්‍ය එහි දමා යයි.
මලපහ කරන ලද පොලිතින් කවර, මුත්‍රා කරන ලද බෝතල්ද වීදි පුරා ඇති අතර අතුරු මාර්ගවලද මල පහ කර ඇති බවටද නාගරිකයෝ චෝදනා කරති.
පහත පළවෙන්නේ පෙරහැර සේවාවන්හි නියැලි නිළධාරිනියකගේ සටහනකි..
"සෙංකඩගල පුරයට පැමිණි නොහික්මුනුම සැදැහැවතුන්(නාමික) බහුතරය අද දුටුවෙමි.
එමෙන්ම සිරි දළදා වන්දනාව 2025 මේ වන විට පාලනයෙන් ගිලිහී ඇත. මාලිගාව පරිශ්‍රය තුල යම් තරමකට කළමනාකරණය කර ගැනීමට හැකි උවත් ඉන් පිටත තත්වය ඉතා සෝචනීය වේ. එමෙන්ම සංවිධායක මණ්ඩලයට දෙවන සැලැස්මක් නොමැතිවීම මෙය මේසේ වීමට බලපෑ ඇත. කේසේ නමුත් අදින් පසු සිරි දළදා වන්දනාව කේසේ සිදුවේදැයි කිසිවෙකුට අනුමාන කල නොහැක.
ඉදිරි දිනයන්හි ඔබ කවුරුහෝ දළදා වන්දනාවේ පැමිණීමට අපේක්ෂාවෙන් සිටී නම්, ඒ පිළිබඳව දෙවරක් නොව තෙවරක් සිතා බැලිය යුතුය. නැතහොත් ඔබට අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුවිය හැකිය.
පෝලිම් තුල අතින් පයින්, කුඩ, ගමන් මලු වලිම් ගුටිබැට් හුවමාරු කර ගන්නා තත්වයට අද පැමිණ ඇත.
වැසිකිළි-කැසිකිළි තමන් සිටින ස්ථන වලදීම කිරීමට හෝ බැග් වලට සිදුකර අවට හෝ වැවට විසිකීරීමට තරම් පත්වී ඇත. පෝලිමේ යනවිට පය පැටලී වැටුනහොත් පාගාගෙන යමට හා පෝලිම් වල නිදා සිටින අය පාගාගෙන ඉදිරියට යාමට තරම් කෘර වී ඇත.
රාජකාරියේ යෙදී සිටින පොලිස් ඇතුලු ආරක්ෂක අංශ නිලධාරීන්ට කුනුහර්ප වලින් බැන තර්ජනය කිරීමට මෙන්ම සේවය සපයන සෞඛ්‍ය නිලධාරීන්ට, ප්‍රථමාධාර නිලධාරීන්ට පවා බැන වැදීමට තරම් පත්වී ඇත.
පෝලිම් තල්ලු කිරීම නිසා තෙරපීමෙන් බොහෝ දෙනෙක් රෝගී වීම නිසා සෞඛ්‍ය සේවාවන්ගේ ධාරිතාවට ඉක්මවා යමින් ඇත. හදිසි රෝගීන් රෝහල් ගත කිරීමට ගිලන් රථ වලට ගමන් කිරීමට පවා මාර්ග අවහිර වී ඇත.
විශාලා මහනුවරක් වෙමින් පවතින ඓතිහාසික සෙංකඩගල පුර දළදා මැදුරේ සිට බොහෝ දේ සඳහන් කිරීමට ඇතත් මේ අවස්ථාව නොවේ. අන්ධ භක්තිකයන් මෙසේ හැසිරෙමින් උතුම් දළදා වහන්සේ වන්දනා කිරීමෙන් ඇති ඵලය කුමක්දැයි ඔවුන්ගෙන්ම විමසිය යුතුය.
මෙසේ අන්ධ ශ්‍රද්ධාවන්තයින් විසින් අපවිත්‍ර කරමින් පවතින සුන්දර නගරය මහනුවර, යලි යතාතත්වයට පත්වීමට මාස ගනනාවක් ගතවනු ඇත.
ඉතා කැමැත්තෙන් මෙම උතුම් කරතව්යයෙහි සේවයට පැමිණියද, දැන් ඇත්තේ කළකිරීමක් පමණි.
@ තිලිණි විදූෂි හංසිකා
අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවා
සිරි දළදා වන්දනාව 2025
2025/04/23