SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්මාර්ට්ෆෝන් සහ පරිගණක ට්‍රම්ප්ගේ නව තීරු බදුවලින් නිදහස්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ස්මාර්ට්ෆෝන්, පරිගණක සහ තවත් සමහර ඉලෙක්ට්‍රොනික උපාංග සහ චීන ආනයන සඳහා පැනවූ 125%ක බදු ද ඇතුළුව "අන්‍යෝන්‍ය" තීරු බදුවලින් නිදහස් කරනු ලැබ තිබේ.

 

 

එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂක ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, බොහෝ රටවල්වලින් ආනයනය කෙරෙන මෙම භාණ්ඩ ට්‍රම්ප්ගේ 10%ක ගෝලීය තීරු බද්දෙන් සහ ඊට වඩා විශාල අගයක් වන චීන ආනයන බද්දෙන් බැහැර කෙරෙන බව ය.

 

 

ට්‍රම්ප් චීනයට පැනවූ තීරු බදු සඳහා ලබා දුන් පළමු සහනය ලෙස මෙය සැලකෙන අතර එක් වෙළෙඳ විශ්ලේෂකයෙකු විස්තර කළේ, එය "හැරවුම් ලක්ෂයක්" ලෙස ය.

 

සෙනසුරාදා (අප්‍රේල් 12) අගභාගයේදී, මයෑමි වෙත යන අතරතුර, ට්‍රම්ප් පැවසුවේ ලබන සතිය ආරම්භයේදී බදු සහන පිළිබඳ වැඩි විස්තර ලබා දෙන බව ය.

 

"අපි නිශ්චිතව ම කියන්නම්," ඔහු එයාර් ෆෝස් වන් ගුවන් යානයේ සිටි වාර්තාකරුවන්ට පැවසීය. "නමුත් ඒකෙන් අපි ගොඩක් ඉතුරු කර ගන්නවා. රටක් විදිහට අපි රට ඇතුළේ ගොඩක් ඉතුරු කර ගන්නවා.

 

ඉලෙක්ට්‍රොනික උපාංග බොහොමයක් චීනයේ නිෂ්පාදනය කෙරෙන බැවින් ඒවායේ මිල ඉහළ යා හැකි බවට ඇමෙරිකානු තාක්ෂණික සමාගම් විසින් මතු කරන ලද කනස්සල්ලෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.

 

අප්‍රේල් 5 දක්වා සිට ක්‍රියාත්මක මෙම නිදහස් කිරීම්වලට අර්ධ සන්නායක, සූර්ය කෝෂ සහ මෙමරි කාඩ්පත් ඇතුළු අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග සහ සංරචක ද ඇතුළත් වේ.

 

"තාක්ෂණික ආයෝජකයින් සඳහා මේක හොඳ අවස්ථාවක්" Wedbush Securitiesහි තාක්ෂණ පර්යේෂණ පිළිබඳ ගෝලීය ප්‍රධානියා වන ඩෑන් අයිව්ස් Xහි සඳහන් කළේ ය. "චීන තීරු බදු සම්බන්ධයෙන් ගත්තා ම ස්මාර්ට්ෆෝන්, චිප් බැහැර නිදහස් කිරීම හැරවුම් ලක්ෂයක්."

 

Apple, Nvidia, Microsoft වැනි විශාල තාක්ෂණික සමාගම් සහ සමස්ත තාක්ෂණික කර්මාන්තයට ම මෙම සති අන්තයේ විශාල සැනසිලි සුසුමක් හෙළීමට හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

නිෂ්පාදන කටයුතු එක්සත් ජනපදයට ගෙන යාමට සමාගම්වලට වැඩි කාලයක් ලබා දීම සහතික කිරීම සඳහා මෙම නිදහස් කිරීම් සිදු කර ඇති බව ධවල මන්දිරය පෙන්වා දුන්නේ ය.

 

 

"අර්ධ සන්නායක, චිප්, ස්මාර්ට්ෆෝන් සහ ලැප්ටොප් වැනි තීරණාත්මක තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා ඇමෙරිකාවට චීනය මත විශ්වාසය තැබිය නොහැකි බව ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කර තිබේ,"

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවී නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

 

 

"ජනාධිපතිවරයාගේ මග පෙන්වීම මත, මෙම සමාගම් හැකි ඉක්මනින් එක්සත් ජනපදයේ ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට යුහුසුළුව කටයුතු කරමින් සිටී."

 

ෆ්ලොරිඩාවේ තම නිවසේ සති අන්තය ගත කරන ට්‍රම්ප් සිකුරාදා (අප්‍රේල් 11) වාර්තාකරුවන්ට පැවසුවේ, චීනයට පැනවූ ඉහළ තීරුබදු පිළිබඳව තමාට ගැටලුවක් නොමැති බව ය.

 

"ඒ වගේ ම මම හිතන්නේ එයින් ධනාත්මක දෙයක් එළියට එයි කියලා," ඔහු චීන ජනාධිපති ෂී ජින්පිං සමග ඇති ඔහුගේ සම්බන්ධතාව ගැන කතා කරමින් පැවසීය.

 

චීනය සම්බන්ධ ෆෙන්ටනිල් ගැටලුව නිසා මෙම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ තවමත් 20%ක තීරු බද්දකට යටත් වන බව ධවල මන්දිරයේ ප්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ස්ටීවන් මිලර් Xහි පළ කළේ ය.

 

iPhone ගැන දැඩි අවධානයක්

 

ලොව ජනප්‍රිය ම තාක්ෂණික උපකරණ එනම්, ජංගම දුරකතන, ලැප්ටොප්, ටැබ්ලට් සහ ස්මාර්ට් ඔරලෝසුවල මිල මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය තුළ බොහෝ සෙයින් ඉහළ යාමට ඉඩ තිබිණි.

 

ඒ, ඒවායින් බොහොමයක් නිෂ්පාදනය කෙරෙන චීනය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතභේදාත්මක වෙළෙඳ ප්‍රතිපත්තිය යටතේ එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා පනවන ලද 145%ක තීරු බද්දකට මුහුණ දී සිටීම හේතුවෙනි.

 

මෙය iPhone සහ එහි නිෂ්පාදකයා වන Apple සමාගම කෙරෙහි ඇති කළ හැකි බලපෑම සම්බන්ධයෙන් ද අවධානයට ලක්ව තිබිණි.

 

ඇතැම් විශ්ලේෂකයින් පැවසුවේ, පිරිවැය පාරිභෝගිකයින් මත පැටවුවහොත්, එක්සත් ජනපදයේ iPhone මිල ඩොලර් සිය ගණනකින් ඉහළ යාමට ඉඩ තිබුණු බව ය.

 

තීරු බදු ඩොලරයේ වටිනාකමට බලපාන්නේ නම්, ලොව පුරා රටවල්වලට iPhone සහ අනෙකුත් උපාංග ආනයනය කිරීමේදී අධික මිලක් ගෙවීමට සිදුවනු වීමට ඉඩ තිබිණි.

 

CCS Insightහි බෙන් වුඩ් බීබීසීයට පැවසුවේ, තීරුබදු එලෙස ම පැවතියේ නම්, ඇපල් සමාගම සිය ඊළඟ මාදිලිය හඳුන්වා දෙන විට ගෝලීය වශයෙන් iPhone මිල ඉහළ දැමීමට තිබුණු බව ය.

 

"සමාගම ගෝලීය වශයෙන් වෙනස් මිල ගණන් යටතේ අලෙවි කරන්න කැමති වේවි කියලා හිතන්න බැහැ," ඔහු පැවසීය. එක්සත් රාජධානියේදී ලාභදායී ලෙස දුරකතන මිල දී ගෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාභ ලැබීමේ අරමුණින් විකිණීම වැළැක්වීමට මෙම තාක්ෂණික දැවැන්තයාට අවශ්‍ය වනු ඇත.

 

 

iPhones නිපදවන්නේ කොහේ ද?

 

ඇමෙරිකා එක්සත් ජනපදය iPhone සඳහා ප්‍රධාන වෙළෙඳපොළක් වන අතර පසුගිය වසරේ එහි ස්මාර්ට්ෆෝන් අලෙවියෙන් අඩකට වඩා ඇපල් සමාගම විසින් සිදු කරන ලද බව කවුන්ටර්පොයින්ට් පර්යේෂණ ආයතනය පවසයි.

 

එම ආයතනය පවසන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ විකිණීමට ඇති ඇපල් අයිෆෝන්වලින් 80%ක් පමණ චීනයේ නිෂ්පාදිත බව ත් ඉතිරි 20% ඉන්දියාවේ නිෂ්පාදිත බව ත් ය.

 

Samsung වැනි සෙසු ස්මාර්ට්ෆෝන් දැවැන්තයින් සමග එක්ව, ඇපල් සමාගම මෑත වසරවලදී චීනය මත අධික ලෙස යැපීම වළක්වා ගැනීම සඳහා එහි සැපයුම් දාම විවිධාංගීකරණය කිරීමට උත්සහ කරමින් සිටී.

 

ඉන්දියාව සහ වියට්නාමය අතිරේක නිෂ්පාදන මධ්‍යස්ථාන සඳහා ප්‍රමුඛයන් ලෙස මතු විය.

 

තීරු බදු ක්‍රියාත්මක වීමත් සමග, ඇපල් සමාගම මෑත දිනවල ඉන්දියාවේ අඩු කාලයකින් වැඩි උපාංග ගණනක් නිපදවීමට උත්සහ කළ බවට වාර්තා විය.

 

බ්‍රහස්පතින්දා රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, ඇපල් සමාගම ඉන්දියාවේ සිට එක්සත් ජනපදයට ටොන් 600කට වඩා අයිෆෝන් යැවීම සඳහා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා භාවිත කර තිබෙන බව ය.

 

ඇපල් සමාගම තීරු බදුවලට කෙතරම් නිරාවරණය වී ඇත් ද?

 

ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයින් පවසා ඇත්තේ, සිය තීරු බදුවල අරමුණ වැඩි වැඩියෙන් ඇමෙරිකානු නිෂ්පාදන දිරිමත් කිරීම බව ය.

 

කෙසේ වෙතත්, තාක්ෂණික කර්මාන්තය නිෂ්පාදන කොටස් සහ ඒවා එකලස් කිරීම සඳහා ගෝලීය සැපයුම් ජාලයක් මත රඳා පවතී.

 

මෙය සහ ආසියාවේ වේගවත් සහ අඩු නිෂ්පාදන පිරිවැයට ගැලපෙන පුහුණු ශ්‍රමිකයින් සොයා ගැනීම යන්නෙන් අදහස් වන්නේ, සැපයුම් දාම නැවත ස්ථානගත කිරීම සරල කාර්යයක් නොවන බව ය.

 

පෙබරවාරි මාසයේදී ඇපල් සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 50ක (පවුම් බිලියන 385) ආයෝජනයක් සිදු කළේ ය. එමගින් දේශීය නිෂ්පාදනය වැඩි වනු ඇතැයි ට්‍රම්ප් පරිපාලනය විශ්වාස කරයි.

 

නමුත් Wedbush Securities හි විශ්ලේෂක ඩෑන් අයිව්ස් පැවසුවේ, ආසියාවේ ලාභදායී නිෂ්පාදන මධ්‍යස්ථානවල සිට එහි සැපයුම් දාමවල කොටස් එක්සත් ජනපදයට මාරු කිරීම සඳහා බොහෝ කාලයක් සහ මුදල් අවශ්‍ය වනු ඇති බව ය.

 

"යථාර්ථය නම්, අපගේ ඇස්තමේන්තුවට අනුව, එහි සැපයුම් දාමයෙන් 10%ක් පවා ආසියාවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙනයාමට වසර 3ක් සහ ඩොලර් බිලියන 30ක් පමණ යාවි. ඒ ක්‍රියාවලියට ඇති වෙන විශාල බාධා ත් එක්ක,"

යනුවෙන් ඔහු අප්‍රේල් 3 වන දින Xහි ලිවීය.

 

iPhone මිල?

 

ඇතැම් විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ, ඇපල් සමාගම අනෙක් සමාගම්වලට වඩා වාසනාවන්ත ස්ථානයක සිටින බව ය. මන්ද ඔවුන් තම නිෂ්පාදන නිෂ්පාදනය සඳහා වියදම් කළ මුදලට වඩා වැඩි මුදලක් උපයා ඇති බැවිනි.

 

"තම උපාංගවලින් ඉහළ ලාභයක් ලබන සමාගමක් විදිහට ඇපල් සමාගමට සැලකිය යුතු මූල්‍ය බලපෑමකින් තොරව, අවම වශයෙන් කෙටි කාලීනව, තීරු බදු මගින් ඇතිවන පිරිවැය වැඩිවීම් කිහිපයක් දරා ගන්න පුළුවන්," ෆොරෙස්ටර්හි ප්‍රධාන විශ්ලේෂක දීපන්ජන් චැටර්ජි පවසයි.

 

නමුත් තීරු බදු ක්‍රියාත්මක වූයේ නම්, සමාගමේ ශක්තිමත් වෙළෙඳ නාමකරණය සහ ජනප්‍රියතාව නිසා වැඩි ප්‍රතිරෝධයකින් තොරව පාරිභෝගිකයින්ට යම් පිරිවැයක් පැවරීමට හැකි වීමට ඉඩ තිබුණු බව ඔහු සඳහන් කරයි.

 

"මෙම සන්නාමයට ඔවුන්ගේ තරගකාරී සමාගම්වලට වඩා හොඳ පක්ෂපාතී පාරිභෝගිකයින් පිරිසක් ඉන්නවා. ඒකත් එක්ක කළමනාකරණය කර ගන්න පුළුවන් මිල වැඩිවීමක් මෙම ගනුදෙනුකරුවන් Android-පාදක තරගකරුවන් වෙතට යන්න ඉඩක් නැහැ."

 

ඇතැම් ඇස්තමේන්තුවලට අනුව පිරිවැය පාරිභෝගිකයින්ට පැවරුවේ නම්, එක්සත් ජනපදයේ iPhone මිල තුන් ගුණයකින් පමණ ඉහළ යාමට ඉඩ තිබිණි.

 

ආයෝජන බැංකු සමාගමක් වන UBSහි ඇස්තමේන්තුවලට අනුව, ට්‍රම්ප් චීනය සඳහා වන තීරු බදු 125%ක් දක්වා වැඩි කිරීමෙන් පසුව, 256GB ස්ටෝරේජ් එකක් සහිත චීනයේ නිෂ්පාදිත iPhone 16 Pro Max එකක මිල ඇමෙරිකානු ඩොලර් 1,199 සිට ඩොලර් 1,999 දක්වා ඉහළ යාමට ඉඩ තිබිණි.

 

ඉන්දියාවේ නිෂ්පාදිත iPhone 16 Pro 128GB - ඩොලර් 999 සිට ඩොලර් 1046 දක්වා සියයට පහක් වැනි තරමක් අඩු ගණනකින් මිල ඉහළ යාමට ඉඩ තිබුණු බව ද ඔවුහු ඇස්තමේන්තු කරති.

 

ඩෑන් අයිව්ස් වැනි ඇතැම් විශ්ලේෂකයින් යෝජනා කර ඇත්තේ, "ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත" iPhone එකක මිල ඩොලර් 3,500 දක්වා ඉහළ යා හැකි බව ය.

 

 

පාරිභෝගිකයින්ට ඒ ගැන කුමක් කළ හැකි ද?

 

තීරු බදු පිළිබඳ නව නිවේදනය පැමිණීමට පෙර සමහර එක්සත් ජනපද ගනුදෙනුකරුවන් ඇපල් ස්මාර්ට්ෆෝන් මිල දී ගැනීම සඳහා වෙළෙඳසල් වෙත ඇදී ගිය ආකාරය නිරීක්ෂණය විය.

 

මිල ඉහළ යාමේ බියෙන් නිෂ්පාදන මිල දී ගත් නිව්යෝර්ක්හි ඇපල් වෙළෙඳසලක් ඉදිරිපිට සිටි ගැනුම්කරුවන් සමග බීබීසී කතා කළේ ය.

 

53 හැවිරිදි DJ ශිල්පියෙකු සහ ආරක්ෂක කාර්මිකයෙකු වන ඇන්තනි කැසියෝපෝ නව iPhone එක මිල දී ගත්තේ ය.

 

"මට ඇත්තට ම phone එකක් අවශ්‍ය වුණේ නැහැ... නමුත් මම දෙගුණයක් ගෙවන්න සූදානම් නැහැ," ඔහු පැවසීය.

 

කොණ්ඩා මෝස්තර ශිල්පියෙකු වන බෲස් කොන්රෝයි බීබීසී වෙත පැවසුවේ මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගිය ද ඔහු "ඇපල් නිෂ්පාදන සමග රැඳී සිටිනු ඇති" බව ය. නමුත් ඔහු නව අයිපෑඩ් එකක් මිල දී ගැනීම ප්‍රමාද කළේ ය.

 

"මම ඒක ගත්තේ තීරු බදු එන නිසා, මිල ඉහළ යන්න කලින් මට ගන්න අවශ්‍ය වුණු නිසා, මිල ඉහළ යාවි කියලා මම අපේක්ෂා කරනවා," තම නව MacBook පරිගණකය සම්බන්ධයෙන් අදහස දක්වමින් මූල්‍ය සංස්කාරිනියක වන ජූලියා බෝමන් පැවසුවා ය.

 

කෙසේ වෙතත්, මීළඟ iPhone එකෙහි මිල කොපමණ වේ ද යන්න දැන ගැනීමට අපට සරත් සමය තෙක් බලා සිටීමට සිදුවනු ඇත.

 

නමුත් තීරුබදු ඉහළ මිල ගණන්වලට හේතු වන බව පෙනේ නම්, ඇතමෙකු තරගකාරී වෙනත් සමාගම්වල ජංගම දුරකතන හෝ භාවිත කළ උපාංග කෙරෙහි අවධානය යොමු කළ හැකි ය.

 

2025දී එක්සත් රාජධානියේ භාවිත කළ ස්මාර්ට්ෆෝන් මිලියන 5.5ක් අලෙවි වනු ඇතැයි CCS Insight ඇස්තමේන්තු කර ඇති අතර එය මුළු වෙළෙඳපොළෙන් 29.7%ක් නියෝජනය කරයි.

 

වෙළෙඳපොලේ ඇති මිල අධික ම ස්මාර්ට්ෆෝන්වලින් එකක් ලෙස iPhone පවතී. Google සහ Samsung වැනි සමාගම් අඩු මිලකට ඒ හා සමාන විශේෂාංග සහිත දුරකතන පිරිනමයි.

 

අනෙක් විකල්පය, සහ ඇතැම් විට වඩා ත් ම ලාභදායී විකල්පය, නව iPhone මාදිලි මිලට ගැනීම මග හැර තරමක් පැරණි, ලාභදායී මාදිලි වෙත යොමුවීම විය හැකි ය.

 

"පහසු ම දේ තමයි තමන්ගේ ළඟ තියෙන ස්මාර්ට් ජංගම දුරකතනය වැඩි කාලයක් පාවිච්චි කරන එක," වුඩ් පැවසීය.

 

 

@BBC

නවතම ලිපි