SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ‘’නුවර වැව’’ කියූ සැණින් එක්වරම මතකයට නැංවෙන වැව් දෙකක් පවතී.

ඉන් එකක් නම් මහනුවර දළදා මාලිගාව අබියස පිහිටා ඇති ‘’කිරි මුහුද වැවයි.’’ අනික නම් දැවැන්තම වැවක් වන ‘’අනුරාධපුර නුවර වැවයි.’’ මෙය රජ සමයේ ‘’නුවර වාපිය’’ ලෙස හැඳින්වූ බව ගජබා රජ සමයේ කරවන ලද සෙල් ලිපියකින් හෙළි වී ඇත.

 

 

මෙසේ අනුරාධපුර නුවර වැව ගැන රටේම අවධානයට ලක් වූයේ අනුරාධපුර  දිස්ත්‍රික් සංවර්ධන  කමිටුවේදී වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත සිල්වා මහතා අතර ඇතිවූ මත ගැටුම නිසාය.

 

මෙහිදී අමාත්‍ය වසන්ත සමරසිංහ විමසුවේ

“වසර 15ක පමණ කාලයක් තිස්සේ සංචාරක ආකර්ෂණය පවතින නුවර වැවේ වැව් බැම්ම මත වාහන ගමනාගමනය අවහිර වන සේ වහලා තියෙන නිසා සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ලවී තියෙනවා. එනිසා වැව් බැම්ම වසා තැබීමට නිශ්චිත තාක්ෂණික හේතුවක් නොමැති නම් වාහන ගමනාගමනයට වැව් බැම්ම විවෘත කරන්න ඕන. මේ සම්බන්ධයෙන් වාරිමාර්ග ඉන්ජිනේරුතුමා ඇත්ත කියන්න, තත්ත්වය මොකක්ද කියලා.

 

මෙයට අනුරාධපුර කලාප භාර වාරිමාර්ග ඉන්ජිනේරු ජයන්ත සිල්වා මහතා පැවැසුවේ මෙසේය.

“මේ සම්බන්ධයෙන් මම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට කරුණු ඉදිරිපත් කළා. එතුමා 25 වැනිදා පැමිණියා. පසුව ලිපියක් නිකුත් කළා වාහනවලට වැව් බැම්ම විවෘත කරන්න බැහැ කියලා. ඒත් සංචාරක කර්මාන්තයට බාධාවක් නොවන විදිහට ගේට්ටුවලින් පයින් සහ බයිසිකල්වලින් යන්න පුළුවන් කියලා”

 

එහෙත් මේ තීරණයට අමාත්‍ය වසන්ත සමරසිංහ එකඟ වූයේ නැත. ඔහු අවධාරණය කළේ පිළිසකර කිරීම් ඇත්නම් ඒ කළ යුතු බවත් එය වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරයක් බවත් මාර්ගය විවෘත කරනවාද නැද්ද යන්න තීරණය කිරීම දේශපාලන අධිකාරියට අයත් කටයුත්තක් බවත්ය.

 

එහෙත් මෙහිදී ජයන්ත සිල්වා මහතා දිගටම අවධාරණය කළේ ඔහුට මේ සම්බන්ධයෙන් වගකීම බාරගත නොහැකි බවත්, කිසියම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් ඒ සඳහා දේශපාලන අධිකාරිය වගකීම බාරගත යුතු බවත්ය. කෙසේ වුවද නුවර වැව් බැම්ම විවෘත කිරීමේ ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ අනුරාධපුර හෝටල් හිමිකරුවන් විසින් බවද මෙහිදී කියැවිණි.

 

ඒ අනුව එදින අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අවසන් තීරණයකින් තොරව නිමාවට පත් විය. එහෙත් එසේ නිමාවට පත් වූයේ “සභා තොමෝ සතුටින් විසිර ගියහ” යන ආකාරයට නම් නොවෙයි. ගැටලු ගණනාවක් ඉදිරියේ තබාය.

 

 

අනුරාධපුර නුවර වැව කරවන ලද්දේ වළගම්බා මහ රජුන් විසින්ම බව ඉතිහාසයේ සඳහන්. ඒ අනුව මේ වන විට වැවේ ඉතිහාසය වසර දෙදහකටත් එහා දිවයයි. නුවර වැවේ වැව් බැම්ම සැතපුම් හතරක් පමණ වන අතර ජලය පිරෙන මට්ටමේදී අක්කර තුන්දාහක් වසා වැව පවතී. මෙහි ජල පරිමාව අක්කර අඩි 3500ක් වන අතර මෙමඟින් පෝෂණය වෙන කුඹුරු අක්කර ප්‍රමාණය 2500කි. ඒ අතුරතුර  අනුරාධපුර නගරයේ සම්පූර්ණ ජල අවශ්‍යතාව සපුරාලන්නේද නුවර වැවෙනි.

 

 

අපේ රටේ මහවැලිය මෙන්ම සීමිත වූ ජලාශ ප්‍රමාණයක් හැර මහ වැව් සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේ බලය ඇත්තේ මධ්‍යම වාරිමාර්ග දෙපාර්තමේන්තුවටය. ඒ අනුව ‘නුවර වැව’ සම්බන්ධයෙන් සම්පූර්ණ තීරණ ගැනීමේ අවසාන තාක්ෂණික තීරක බලය පවතින්නේ එකී ආයතනයටය. එවන් තත්ත්වයක් යටතේදී වසන්ත සමරසිංහ  ඇමැතිවරයා  “අපිද තීරණ ගන්නෙ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයාද යන්න” ප්‍රකාශ කිරීම ගැටලු සහගතය.

 

වැව් බැම්ම විවෘත කිරීමේ ප්‍රධාන ඉල්ලීම් කර ඇත්තේ සංචාරක හෝටල් හිමියන්ය. ඔවුන්ට එසේ ඉල්ලීම් කළ හැකිය. ඒ පිළිබඳ ගැටලුවක්ද නැත. වසන්ත ඇමැතිවරයාට එම ඉල්ලීම පිළිබඳව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මතයද විමසිය හැකිය. එහෙත් නිසි තාක්ෂණික තක්සේරුවකින් තොරව දේශපාලන බලය මත මෙසේ හැසිරීම වගකිවයුතු ඇමැතිවරයකුට තරම් නොවේ.

 

 

කරුණු කාරණා සොයා බැලීමේදී හෝටල් හිමියන් විසින් කරනු ලැබූ මෙම ඉල්ලීම වසන්ත සමරසිංහ ඇමැතිවරයා හරහා ඉදිරිපත් කළේ පළමු වතාවට නොවේ. ලද ආරංචි අනුව ඔවුන් ඉදිරිපත් කළ මතයක් නම් සංචාරකයන් අනුරාධපුර නගරයෙන් නැවතීම් කටයුතු සිදු නොකරන බවත් ඔවුන් විසින් පුරාවස්තු නැරඹීමෙන් පසු අනුරාධපුරින් බැහැරව අනිකුත් සංචාරක ස්ථාන කරා නවාතැන් ගැනීමට යොමු වන බවත්ය. මේ තත්ත්වයට විසඳුමක් හැටියට අනුරාධපුර නගරයේ හෝටල් තුළම සංචාරකයන් රඳවා ගැනීමට කටයුතු කරන බවත්ය.

 

 

ඒ සඳහා සංචාරක ආකර්ෂණයක් ලෙස නුවර වැවේ වැව් බැම්ම මතින් බස් රථ යැවීමට සැලසුම් කරන බවය. එහෙත් සංචාරකයන් බස් රථ මඟින් වැව් බැම්ම මතින් යැවීම තුළින් ලබා ගත හැකි සංචාරක ආකර්ෂණය කුමක්දැයි පැහැදිලි නැත.

 

 

වර්තමානයේ පවා ප්‍රාචීන තිස්ස විහාරය ඉදිරිපිට පෙදෙසින් පඩිපෙළ මඟින් ප්‍රවේශ වීමට ස්ථාන තුනක් සකස් කරදී සංචාරකයන්ට වැවේ සුන්දරත්වය විඳීමට අවශ්‍ය පහසුකම්  සපයා ඇත. එමෙන්ම වැව පහළින් පහසුකම් සපයා දී ස්ථාන කිහිපයකම බස් රථ නවතා මේ පඩිපේළි මගේ ප්‍රවේශ වීමට දී ඇති ස්ථාන මඟින් ගමන් කර කී ආකාරයට එහි ප්‍රවේශ වීමට ඉඩකඩ සලසා ඇත. වර්තමානයේද දිනපතා සංචාරක බස් රථ හතළිහක් පමණ මෙසේ නවතා තබනු දැකිය හැකිය. මෙයත් දේශීය පමණක් නොව විදේශීය සංචාරකයන්ට පවා විවෘතය. එවන් තත්ත්වයක් යටතේදී මෙසේ සංචාරකයන් වැව් බැම්ම මතින් බස් රථ කරා යැවීමට උත්සාහ කිරීමට හේතුව කුමක්ද?

 

අපේ රටට සංචාරකයන් එන්නේ නිවාඩු පාඩුවේ හොඳින් අපේ රටේ පුරාවිද්‍යාත්මක ස්ථාන පූජනීය ස්ථාන මෙන්ම සංස්කෘතික වටිනාකමක් ඇති පුරා විද්‍යාත්මක ස්ථානයන්වල ගැවසී ඔවුන්ගේ ඇඟට දැනෙන පරිදි වින්දනයක් ලබා ගැනීමටය. එහෙත් මෙයාකාරයට බස් රථ වැව් බැම්ම මතින් ධාවනය කිරීමේදී ඔවුන්ට වැව සමඟ තම තමන්ගේ ඇඟට දැනෙන හැඟීම් සමුදායක් විඳගැනීමට හැකියාවන් නොලැබෙන අතර සිදුවන්නේ ඔවුන් සාමාන්‍යයෙන් නරඹන්නන්ගේ තත්ත්වයට වැටීම පමණි.

 

 

කළ යුත්තේ සංචාරකයන්ට සංචාරක ක්‍රියාකාරකම් අවස්ථා ගණන වැඩි කිරීම මිස අඩු කිරීම නොවේ. එමඟින් සිදුවන්නේ ඔවුන් වියදම් කරන මුදල් ප්‍රමාණයද අඩුවීමය. අවසානයේදී රටට සංචාරකයන් හරහා ගලා එන විදේශ විනිමයද අඩු වේ. එවන් තත්ත්වයකදී සංචාරකයන් හෝටල්වල නවතින කාලසීමාවද අඩුවේ. මෙවන් ගැටලුකාරී තත්ත්වයකදී අනුරාධපුර හෝටල් හිමියන් නුවර වැවේ බැම්ම මතින් බස් රථ යැවීමෙන් බලාපොරොත්තු වන අවසන් ප්‍රතිඵලය සාධනීය නොවීමට බොහෝ දුරට ඉඩ ඇත.

 

ඇති වී තිබෙන මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අප හිටපු වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් භා  කමලදාස මහත්මියගෙන් විමසූ විට ඇය පැවැසුවේ මෙවැන්නකි.

 

“වැව් බැම්ම ප්‍රශස්ත මට්ටමින් නඩත්තු කරන්න එහි ව්‍යුහාත්මක තොරතුරු අවශ්‍යයි. ඒත් ශතවර්ෂ විස්සක් හෝ ඊට වැඩි කාලයක පැරැණි තාක්ෂණික තොරතුරු කිසිවක්ම නැහැ. වර්තමාන වාරි ඉන්ජිනේරුවන්ට සිදුවෙලා තියෙන්නේ ඔවුන්ගේ අත්දැකීම් අනුව සුදුසු තීරණ ගැනීමට පමණයි.’

කෙසේ වුවද අනුරාධපුර පෙර කී රැස්වීම පැවැති දින නුවර වැවේ ජල කාන්දු පිළිබඳවද සාකච්ඡාවට ලක්විය.

 

මේ සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල හා වාරි ඉන්ජිනේරුවකු වන සූරිය බණ්ඩාර මහතා පැවැසුවේ මෙසේය.

 

“1890 වර්ෂය තමයි ලොකු පුනරුත්ථාපන ක්‍රියාවලියක් නුවර වැවේ සිදුවෙලා තියෙන්නෙ. බැමි ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පහුගිය කාලේ ව්‍යාපෘතියක් තිබුණා. එම ව්‍යාපෘතිය යටතේ නුවර වැවේ අනාරක්ෂිත ස්ථාන කිහිපයක්ම අලුත්වැඩියා කරලත් තියෙනවා. එතැනදී පළමුවැනියෙන්ම අපි කරන්නේ වැව් බැම්ම ආරක්ෂා කර ගැනීම. ඊළඟ අවස්ථාවේදී තමයි අපි වැඩිදියුණු කිරීම මට්ටමට යන්නෙ. නමුත් විශාල වෙනස් කිරීම් කරලා නෑ නමුත් දැනට ආරක්ෂිතව තියෙනවා. නමුත් වැව් බැම්මට එකතුවන දෙදරුම් කෑම් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ මට්ටමින් ආරක්ෂිතව පවත්වාගෙන යන්නේ.

එහෙත් මේක අවධාරණය කරන්න ඕනෑ මොකද වාහනවලට විවෘත කරන්න බැරි වුණාට ජනතාවට විවෘත කරන්න පුළුවන්. ඒ නිසා ඊට අවශ්‍ය යටතල පහසුකම් වැඩිදියුණු කිරීමට දෙපාර්තමේන්තුවෙන් බාධාවක් නැහැ”

 

අනුරාධපුර නුවර වැවේ වැව් බැම්ම මතුපිටින් නිරීක්ෂණය කළද එහි පළල පවතින්නේ අඩි දහයක පමණ ප්‍රමාණයකි. වාහන යැවීමට කටයුතු කළහොත් අනිවාර්යයෙන් බැම්ම පුළුල් කිරීමට සිදුවේ. එසේ සැලකුවිට වාහන දෙකක් හුවමාරු වීමට නම්, අවම වශයෙන් තවත් අඩි දහයක් පමණ වැවි බැම්ම පුළුල් කිරීමට සිදුවෙයි. මෙවන් තත්ත්වයක් යටතේ වාරි ඉන්ජිනේරුවන් කියන ආකාරයට ශතවර්ෂ ගණනාවක සිට වර්තමානය දක්වාද වැව නඩත්තු කිරීමට නිවැරැදි තාක්ෂණික දැනුම් පද්ධතියක් නොමැති කළ කිසියම් ආකාරයකට වැව් බැම්ම පුපුරා ගියහොත් එහි වගකීම භාරගනු ලබන්නේ කවුද? මේ සඳහා දේශපාලකයන් ඉදිරිපත් වේ යැයි සිතිය නොහැකිය. අවසානයේ වගකීම් භාර ගැනීමට සිදුවන්නේ රාජ්‍ය නිලධාරීන්ටමය.

 

මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස 1986 අප්‍රේල් විසි වැනි දින සිදුවූ කන්තලේ වැව් බැම්ම බිඳී යෑම දැක්විය හැකිය. එහිදී ජීවිත 140ක් පමණ විනාශ විය. මෙහිදී පත්කළ කොමිසමෙන් ප්‍රකාශ වූයේ කන්තලේ වැව් බැම්ම මත ඉදිකළ ජල පොම්පාගාරය නිසා මෙකී විනාශය සිදුවූ බවය. එහෙත් එය ඉදිකරන ලද්දේ දෙන ලද තාක්ෂණික උපදෙස් පවා නොතකාය අවසානයේදී වැරැදිකරුවන් වූයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මිස දේශපාලකයන් නොවේ.

 

යම් හෙයකින් අනුරාධපුර නුවර වැවේ බැම්ම කඩා බිඳ වැටුණහොත් අනුරාධපුර නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම කිසිසේත්ම වැළැක්විය නොහැකිය. එවිට ඒ සඳහා වගඋත්තර බැඳීමට සිදුවනුයේ දේශපාලකයන්ට හෝ සංචාරක හෝටල් හිමියන්ට නොවේ වාරි දෙපාර්තමේන්තු නිලධාරීන්ටය. පෙර සඳහන් කළ කන්තලේ වැවේ බැම්ම කැඩීමෙන් සිදුවූ පසු විපරම් තත්ත්වය කදිම සාක්ෂියකි.

 

අනෙක් කාරණය හෙළ ඉතිහාසය සැලකූ විට වර්තමානය දක්වා වැවක බැම්ම ආරක්‍ෂාවට පමණක් පවතින ආවරණයක් නොවේ. එය පූජනීය වස්තුවකි. අදටද නුවර වැවේ වැව් බැම්ම මතද දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන විශේෂ පූජා උත්සව කලින් කලට පවතී.

 

නුවර වැව හා සම්බන්ධ සංවර්ධන කටයුතු කිරීමේදී වසන්ත සමරසිංහ ඇමැතිවරයාට කළ හැකි සුදුසුම දෙයක් අපි යෝජනා කරමු. 2017දී වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක් අනුව නුවර වැව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් තුන්දාහක් පමණ ඇති බව දැක්වේ. එමෙන්ම වැව් රක්ෂිතයට අයත් භූමිවල ඉදිකරන ලද අනවසර හෝටල්ද පවතින බවට බරපතළ චෝදනා පවතී. ඇමැතිවරයා මුලින්ම කළ යුත්තේ තමන්ට  නුවර වැව් බැම්ම මතින් රථ වාහන යැවීමට යෝජනා කරන හෝටල් හිමියන්ගේ හෝටල් වැව් රක්ෂිත තුළ ඉදිකර ඇත්නම් ඒ පිළිබඳව ඊට එරෙහිව නීත්‍යනුකූලව ක්‍රියාත්මක වීමය. ඒ පහුගිය කාලවකවානුවේම විවිධ දේශපාලකයන් අනුග්‍රහයෙන් නුවර වැව රක්ෂිතයේ හෝටල් ගණනාවක් ඉදිවූ බවටද බොහෝ චෝදනාව පවතින බැවිනි. පසුගිය කාලයේම පෙර පැවැති ආණ්ඩුවල විවිධ අයථා දේශපාලන සම්බන්ධකම් මෙන්ම වංචා දූෂණ පිළිබඳව තියුණු විවේචනයක් කළ වසන්ත සමරසිංහ ඇමැතිවරයාට ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට  අවස්ථාව මේ වන විට අනුරාධපුර ජනතාව ඉහළින්ම ලබාදී ඇත. එය එසේ වේ නම් සමස්ත ආණ්ඩුවටම සුබදායක බව අවසන් වශයෙන් සඳහන් කළ යුතුය.

 

@ ප්‍රසාද් ධනුෂ්ක ගුණසිංහ

නවතම ලිපි