ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ
එම ධුරයෙන් ඉල්ලා අස්වී දැන් දින කිහිපයකි.
එහෙත් ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීමේ හේතුව ඔහු හෝ වත්මන් ආණ්ඩුව, එසේ නැතිනම් අදාළ අමාත්‍යාංශය මෙතෙක් හෙළිකර නැත.
අමාත්‍ය බිමල් රත්නායක යටතේ පවතින අමාත්‍යාංශවලට අයත් ආයතනවල සභාපති ධුරයෙන් අස්වූ 3වෙනි පුද්ගලයා ලෙස දිලීප විතාරණ සඳහන් වන අතර මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති රුවන් විජයමුණි තම ධුරවලින් ඉල්ලා අස්ව තිබුණි.
රහස් යනුවෙන් දෙයක් සඟවා ගත නොහැකි සමාජ මාධ්‍ය අවකාශයක මෙවැනි සිදුවීම් රහස් ලෙස තවදුරටත් ගුප්ත අඳුරු අවකාශයක සැරිසරන්නේ කෙසේද? එය ආණ්ඩුකරණයක පවතින සංස්කෘතියක් නොව විප්ලවීය පක්ෂයක, ව්‍යාපාරයක ස්වභාවයක්ය.
ජාතික ජන බලවේගය යනු නව ලිබරල්වාදීන්ගේ තෝතැන්නක් ලෙස ප්‍රසිද්ධ වූවත් වත්මන් ආණ්ඩුකරණයේ අදෘශ්‍යමාන හස්තය ජනතා විමුක්ති පෙරමුණ බව නොරහසකි.
එය ඊනියා නව ලිබරල්වාදයක් වෙනුවෙන් පෙරුම්පුරන ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ට ඉදිරියේ දී මරු පහරක් වනු ඇත.
කෙසේ වුවද මේ පිළිබඳව බටහිර ඉවුරේ දර්ශනය විසින් සමාජ මාධ්‍ය අවකාශයේ සටහන් කර තිබුණේ මෙවැන්නකි.
තනතුරු දැරීම, තනතුරු ප්‍රතික්ෂේප කිරීම සහ තනතුරු අත්හැරීම
අපේ රටේ අප අත්දැක තිබෙන දේශපාලන සංස්කෘතියට අනුව රජයේ තනතුරු යනු සිය හිතවතුන් අතර බෙදා දෙන ලොතරැයියකි. අප අත්දකිමින් සිටිනා දේශපාලන පරිවර්තනයේ නවීනත්වය පෙන්වන සාධකයක් වන්නේ දැන් මේ තනතුරු පොරය අවසන් වීමයි. ඒ වෙනුවට දැන් තිබෙන්නේ තනතුරු බාර ගැනීම අකමැත්තෙන් කරන දේශපාලන සංස්කෘතියකි. සිය අභිමතය පරිදි වැඩ කිරීමට නොහැකි වන නිසා තනතුරු අත්හැර යාම ද අපට අලුත් අත්දැකීමකි. මෙයට පෙර අප දැක තිබෙන්නේ ඇමතිවරයා එන විට පුටුවෙන් නැගිට කොන්ද නමන තනතුරු ලාභීන් සිටින ක්‍රමයකි.
මේ තනතුරු දැරීමේ සැබෑ ප්‍රතිඵලය මේ ආණ්ඩුවට සහය දුන් බොහෝ දෙනෙක් හොඳින් දනියි. අවසානයේ දී මේ බොහෝ දෙනෙකුට ඉතිරි වනු ඇත්තේ 'තරුණ විශ්‍රාමිකයකුගේ' දෛවයයි. කිසිදා 'විශ්‍රාම' නොයන ලේඛකයන්, සංගීතකරුවන්, සිනමාකරුවන් වැනි අය මේ ආණ්ඩුවේ තනතුරු දැරීම වීර ක්‍රියාවක් වන්නේ මේ නිසාය. මේ අය කැප කරන්නේ සිය අනාගතයයි. මේ බොහෝ දෙනෙක් එය හොඳින් දනියි. මේ තනතුරු බාර ගැනීමට සමහරුන් මැලි වන්නේ මේ නිසාය.
නමුත් මෙවැනි වගකීම් දැරීමකින් තොරව මේ රට අලුතෙන් සකස් කිරීම වැනි දෙයක් කළ නොහැකි බවත් පැහැදිළි වේ. ඒ වෙනුවෙන් මේ තනතුරු ගත් අය සම්බන්ධයෙන් අපට තිබෙන්නේ ඉමහත් ගෞරවයකි.. මේ අය මාටින් ස්කොසේසී ගේ "The Last Temptation of Christ" චිත්‍රපටියේ ජුදාස් වැනි මිනිසුන් ය. එම චිත්‍රපටිය ගැන ජිජැක් ගේ ප්‍රකට අර්ථකථනයට අනුව එහි වැදගත් මානයක් වන්නේ ජුදාස් ගේ වීරත්වය තහවුරු කිරීමයි. මනුෂ්‍ය වර්ගයා ගලවා ගැනීමටනම් ක්‍රිස්තුස්වහන්සේ පාවා දීම අනිවාර්යයෙන් කළ යුතු වේ. එම නිසා එම පාවා දෙන්නා සදාකාලික නිරයට ද නියම වේ. එම අර්ථයෙන් අලුත් ගිවුසුමේ සැබෑ ආචාරධාර්මික වීරයා වන්නේ ජුදාස් මිස ක්‍රිස්තුස් වහන්සේ නොවේ. දෙවියන්ගේ කුරිරු සැලසුමට අනුව තමන් සදාකාලික නිරයට නියම වන බව දැන දැන ජුදාස් එහිදී පාවාදීම කරයි. එම අර්ථයෙන් ඔහු කරන්නේ ඇදහිය නොහැකි කැප කිරීමකි.
මේ ආණ්ඩුවේ සිටිනා ජුදාස්ලා ට අප ගරු කරන්නේ ද මේ නිසාය. නමුත් මෙවැනි තීරණයකට එකඟ විය නොහැකි වූ කිසිවෙක් අප විනිශ්චය කරන්නේ ද නැත. මෙය අපහසු තීරණයක් බව අපි දනිමු. බොහෝ මිනිසුන් ආදරය කරන අපේ රටේ වීරයන් ලෙස ඉතිහාසගත වීමේ හැකියාවක් තිබූ මිනිසුන් මේ නිසා 'ඉක්මනින් විශ්‍රාම ගත්' පිරිසක් ලෙස ඉතිහාසයට එකතු වීමට හැකිය. එය බාර ගැනීම වීරත්වයේ තීරණයකි.
(උපුටාගැනීම-බටහිර ඉවුරේ දර්ශනය)