SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමහර සිද්ධි සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු අවශ්‍ය වෙලාවට නොලැබෙන බවත්,  

බුද්ධි තොරතුරු නොමැතිව සමහර මෙහෙයුම කළ නොහැකි බවත්, එය අඳුරේ අතපත ගානවා වැනි වැඩක් බවත් ජාතික ජන බලවේග ආණ්ඩුවේ මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසයි.

මව්බිම පුවත්පතේ අනුරාධා හේරත් සමග පැවති සාකච්ඡාවකදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ බුද්ධි තොරතුරු නෙැමැතිව තවදුරටත් ලෝකයේ ක්‍රියාන්විත මෙහෙයුම් කිරීමට හැකියාවක් නැති බවත් වත්මන් රජයේ උත්සාහය  සියල්ල විධිමත් කර එය  යථා තත්ත්වයට පත් කිරීම බවය.

 

මම මේ ඉන්ටර්වීව් එක කරන අද දිනය මාර්තු 26. මම ඔබත් සමඟ පහුගිය ජනවාරි 26ත් මේ විදිහටම සාකච්ඡාවක් කළා. මතකද?

ඔව්,මතකයි.

 

එදා ඔබ කිව්වා මේ පාතාල ක්‍රියාකාරකම් මැඬලන්න සති දෙකක් දෙන්න කියලා. සති දෙකක් නෙවෙයි, හරියටම  මාස දෙකක්ම ගෙවිලා. පොලිස් ඇමැති  විහිළු කරනවද රටට?

මම කිව්වද සති දෙකෙන් පාතාලය මැඬලනවා කියලා.

 

ඔබ කිව්වා මේක සමනය කරන්න සති දෙකක් දෙන්න කියලා? හැබැයි රටේ තැන් තැන්වල ඝාතන කීයක් වුණාද මේ මාස දෙකට, පොලිස් ඇමැති විදිහට ඔබ වගකිවයුතුයි නේද?

මේකට වගකියන්න ඕනේ පොලිස්  ඇමැති නෙමෙයි. රට පහුගිය දශක දෙක තුන පාලනය කරපු මිනිස්සු. මේ පොලිස් සේවාව මේ තත්ත්වෙට ගෙනාපු අය තමයි වගකියන්න ඕනේ. අපිට ඇඟිල්ල දික් කරන්න බැහැ.

 

කලින් ආණ්ඩුවලට අර මුව හමට තඩිබානවා වගේ දොස්ම කියලා වැඩක් නෑනෙ?

අපි දොස් කිය කිය ඉන්නෙ නෑ.  අපි බලයට පත්වූ  දා ඉඳලා මේ ගැන හොඳ අධ්‍යයනයකින් සහ මේ ගැන ගතයුතු ක්‍රියාමාර්ග තෝරමින් ඉන්නේ. විපක්ෂයේ අය කරන එක එක ප්‍රකාශවලින් අපි ගන්න  ක්‍රියාමාර්ග මනින්න එපා. ඒ  විදිහට මේවා විසඳන්න අපි අදහස් කරන්නේ නෑ.

ඒ විදිහ  කිව්වෙ?

කාලයක් තිස්සේ ආයුධ පෙන්නන්න අරන් ගිහින් පහුගිය ආණ්ඩු මොකක්ද කළේ. ඒක  තමයි ඒ විදිහ කියන්නේ. කාලයක් තිස්සේ ආයුධ පෙන්නන්න අරන් ගිහින් තමයි ආණ්ඩු  මේ ප්‍රශ්න විසඳුවේ.

 

අන්න ඔබ පොයින්ට් එකටම ආවා, හැබැයි ඉතින් අර කොටහේන තරුණයෙක් ඝාතනය කරපු එකට ආයුධ පෙන්නන්න ගිහිල්ලත් ආණ්ඩුව කළේම ඔබ ඔය කියපු පරණ ආණ්ඩුවල ආයුධ පෙන්වීමේ සිස්ටම් එකම තමයි?

ඒකට ආණ්ඩුවේ සම්බන්ධයක් නැහැනේ.

 

නමුත් පොලිසිය කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ කොටසක්නේ?

මෙහෙමයි ඔය කොටහේන සිද්ධිය ගත්තොත් ඒ පිළිබඳව තවම විමර්ශනය සිදුකරනවා. අවසන් නිගමනයක් තවම නැහැ. අපි කියලා තියෙනවා ඒක විමර්ශනය කරලා පොලිස්පති විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න කියලා. ඔවුන් කියන කාරණය පිළිබඳව පොලිස් නිලධාරීන්ගේ ආත්මාරක්ෂාවට ගත්ත තීන්දුවක්ද කියන එක ගැන සලකා බලනවා.

 

යම් හෙයකින් ඔය සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට වරදක් ආවොත් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවද?

ඔව්, ඔවුන්ට චෝදනාවක් ආවොත් එහෙම ක්‍රියාමාර්ග ගන්නවා. පාතාලය එහෙ මෙහෙ වෙඩි තියාගන්නවා අපි නිහඬව ඉන්නවා නෙවෙයිනේ. මෙතැන ඇත්තම කාරණය ගත්තොත් මේ වසර ගාණක් තිස්සේ ඔඩුදුවන ප්‍රශ්නයක් එක රැයින්, එක මාසෙන් ඔබ හිතනවද මර්දනය කරගන්න පුළුවන් කියලා? මේක  ක්‍රමක්‍රමයෙන් කළ යුතු වැඩක්. මොකද දීර්ඝකාලීනව හැදුණු වැඩුණු පාතාලයක් මේ රටේ තිබෙන්නේ. පහුගිය දේශපාලනඥයන් පිරිසක් විසින් මෙහෙයවපු පාතාල කල්ලි මේ. ඉතින් ඒ පාතාල කල්ලි නඩත්තු කිරීමෙන් ඒ ඒ දේශපාලනඥයන් 100%ක් ඉන් ඉවත් වෙලාද කියලා  සහතිකයක් නැහැ.

 

ඔය කියන විදිහට ඔබට භාරව තිබෙන පොලිසියේ සැලකිය යුතු නිලධාරීන් පිරිසකුත් තවම පාතාලෙට රැකවරණය දෙනවා. එහෙමද?

ඔව්. එදා දේශපාලනය කරපු පොලිසියේ පිරිසකුත් මේ පාතාලය එක්ක සම්බන්ධතා තිබ්බෙ නැහැ කියන්න බෑ. ඒ විදිහෙ සම්බන්ධතා  හැමදාම එළිවෙනවා. සිද්ධිය පිටිපස්සේ ඉඳලා සිද්ධිය විමර්ශනය කරගන්න පොලිසිය දක්ෂයි. ඒ විමර්ශන කරන තොරතුරු අපි එකතු කරගෙන පොලිසියට අදාළ ඒ කණ්ඩායමත් අපි අත්අඩංගුවට ගනිමින් සිටිනවා.

 

ඔබ කියන විදිහට පොලිස් නිලධාරීන් පවා මත්ද්‍රව්‍යවලට  ඇබ්බැහි, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටිනවා නම් කොහොමද ඔවුන් සමඟ වැඩ කරන්නේ, කොහොමද  ඒ රිස්ක් එක ගන්නේ. මොකද ඔවුන් එකවර සේවයෙන් පහ කරන්න බැහැනෙ සාක්ෂි නොමැතිව?

 එතැන අභියෝගයක් තියෙනවා. අපිට පොලිසිය වගේ සේවාවකට තරු පටි පලඳවලා වෙනම එළියෙන් ගෙන්නන්න බැහැ. ඒ අය අවුරුදු ගාණක පුහුණුවෙන් පසු අපේ නිරත කරන්නේ. ඒ හින්දා ඔවුන් එකවර සේවයෙන් පහ කරන්න බෑ.  ඔවුන්ම තමයි මේ මෙහෙයුම් මර්දන විමර්ශනවලටත් යොදාගන්න ඉන්නෙ. නමුත් අද දේශපාලකයා  පෙර දේශපාලකයෝ වගේ පොලිස් රාජකාරිය අතට අරන් නැහැ. විනිවිදභාවයක් විශ්වාසවන්තභාවයක් සහිතව වැඩ කරනවා. ඒ හින්දා මේක අතිශයින්  අභියෝගයක්. අභියෝගයක් කියලා   අපිට ඒ රිස්ක් එකෙන් ඉවත්වෙන්න බැහැ. අපිට සිද්ධ වෙනවා මේ පොලිස් සේවාව තුළ ඉඳිමින්ම වැඩේ කරන්න.  පොලිස් සේවාවට එවැනි ලේබලයක් ඇලවුණාට අවංකව වැඩ කරන පිරිසකුත් ඉන්නවා.

 

ඕගොල්ලෝ ආවේ රට ක්ලීන් කරන්නනේ. ඔය කියන විදිහට  රට ක්ලීන් කරන්න කලින් අපරාධකාරුවන්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදවු කරන ඔය පොලිසියේ සෙට් එක ක්ලීන් කරන්න එපැයි. මොකක්ද ඔබට තියෙන වැඩපිළිවෙළ?

මේ විමර්ශන ක්‍රියාවලිය තුළ තමයි ඒකත් කරන්න වෙන්නෙ. මෙතැන වඩා වැදගත් බුද්ධි තොරතුරු. බුද්ධි තොරතුරු සම්බන්ධව  ගත්තොත් යම් යම් ගැටලු තිබෙනවා.

 

ඔබ කියන්නෙ බුද්ධි නිලධාරීනුත්  මේ ජාවාරම්වල ඉන්නවා කියලද?

අපිට සෘජුවම මෙන්න මේ නිලධාරියා  කියලා කියන්න  බැරි වුණත් අපිට වාර්තා වෙලා තිබෙනවා.  සමහර සිද්ධි සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු අවශ්‍ය වෙලාවට ලැබෙන්නේ නැහැ කියන. බුද්ධි තොරතුරු නැතුව අපිට මේ මෙහෙයුම කරන්න බැහැ. ඒක හරියට අඳුරේ අතපත ගානවා වගේ වැඩක්. තවදුරටත් ලෝකයේ එවැනි ක්‍රියාන්විත මෙහෙයුම් කරන්න හැකියාවක් නැහැ බුද්ධි තොරතුරු නැතුව.  ඒ සියල්ල විධිමත් කරලා මේක යථා තත්ත්වයට පත් කරන්න අපි ක්‍රියාත්මක වෙලා ඉන්නෙ.

 

ඔබ බරපතළ ප්‍රකාශයක්  කරන්නේ. මේ බුද්ධි තොරතුරු රටකට හරියට ලැබෙන්නේ නැහැ කියන එක. මොකක්ද මේකට ගන්න ක්‍රියාමාර්ග?

අපි බුද්ධි සේවාව තුළ ප්‍රතිසංස්කරණ රාශියක්ම කළා. ඔවුන් විධිමත්ව රාජකාරි කරන දිශාවට අපි යොමු කරමින් ඉන්නවා. බුද්ධි අංශ දේශපාලනීකරණයෙන් මුදවා තිබෙනවා. ඔවුන් දේශපාලන වුවමනාවන් මත හඹා යනවා වෙනුවට පොලිසියේ කාර්යභාරය නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ කාර්යභාරයේ වගකීම අපි පෙන්වාදී තිබෙනවා. පාතාල ක්‍රියාකාරකම්, පාතාලයට සම්බන්ධ වූවන් පිළිබඳ තොරතුරු පොලිසිය හෝ හමුදාවේ යම් යම් අය මේවට සම්බන්ධ නම් ඒ තොරතුරු පූර්ව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් නිසා ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායම් යොදවා තිබෙනවා. විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ ඒ වෙනුවෙන්  ප්‍රතිසංවිධානය කළා.

 

ඒ පොලිසියෙ, හමුදාවෙ අපරාධවලට හෝ මත්ද්‍රව්‍ය භාවිත කරන අය දැනට හඳුනාගෙන තිබෙනවද?

ඔව්, යම් පිරිසක් හඳුනාගෙන තිබෙනවා. ඒ අය සම්බන්ධව ක්‍රියාමාර්ග අරන් තියෙනවා. සමහරු අත්අඩංගුවටත් අරන් තියෙනවා. සේවයෙන් පහ කරලා තියෙනවා පහුගිය මාස හතර පහ තුළ. උදාහරණයක් විදිහට  ඔය මහස්ත්‍රාත්  අධිකරණය සම්බන්ධව පොලිස් නිලධාරීන් දෙන්නෙක්  සම්බන්ධ වුණා. ඒ දෙන්නා අත්අඩංගුවට ගත්තා. මිද්දෙණිය සිද්ධියෙත් එහෙමයි. දේශබන්දුට එල්ල වෙලා තියෙන සිද්ධියට අදාළව නිලධාරීන් අත්අඩංගුවට අරන් තියෙනවා.

 

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රබල චෝදනාවක් එල්ල කළා.  ඔහුටත් අධිකරණයට යන්න වී තිබෙන්නේ අධි ආරක්‍ෂාව සහිතව කියලා. මේක රාජ්‍ය යාන්ත්‍රණයේ අසමත් භාවය කියලා ඔහු චෝදනා කරනවා.  ඔබ ඒක දැක්කද?

ඔව්. අපි දීර්ඝ කාලයක් දේශපාලනය කරන්නේ ආර්ථික බංකොලොත්භාවයත් එක්කම විතරක්   නෙමේ. නීතිය බිඳවැටීම, යුක්තිය ඉටුනොවීම, සමස්ත සමාජයම අපරාධකරුවන්ගේ දේශයක් බවට පත්ව තිබීම, අපි මේවා දිගටම කතා කළා. ලිංගික අතවර අවුරුද්දකට එකොළොස් දහසක් පමණ වාර්තා වෙනවා. විනයගරුක භාවය නැති හින්දා දවසකට නවයක් අනතුරුවලින් මියයනවා, මත්ද්‍රව්‍ය  භාවිත කරන තුන් ලක්ෂ අනූහතර දහසක් සමාජයේ ඉන්නවා. දෙලක්ෂ තිස්දහසකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නවා. ඔවුන් බන්ධනාගාරයෙන් එළියට ගිහින් නැවතත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මුළු සමාජයක්ම ඉතාම පරිහානියට වැටිලා තිබ්බේ. ඒ සමාජය තුළ අපි පුදුම විය යුතු නැහැ පොලිසිය දේශපාලනඥයන්ගේ අතකොලුවක් වීම ගැන. පාතාල ක්‍රියාකාරිකයන් සමඟ අදහස් හුවමාරු   කර ගැනීම, ආරක්ෂාව දීම ඔවුන්ගේ මුදල් වෙනුවෙන් කටයුතු කිරීම ඔක්කොම බලන්න. ඔය බහුතරයකට මැදිහත් වී සිටින්නේ හමුදාවෙන් පලා ආ අය. ඒ අයගෙන් දැනට එක්දහස් හයසිය ගණනක් අත්අඩංගුවට අරන් තිබෙනවා.

 

පහුගිය ආණ්ඩුවලටම රට කෑවා කියලා  තඩි බෑවට ඕගොල්ලෝ ඇවිල්ලා මාස හයක් ගතවුණානේ, සාමාන්‍යයෙන් ට්‍රයල් පෙන්නන්න ඒ කාලය ප්‍රමාණවත්. හැබැයි ආනන්ද විජේපාල කියන්නේ පතෝලයි ගුණත් නෑ, අගුණත් නෑ වගේ කියලා  ප්‍රසිද්ධ  චෝදනාවට ලක්ව තිබෙනවා?

 අපි නීතියේ විධානය, ආධිපත්‍යය රකින්න, මහජන ආරක්ෂාව සපයන්න ගන්න ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා.  ඒවා මාධ්‍යයට සන්දර්ශන දාලා ගතහැකි ක්‍රියාමාර්ග නොවෙයි. මුලින්ම මේ චෝදනා කරන අය පිළිගන්න ඕනෑ මට පැවරී තිබෙන්නේ රටේ නීතිය හා සාමය භාරව කියල.  ජාතික ආරක්‍ෂාවට මහජන ආරක්ෂාවට අපි  ආරක්ෂාව භාරව කියලා. අපරාධකරුවන්ගෙන් රටත්, ජනතාවත් ආරක්ෂා කරන්න ගන්න ඕනෑ ක්‍රියාමාර්ග මොනවද, ඒවා ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා නොකියන එක ඔය චෝදනා කරන අය දකින්නේ පතෝල පිළිවෙතක්  විදිහට නම් ඒකට කරන්න දෙයක් නැහැ.

 

තනි තනි පුද්ගලයන්ගේ දේවල් මත නෙවේ අපි තීන්දු තීරණ ගත යුත්තේ. ඒ ඒ සමාජ තත්ත්වය අනුව ඒ සමාජය තියෙන තත්ත්වයේ ඉඳලම ඒ සමාජය වෙනස් කරනකොට අපිට අමතක කරන්න බෑ සමාජය කොතැනද තිබුණෙ කියලා, ඔබ කියන ඔය අපරාධ සම්බන්ධව ගත්තත් අපරාධ කණ්ඩායම් පනස් දෙකක් රට පුරා ඉන්නවා, 1442ක පිරිසක් ඉන් හඳුනාගෙන ඉන්නවා. ඔවුන් ආශ්‍රය කරන පිරිස් ඉන්නවා.  මේවා ශක්තිමත් වුණේ දවසින් දෙකෙන් නෙවේනෙ. සියලුම දෙනා පාහේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධයි. මේ ජාවාරමින් උපයා ගන්නා සල්ලි කොන්ත්‍රාත්වලට යොදාගන්නවා අපරාධවලට.  මේ පාතාල තවදුරටත් පාතාලකරුවන් පාතාල ක්‍රියාකාරකම්වල  යෙදෙනවා නෙවෙයි. දැන් කරන්නේ යුද හමුදාවෙන් පලා ආපු විශේෂ අවි පුහුණු ලත් පිරිස් යොදාගන්නවා කුලියට මිනී මරන්න.  එතකොට අර පැටර්න් එක වෙනස්   වෙලා තියෙනවා.

 

ඔබ කියන්නේ ෂූටර්ස්ලා විදිහට අපරාධවල යෙදෙන්නේ හමුදාවෙන් පලා ආ අය පමණක් කියලද?

බොහෝ අවස්ථාවල ඔවුන් තමයි වෙඩික්කරුවෝ.

 

ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් යම්තාක් දුරට හෝ මේ අපරාධ සිදුවීම් වළක්වා ගන්නට හැකිවේ කියා විශ්වාසද?

යම් ප්‍රමාණයක් පාලනය කරගන්න පුළුවන්. අපි හිතන් නැහැ ඒකෙන් සියල්ල අවසන් වෙනවා කියලා. නමුත් මේක පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයක්.

 

ඔක්කෝටම, කලින් කියන්න කෝ දැන් අර ගනේමුල්ල ඝාතනයට වෙඩික්කරුට සහාය දුන්නු සෙව්වන්දි?

සෙව්වන්දි අතුරුදහන් වීම සම්බන්ධයෙන් ලොකු කතිකාවතක් තවම තියෙනවා.  සෙව්වන්දි වහාම අත්අඩංගුවට ගත්ත නම් හොඳයි තමයි. නමුත් සෙව්වන්දී සොයාගන්න බැරි වුණා කියලා විමර්ශනවලට කිසිදු බාධාවක් වෙලා නෑ. මොකද  ඇයගේ සියලු ගනුදෙනු, ආශ්‍රිතයන් හා තොරතුරු දුරකථන මාර්ග ඔස්සේ කළ ගනුදෙනු අපි සියල්ල ලබාගෙන තියෙනවා. මේ අනුව දහතුන් දෙනෙක් මේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට අරන් තියෙනවා. ප්‍රධාන සහායිකාව අත්අඩංගුවට ගන්න තවම සොයමින් ඉන්නවා. 

 

එතැනම පොලිසිය ෆේල් නේද? සෙව්වන්දි පනිනකම් බලන් හිටියනෙ?

නෑ. ඒ චෝදනාව කරන එක සාධාරණ නෑ. මොකද පොලිසිය හිතාමතා සෙව්වන්දිට පලායෑමට ඉඩ දුන්නෙ නෑ… ඒ වගේම ඒ සම්බන්ධව සිදුකරන විමර්ශන සියල්ල ගැන අපිට  මාධ්‍යයට කියන්න බැහැනෙ.

 

ඔබ ඇහුවනෙ මාස හතරට පහට මොනවද කළේ කියලා? ඉතින් මොකුත් කරලා කියලා පේන්න නෑනෙ.

එහෙම කියන්නෙ කොහොමද, අපි පොලිසිය වෙනුවෙන් කොච්චර දේවල් කළාද. අපේ මාධ්‍ය සන්දර්ශන නැති එක ලොකු දුර්වලකමක්. ඒකයි ඔය චෝදනා.

පාතාල කතාවලට   වඩා අපිට කතා කරන්න  ගොඩක් කාරණා තිබෙනවා.

 

නමුත් දැන් කතා කළ යුතු කාරණා කිහිපයනෙ අපි ලියන්න ඕනෑ.  ඕගොල්ලෝ පුරසාරම් දෙඩුවා ඒ දවස්වලින් මත්ද්‍රව්‍ය එන්නේ එක්කෝ  ගුවනින්, එක්කෝ මුහුදින්. ඒ තැන් දෙකවත් බ්ලොක් කරගන්න බැරි වෙලානෙ. ඔය කේරළ ගංජා කිලෝ ගණන් තවම මුහුදෙන් ගොඩබාන්නේ?

ඒවා නවත්වන්න විශාල මෙහෙයුම් ප්‍රමාණයක් පටන් ගත්තා. ඒ සියල්ල මාධ්‍යයට කියන්න බෑ. එතකොට අපි කොහොමද විමර්ශන කරන්නේ.

 

හරි හරි උපක්‍රම කියන්න එපා. නමුත් ඔය කියන විදිහට ඒවට උපක්‍රම පාවිච්චි කළා නම් කොහොමද මෙච්චර කිලෝ ගණන් මත්ද්‍රව්‍ය අහුවෙන්නේ?

ඔය එකක්වත් පහසු කාර්යයන් නොවේ.

 

ඒක හරි කතාවක්නේ. ආණ්ඩුව  ඉල්ලුවේ මොකටද එහෙනම්? අපහසු දේවල් කරන්නනේ ඉල්ලුවේ?

ඔව් ඔව්, අපි ඒ වෙනුවෙන් මොකුත් නොකළා කියලා දෝෂාරෝපණය කරන්න  බෑ.

 

ජනවාරි සිට මාර්තු වනතුරු වෙඩි තැබීම් 26ක් හා ඝාතන 22ක් සිදුව තිබෙනවා. පහුගිය කාල සංසන්දනය කළොත් මේ ගත වූ මාස දෙකහමාර තුළ ශීඝ්‍රයෙන් ඝාතන රැල්ලක් ඇති වෙලා?

සංඛ්‍යා ලේඛන අවුස්සලා බැලුවොත්  ඔබේ සංසන්දනය වැරදියි. ඒ අය පාතාලය පාලනය කරපු ක්‍රමයක් තිබුණා. ඒ අයට හැකියාවක් තිබුණා පාතාලයට කරන්න අවශ්‍ය දේ ඒ මොහොත අනුව  දැනුම් දෙන්න. අවශ්‍ය නම් පාතාල ක්‍රියා නවත්තන්නත්,  ඕන වෙනකොට පාතාලය වර්ධනය කරන්නත් පහසු  රිමෝට් එක  තිබුණෙ පහුගිය ආණ්ඩු අතේ.  හුඟක් වෙලාවට  පාතාල කල්ලි ක්‍රියාත්මක කරවන්නේ ආණ්ඩුව, විපක්ෂයට වඩා. හැබැයි වත්මන් ආණ්ඩුව පාතාලය  නඩත්තු කරන්න හෝ පවත්වාගෙන යන්න කිසිදු සම්බන්ධතාවක් නෑනේ. ඒ හින්දා පාතාල කල්ලි ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ගේ වුවමනාවන් සඳහා ඔවුන් මෙහෙයවන්න. මොකද දැන් පාතාලෙ පීතෘලා බලයෙ   නෑ. හැබැයි ඔවුන් ඔවුන් විසින් මෙහෙයවනවා.   විශේෂයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය තමන්ගේ ආධිපත්‍යයට නතු කරගන්න පාතාල ලෝකයේ ගෝඩ් ෆාදර් වෙන්න.  අනිත් කල්ලි අභිභවා ඉස්මතු වෙන්න, නායකත්වය තහවුරු කරගන්න මේ කාරණාවලදී ඔවුනොවුන් මරා ගන්නවා. ඔවුන්ට කලින් දේශපාලන  මැදිහත්වීමක් තිබුණානේ. ඒ දේශපාලන කොටස දැන් ඉවත් වෙලා තිබෙන්නේ.

 

ඔබ කියන්නේ බල්ලා මැරෙනකොට මැක්කො මැරෙනවා කියලා කියමනට කිව්වත් තවම මැක්කෝ ඉතුරු වෙලා කියලානේ?

ඔව්, පැහැදිලිවම. මැක්කො දැන් වෙන විදිහකට ජීවත් වෙන්න උත්සාහ කරනවා. එතකොට ආධිපත්‍ය තහවුරු කරගන්න ගැටුම් ඇතිවෙනවා.  බුද්ධි අංශ වාර්තා කරන්නෙත් ඒ විදිහට තමයි. පාතාල කල්ලි දෙකක් අතර ගැටුම් මේ වර්ධනය වෙන්නේ. ගණේමුල්ල සංජීවගේ මරණින් පසු ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම හරහා ඔවුන් උත්සාහ කරනවා සංජීවගේ තැන හිමිකර ගන්න.  එහෙම නම් විශාල ප්‍රමාණයක් ඝාතනය කරන්න ඕනෑ.  ඒ හින්දා ඔවුන් මේ වෙලාව සංජීවගේ ඝාතකයන් සම්බන්ධ කල්ලිවලට වැඩිපුර ප්‍රහාර එල්ල කරන්නත් ඒ ප්‍රහාර තුළින් තමන්ගේ නායකත්වය සතු කරගන්නත් පුළුවන් කියලා ප්‍රතිවිරුද්ධ කල්ලි හිතනවා. එහෙම වුණාමනෙ කොන්ත්‍රාත් සහ මුදල් තමන්ට ලැබෙන්නේ.  හැබැයි අපි කොයි වෙලාවකවත් ආණ්ඩු බලය හොබවන පාර්ශ්වය හැටියටත් මහජන ඇමැති ආරක්ෂක ඇමැති හැටියටත් මේ කාරණා කිසිසේත් ලඝුකොට සලකන්නේ නෑ. පාතාල කල්ලි කල්ලි අතර ගැටුම් කියන එක අපිට නිදහසට කාරණාවකුත් නෙමෙයි. හෙටත් කොහෙ හරි වෙඩි තැබීමක් වෙන්න පුළුවන්. ඔබට අනිද්දට නැවත අහන්න පුළුවන් මේක නතර කළේ නෑ නේද කියලා. හැබැයි අපි මේක මැඬලන්න දැල එළලා තියෙන්නේ. අපි ඒක සුළුකොට තකන්නේ නෑ. අපි අත පිහදාගන්න ලෑස්තිත් නෑ. ඒත් ඇමැතිට විතරක් මේක ලඝු කිරීමෙන් විසඳුම් හොයන්න බෑ ගොඩක් අය හිතනවා මරණ දඬුවමෙන් මේවා නවත්වන්න පුළුවන් කියලා.

 

මේ ආණ්ඩුව මරණ දඬුවමට එකඟඳ?

මරණ දඬුවමට එකඟ නෑ. හේතුව, මරණ දඬුවම දෙනවා නම් ඊට කලින් සකස් කළ යුතු බොහෝ දේ තියෙනවා.  උසාවියේ නඩුවක එක පාර්ශ්වයක පොලිස් කොස්තාපල්වරයෙකුත් අනිත් පාර්ශ්වයෙන් ජනාධිපති කවුන්සිලර් කෙනෙකුත්  අධිකරණයක කරුණු ඉදිරිපත් කිරීමේදී සමබරතාවක් දක්ෂතාවක් නැති අවස්ථාවක බලවතාට වාසිය වෙලා වින්දිතයා අසාධාරණයට ලක්වෙන්න පුළුවන්. මොකද මුදල් බලය මත ජනාධිපති නීතිඥවරු ඕනෑ තරම් අල්ලන්න පුළුවන්. අවසානයේ නීතිය ඉදිරියේ  හැම වෙලාවෙම සාධාරණ  තීන්දුව ලැබෙන්නෙ නෑ. බලවතාට එක තීන්දුවක් දුබලයාට තව තීන්දුවක් අපි අනන්තව  දැකලා තියෙනවා. මරණ දඬුවම් හරහා මේක කරන්න බෑ. නමුත් දඬුවම් අවශ්‍යයි. ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය පාතාලයෙන්ම මනින්න එපා. අපේ හොඳ ගොඩක් යට කරලා වෙන පොඩි පොඩි වැරදීම් විතරක් උලුප්පනවා. අපි කරන හොඳ දේවලුත් ලියන්න කියලා අනුරාධා හේරත්ගෙන් ඉල්ලනවා,

 

මෙම ඝාතනවලින් යම් දවසක සිවිල් පුරවැසියන්ටත් බලපෑමක් වෙන්න පුළුවන්?

නෑ. එවැනි බලපෑමක් වෙන්න ඉඩක් නැහැ. මම කලිනුත් කිව්වා වගේ මේක පාතාල – පාතාල කල්ලි අතර ගැටුමක්.

 

හැබැයි ඕගොල්ලෝ ආණ්ඩුවක් විදිහට මේ ඝාතන රැල්ල නවත්වන්න යමක් කළා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් මෙම ඝාතන ක්‍රමයෙන් හෝ නැවතුණා නම්?

ඔව්, ඔබ කියන එකට මම එකඟයි. අපිට  ක්‍රියාකාරිත්වය අපිට පෙන්නන්න වෙන්නේ වෙඩි තැබීම් අවසන් කිරීමෙන් නේ.

 

හැබැයි අර තරුණයන්ගේ භාෂාවෙන් කියනවනම් ජේ.වී.පී. ආවා කියන්නෙ  හතර අතට නෙළයි, අපරාධකාරයන්ට යන එනමං නැති වෙයි කියලා. හැබැයි ඕගොල්ලෝ හිටියටත් වඩා අලස පාටයි. නිකන් සිල් අරගෙන වගේ?

හුඟක් අයගේ වුවමනාව තමයි ඕකත්. අපි හතර අතට නෙළලා මේක අවුල් කරලා රට විනාශ කරලා ඒකාධිපතිත්වය තහවුරු කරලා මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා මහජන  මහජන කැලඹීමක්  සහිත වටපිටාවක් හදාගන්න තමයි අපේ ප්‍රතිවාදීන්ට ඕනේ. අපි සිල් අරන් නැහැ.   ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ පාක්ෂිකයාගේ ජනාධිපති නෙමෙයි. ඔහු රටේ නායකයා. ඉතින් රටේ නායකයා වුණාම සියලු පාර්ශ්වවල ප්‍රශ්නවලට විසඳුම් සොයන්න ඕනෑ. 

 

පහුගිය ආණ්ඩු වගේම ජාතික ජනබලවේගයත් පාස්කු ප්‍රහාරය තමන්ගේ දේශපාලන වේදිකාවට වාසිදායක කරගත්තා ඡන්ද ගොඩ වැඩි කරගන්න. තවම පරීක්ෂණය එතැනමයි?

මුලින්ම  අනුරාධා කියපු ඒ කෑල්ල වෙනස් කරන්න ඕනෑ. අපි පාස්කු පාවිච්චි කරලා බලයට ආවේ නෑ.

 

නමුත් ඕගොල්ලෝ කතෝලික ජනතාවට පොරොන්දු දුන්නනේ මේකට අනිවාර්යෙන්ම යුක්තිය ඉටු කරනවා කියලා?

 රටේ ජනයා පාස්කු ප්‍රහාරය ගැන තේරුම් ගත්තා. ප්‍රහාරයේ නිර්මාතෘලා   කවුද කියලා. ජනතාව සාධාරණය ඉල්ලා අපිව තෝරා ගත්තා. අපි පාස්කු ප්‍රහාරය ඡන්ද ගොඩ වැඩි කරගන්න පාවිච්චි කළේ නෑ. සියලු ජාතීන් මේකෙන් පීඩාවට පත් වුණා. කතෝලික ජනතාව ප්‍රමුඛව.   ඒකෙන් මියනොගිය ජාතියක් නැහැ. විදේශිකයෝ පවා මැරුණනේ. ඒ හින්දා පාස්කු ප්‍රහාරයට සම්බන්ධව අලුත් සාක්ෂි අපි ලබාගන්නවා.  ඒකට යුක්තිය අනිවාර්යෙන්ම ඉටුකරනවා.

 

බලාන ඉන්නකොට දිනපතා මාර්ග අනතුරුවලින් සෑහෙන ප්‍රමාණයක් මියැදෙනවා. මේකත් මේ පොලිසියට භාර කටයුත්තක්නේ, දැන් බස් එකකවත් ගමනක් යන්න බයයිනෙ මිනිස්සුන්ට?

 මාර්ග අනතුරු හින්දා   දවසකට මියයන ප්‍රමාණය නවයක් වගේ තමයි  අගය. මේ හින්දා  විශාල ප්‍රමාණයක්  තුවාල ලබලා බරපතළ ආබාධ තත්ත්වයට පත්ව  තිබුණා.

 

තිබුණා කියන්න බැහැනෙ, දැන්නෙ බරපතළ විදිහට රිය අනතුරු සිද්ධ වෙන්නෙ?

 නෑ. පහුගිය මාස හතර පුරාවට කරන ලද මෙහෙයුම් සහ ඊට අමතරව මාර්ග අනතුරු වළක්වන්න අරගෙන ගිය කටයුතු ඔස්සේ අපිට හැකියාව ලැබී තිබෙනවා දෛනික  සිදුවන මරණ 9 ප්‍රමාණය තුනකින් අඩු කරන්න.

 

මොකක්ද මේ බස් අනතුරුවලට  ප්‍රධාන හේතු හැටියට පොලිසිය අඳුනගෙන තියෙන්නේ මොනවද? මත්ද්‍රව්‍යද?

මත්ද්‍රව්‍ය එකක්. අනික තමයි මුදල් මත මේ බස් ව්‍යාපාර‍යත් තීන්දු වෙලා තියෙන්නේ. බස්වල තරගකාරිත්වයන්  රියැදුරුවරුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම අනෙක් ප්‍රධාන කාරණය.

 

ඉතින්  ඇයි තවම ඒක වත් නවත්තගන්න බැරි වෙලා තියෙන්නේ?

 ඊට වැඩපිළිවෙළක් හදලා තියෙන්නේ,

 

 

සංවාදය – අනුරාධා හේරත්

උපුටාගැනීම - මව්බිම

නවතම ලිපි