SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අල්-ජසීරා නාළිකාවේ වැඩසටහනකට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තු නැති මොහොතක

තමන් බලයේ සිටි කාලයේදී සිදුවුණු බවට කියැවුණු බටලන්ද වධකාගාරයේ අපරාධ පිළිබඳව ප්‍රශ්න කිරීම කාන්දුවීමම ආණ්ඩුවට මහත් ආස්වාදජනක නිමිත්තක් විය.

 

”රනිල් හිතා උන්නේ සැප්තැම්බර් ආයෙ පාර්ලිමේන්තු රිංගලා ඇතුළේ ඉඳන් අංචි ඇදලා ආණ්ඩුව පෙරළන තරමට වැඩ කරලා ආයෙත් බලය අල්ල ගන්නයි. දැන් ඉතින් හුප්පෙ තමයි. ආයෙ උන්දෑ නැඟිටිනවා බොරු.”

 

රනිල් කොර වෙන්නට අල්-ජසීරා  දැමූ දුස්රා පන්දුවට ඔහු පිළිතුරු ප්‍රහාර එල්ල කිරීම ආණ්ඩු පක්ෂය දුටුවේ ”ඇනගත්තා” කියලාය.

 

ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ නාමල් කණ්ඩායම දුටුවේ ”වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරය ඉදිරියේ රට පාවාදුන්නෙ නෑ. හොඳින් ඊට උත්තර දුන්නා” කියලාය.

 

විපක්ෂයේ බොහෝමයක් දෙනා මීට ඍජු උත්තර දෙනවා වෙනුවට රනිල් මේකෙන් වැටෙන හැටි කෙසේ වෙතත් ජාම බේරාගෙන ගනුදෙනුව අනුරලා හා සමනය කර ගනිවී යැයි සිතූහ. තවත් සමහරු කීවේ ”රනිල් ඇයි මේ වගේ හිරවෙන ප්‍රශ්න අහන වැඩසටහනකට ගියේ” කියලාය.

 

තවත් සමහරු කීවේ ”රනිල් දන්නවා ඔය නිවේදකයා ප්‍රශ්නයක් දාලා උත්තර දීගන්න බැරි විධියට, සාහසිකව මැදට පනිනවා. එහෙම කරලා උත්තර දෙන්න ආපු මිනිහව පිස්සෙක් කරලා, මනස අවුල් කරලා, කෝප ගන්වලා නොකළ යුතුව තිබෙන ප්‍රකාශ ඔහුගෙන් ගන්න උත්සාහ කරන බව. නමුත් අපට නම් හිතෙන්නෙ රනිල් හිතන්න ඇත්තේ පවතිනා රටේ තත්ත්වය ගැන ප්‍රශ්න අසාවි කියලා වෙන්න ඕනේ. පසුව රනිල් හිතුවා වැරැදියි. අල්-ජසීරා හොඳින් සූදානම් වෙලා රනිල් හිර කරන්නම ප්ලෑන් කළා. රනිල් ඊට පුළුවන් තරම් ආරක්ෂාකාරීව උත්තර දුන්නා”ය කියලාය.

 

”අපි නම් හිතන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ දන්නෙ නෑ මෙහෙම දෙයක් වෙනවා කියලා. නමුත් එයාලා වෙච්ච දේ ගැන සතුටු වුණා. ඒකෙන් රනිල් මහ මිනීමරුවෙක් ගානට අලුත් පරම්පරාවෙ ඡන්දදායකයන් අවබෝධ කරගනිවී කියලා ජ.වි.පෙ. හිතුවා. ඒ වාසිය ගන්න ඒ අය හිතුවත් ඒකට ඍජු ප්‍රකාශ හෝ ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී ටිකක් බලන් ඉන්න පටන් ගත්තා. නමුත් ජ.වි.පෙ.න් ගැලවී ගිහින් වත්මනෙහි පෙරටුගාමී පක්ෂයට ගාල්වී සිටින පෙරැට්ටෝ කීවේ ”

 

රතු සහෝදරයන්ගෙ දිවි දුන් ජීවිතවලට ජ.වි.පෙ. සාධාරණය ඉටු කළ යුතුයි” කියලාය. හිටපු ජ.වි.පෙ. අය එලෙස හඬ නඟද්දී ආණ්ඩු බලයෙන් උද්දාමයට පත්ව හිස උදුම්මාගෙන සිටියත් ජ.වි.පෙ. නායකයන්ට මේ දෙන තෙරපුමෙන් ගැලවී යන්න බැරි තරම් වුණා.

 

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මරාදාපු හැටි තමන් හැබැහින් දුටු බව කියූ ඡායාරූප ශිල්පියකු පෙරැට්ටකු ලෙස මාධ්‍යයට කී කතා අනුව ප්‍රබල තෙරපුමක් ආණ්ඩුවට දුන්නේය.

 

"පුළුවන් නම් ඒ මැරිච්ච, දිවි දුන් තරුණයන්ගේ ජීවිතවලට සාධාරණය ඉටු කරපල්ලා”

යැයි හඬ නැඟුවේ තව තවත් ජ.වි.පෙ. නායකයන් සිර කරමින්ය.

 

බැලූ බැල්මටම මේ නාටකයේ චරිත සමූහයා විවිධ වුවද ඊට ජනතා විමුක්ති පෙරමුණටද ප්‍රතිචාර දක්වන්නට සදාචාරාත්මක අයිතියක් ඇතැයි ලෝකයට පෙනුණේය, දැනුණේය. ඒ නිසාවෙන්දෝ ජ.වි.පෙ. මුල් වූ මාලිමා ආණ්ඩුවට ”තවමත් පාර්ලිමේන්තුවේ සභාගත කරලා නැති බටලන්ද කොමිෂන් වාර්තාව” ජනගත කරන්නටත්, පාර්ලිමේන්තුවේ සභාගත කරන්නටත් සිදුවුණේය.

 

කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් එම වාර්තාව සභාගත කිරීමේ කාර්ය කරන්නට පෙර ජ.වි.පෙ. නායකයන්ට මුහුණ දෙන්නට සිදුවූ බරපතළම ගැටලු රැසක් තිබුණේය. ඒවා ජනතාව අතර කතාබහට ලක්වන සම්භාවිතාව අනුව අපට විග්‍රහ කළ හැකිය.

 

රනිල් වැරැදියි කියලා රටම කියනවා වෙන්න පුළුවන්. නමුත් මේකෙන් රනිල්ව කොටු කරන්න පුළුවන්ද? එහෙම කොටු කරලා අපට දේශපාලන වාසියක් ගන්න පුළුවන්ද? යන්නත්,

 

දැන් මේ වාර්තාවට අවුරුදු 20ක් පැනලා. අපරාධමය චෝදනා නැඟුවත් එය නඩුවක් මඟින් චෝදනා ගොනු කරලා නඩු පවරලා, නඩු අහන්නත් තවත් කාලයක් යනවා. එතකොට අවුරුදු 20 තවත් දිග්ගැහෙනවා. මේක උසාවියට ගියොත් නීතිමය වශයෙන් විභාග කරන්න බැහැයි කියන තර්ක ඉදිරිපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා වැඩක් වෙයිද මේක? යන්නත්

 

වාර්තාවෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන් තැන් තියෙන්න පුළුවන්. නමුත් මේ කාලය තුළ ජ.වි.පෙ.ට එරෙහිව රාජ්‍ය නායකයන් හැටියට කටයුතු කරපු ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස යන අය දැනට ජීවතුන් අතර නැහැ. මෙතැනදී රනිල් කියන්නෙ ප්‍රබලයන්ගෙන් කෙනෙක් විතරයි. මේ නිසා රනිල්ව විතරක් කොටු කරලා මේ නාට්‍යය දිගටම ගෙනියන්න පුළුවන්ද? යන්නත්

 

වාර්තාවඋසාවියට ගෙනියන මට්ටමට එන්න ඉස්සර අපට එන තෙරපුමත් එක්ක මේක පාර්ලිමේන්තුවේ විවාද කරන තැනටත් එනවා. එතැනදි බටලන්දෙ මැරුණෙ අපේ සහෝදරවරු විතරක් නෙවේ අප විසින් ඝාතනය කළැයි කියැවෙන අයගෙ තොරතුරුත් මතු වෙන්න පුළුවන්. ඒ නිසා දෙපැත්තටම චෝදනා එල්ල වෙන්න පුළුවන්.

 

 

බටලන්ද වධකාගාරෙ හෝ එම වාර්තාව කරළියට අරන් ඇවිත් වැඩේ පටන් ගත්තා වගේ නෙවෙයි. අනිත් වධකාගාර ගැනත් මතු කරලා වැඩ කරන්න වෙවි. මේවා හොයන්න ඕන තමයි. එතකොට ඒවට සෑහෙන කාලයක් මිඩංගු කරලා වෙහෙසෙන්න වෙනවා. ඒවාට මුල් තැන දුන්නම අපිට පරණ මිනී වළවල් අවුස්සගෙන ඉඳලම පාලන කාලය ඉබේම ඉවර කරගන්න වෙයි යන්නද සිහියට ගත යුතුය.

 

 

අපේ විරුද්ධවාදියො විධියට පෙනෙන රනිල් හෝ සජිත් මේකෙන් කොටුකර ගන්න බැරි වුණොත් ඒකත් අවාසියක්. අපිට පුළුවන් මේක පෙන්න පෙන්න රටේ පොදු ප්‍රශ්න අමතක වෙන්න ඇරලා ගේම් ගහන්න. රනිල් බටලන්දෙ ගෙදරක හිටියම කියමු. නමුත් සජිත්ගේ තාත්තා රටේ නායකයාව හිටිය කියලා සජිත්ට මේකෙන් මඩක් ගහන්න බැහැ. චෝදනා එල්ල කරලා  ඔහු විනාශ කරන්න බැහැ. ඇරත් රනිල් එජාපයේ නායකයා වුණත් පැවැති එජාප රජයෙන් මේවා කළා කියනවා වුණත් සජිත් දැන් එ.ජා.පයේ නැහැ. ඔහු ස.ජ.බ.යේ. ඉතින් මේකෙ දේශපාලන ප්‍රචාරක වාසියත් පුස්සක් වෙනවනෙ යන්නත් විචාරයට බඳුන් විය යුතුය.

 

 

තමන් අතින්ද දහසක් වැරැදි සිදුව ඇති නිසා ජනතා විමුක්ති පෙරමුණ මුල්වූ එහි නායක කාරකාදීන් රජයන බලවත් ආණ්ඩුවක් තිබුණා වුවද මෙය දෙපැත්ත කැපෙන ආයුධයකින් වැඩ ගන්නවා වැනි දෙයක් වන්නේය. දැළි පිහියකින් කිරිපැණි කන්නා වගේ වැඩක්ය.

 

මිනී මැරුම් කළාය කියැවෙන්නේ එ.ජා.ප. රජයකින් යැයි ජනගත කළත් මේ මහ පොළොවේ සත්‍ය දන්නා එම භීෂණ යුගයේ ජීවත් වූ පොදු මහජනතාව ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ දෑ පිළිබඳවද සාක්ෂ්‍ය දරති. එය වත්මනෙහි මාලිමාව ලෙස විශ්වාස කරමින් ඊට ඡන්දය ප්‍රකාශ කළ තරුණ ඡන්දදායක ප්‍රජාව දැන හඳුනාගතහොත් පැවැති තත්ත්වය සිහිනුවණින් අවබෝධ කරගතහොත් එයද මාලිමාවට අවාසියක්මය. රතු ධජයෙන් පිරී තිබුණු ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය මේ වෙද්දී දම් පැහැයෙන් වසා දමා අලුත්ම එකකැයි කියා පාන්නට මාලිමාව එක්කර ගත්තද සත්‍ය කවදා නමුත් රබර් බෝලයක් මෙන් මතුව පෙනෙනු ඇත.

 

අපගේ පුවත්පත හා නිබඳව එකතුව අදහස් දක්වන බොහෝමයක් දෙනා අතරින් තවමත් ඒ අතීතය දන්නා කිහිපදෙනකු පළකළ අදහස්ද මෙහිදී අවදානයට ගත් යුතුව තිබුණෝය.

 

* ”1988-1990 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ රටේ ඇති කළ භීෂණය දැක්ක මිනිස්සු ඒකෙන් ජනතාව කොයිතරම් පීඩා වින්දද කියලා දන්නවා. ඔය කාලේ ජ.වි.පෙ. අය මිනිසුන්ට රස්සාවට යන්න දුන්නෙ නෑ. ජවිපෙට විරුද්ධ වු අයගේ දණහිසට පහළින් කඹවලින් එල්ලගෙන ගිහිල්ලා වළට දාලා පස් තට්ටුව සමතලා කරන්න කිව්වා. ළමයි බලා ඉන්දෙද්දි තාත්තලාව අරන් ගිහින් මරලා හිස කඳින් වෙන් කරලා බෙල්ල වත්තෙ වැට මායිමේ වැටක ගහලා තිබුණා. මිනිස්සු හිත යටින් ආණ්ඩුවට කිව්වේ අපට නිදහසේ ජීවත් වෙන්න ජ.වි.පෙ. භීෂණය තුරන් කරන්න” යැයි කියුහ.

 

"මරා දාපු මිනිස්සුන්ගෙ මිනිය අරන් ගිහින් අවමංගල චාරිත්‍ර හරිහැටි කරන්න ඉඩ දුන්නෙ නෑ. රාජ්‍ය සේවකයා, හමුදා නිලධාරියා, පොලිස් නිලධාරියා, හිටපු පවුල්වල සාමාජිකයන්ගෙන් පළිගත්තා. පුදුමාකාර වෛරී හැඟීමක් තිබුණේ. ඒකෙන් බේරෙන්න මේ භීෂණය නැති කරන්න සමහරු ඔත්තු දුන්නා. අහවලා තමයි තැපැල් කන්තෝරුවට ගිනි තිබ්බෙ, බස් එක ගිනි තිබ්බෙ, ට්‍රාන්ස්ෆෝමර් එකට ගිනි තිබ්බේ කියලා. එහෙම පුරවැසියෙක් ඔත්තු දුන්නා කියලා ආරංචි වුණාම ජ.වි.පෙ. සන්නද්ධ අංශය ඔවුන්ට මරණය ළඟාකර දුන්නේ අනුකම්පා විරහිතවයි” යන්නද එදා සිහිපත් කෙරුණකි.

 

”මේ වගේ මුළු රටේම භීෂණකාරී තත්ත්වයක් ගොඩනැඟෙද්දී පුළුවන් එවුන් රට ගියා. ඊටත් වඩා උතුරේ කොටිත් සන්නද්ධව ගැටුම් ඇති කළා. මිනී මැරුවා. දකුණේ ජ.වි.පෙ.ත් මිනී මැරුවා. මේක එකම සොහොන් පිටියක් වෙලයි තිබුණේ. ඒ වෙලාවේ ආණ්ඩුව මොකා රජවෙලා හිටියත් ඒක කරගෙන යන්න බැරිම තැනකට ආවා. නායකයෝ හමුදාවටත්, පොලිසියටත් බලය දුන්නා මේ කැරැල්ල සහ මිනීමරු භීෂණය ඉවර කරන්න කියලා. ඒ භීෂණය දැක්ක මිනිස්සු හමුදාවෙන්, පොලිසියෙන් කරපු දේවල්වලට එරෙහි වුණේ නෑ. හිත යටින් භීෂණය නැති කිරීම අනුමත කළා. ඔය අතරෙ තමයි බටලන්ද වගේ තැන් ගැන කතා වෙන්නෙ. ඒවත් එළියට දැම්මෙ ජ.වි.පෙ. ප්‍රචාරක අංශය මඟිනුයි. ඉතින් බටලන්ද විතරක් නෙවේ තව ඕනෑ තරම් ඒ කාලෙ ක්‍රියාන්විත සිද්ධ කරපු තැන් තිබුණා දැන් ඒ ගැන දන්න අපි ඒ අතීතය මතක් කරන්නත් අකැමැතියි” යන්න අමතක කළ නොහැකි දෙයකි.

 

 

නීත්‍යනුකූලව මහජන ඡන්දයෙන් බලයට පත්වූ ආණ්ඩුවක් රාජ්‍යයේ ස්ථාපිත වීම හා යහපැවැත්ම සඳහා බහුතර පිරිසකගේ ආරක්ෂාව, රැකවරණය වෙනුවෙන් බලය යෙදවීම සාමාන්‍ය දෙයකි. රාජ්‍ය පාලකයා එලෙස සතුරු පාර්ශ්වය විනාශ කළ, සමූල ඝාතනය කළ ඉතිහාස කතා බොහෝය. රජවරුන්ගේ පටන් මේ තාක් එයම ක්‍රියාත්මක වීම පොදු මහජනතාව නොදන්නවාද නොවේ. එසේ නම් මේ මොහොතේ බටලන්ද නාටකය රඟදක්වන්නට යෑමෙන් ආණ්ඩුවට කිසියම් වාසියක් අත්වේද නැද්ද යන්න විනිශ්චය කරනුයේ මේ රටේ පොදු මහජනතාවය.

 

 

මෙහිදී එකල කියැවෙන භීෂණය ඉවත් කරවීමට නායකත්වය දැරූ බවට නම් කෙරෙන රාජ්‍ය නායකයන් හා ඔවුනගේ මැති-ඇමැත්තන් බොහෝමයක් දැන් මිය පරලොව ගොසිනි. දැනට ජීවතුන් අතර සිටින මේ මොහොතේ ප්‍රබලයා රනිල් විය හැකිය. එහෙත් රනිල් මේ මොහොතේ ඒ තරම්ම දේශපාලන වශයෙන් බලපෑම් කළ හැකි අයකුද යන්නද විමසිය යුතුය.

 

එබැවින් මෙරට දේශපාලනයේ සැබෑ නාඩි ඇල්ලීමට අනුව නම් බටලන්ද වාර්තාව කරළියට ගෙනැවිත් රට පාලනය කරන ජ.වි.පෙ. මුල්වූ ආණ්ඩුවට ලැබෙන අමතර බක්කක් නොමැති බව පෙනෙයි. ඝාතනයන් කෙසේ කොහොම කොතැන සිදුවූවත් ඒවා ශිෂ්ට සමාජයක් අනුමත කරන්නේ නැත. එහෙත් බාල බොළඳ ප්‍රචාරක වාසි වෙනුවෙන් ඒවා ඇදගෙන, බැඳගෙන කන්නට ගොස් තමන්ගේ කට දිව පුලුස්සා ගන්නට කවුරුවත් සූදානම් වන්නේද නැත.

 

මෙම ක්‍රියාදාමයේ ජනකාන්තවාදී ප්‍රවේශයට අනුව ”රනිල් එල්ලලා අපි පෙන්නවා” යන්න හෝ ”සජිත්ටත් ඇඩ්‍රස් නැති වෙන්න ගහනවා” හෝ ”නාමල්ගෙ කෙරුවාවත් පෙන්නනවා” හෝ වෙන ඕනෑම අඩව්වක් දේශපාලනිකව බේරාගත යුතුය. ඇල්ලිය යුතුය. එසේ නොවී දෙකයි පනහේ, තුට්ටු දෙකේ ප්‍රචාරණවාදී, එදාවේල ටුවර්ස් න්‍යායේ තුරුම්පු භාවිත කර රටේ ප්‍රශ්න එක තැන පල්වෙද්දී ඒවා විසඳන්නේ නැතිව කාලය කා දැමීමේ ආණ්ඩු පාර්ශ්වයට ඇඩ්‍රස් නැති කරවන බූමරංගයක්ම විය හැකිය.

 

@සජිත් රෝහිත ලියනගේ

mawbima

නවතම ලිපි