SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ බොහෝ පිරිස් 87/89 වකවානුවේ

ලංකා සමාජයේ දකුණේ පැවති භීෂන යුගය පිළිබඳවත්, එම යුගය තුළ ජවිපෙ ක්‍රියාකාරීත්වය මගින් ඝාතනයට ලක්වුනු පුද්ගලයින් පිළිබඳවත් පිළිතුරු දීමට යෑමේදී එවැනි ඝාතන සිදු නොකළ බව කියන්නට බොහෝ උත්සාහයන් ගනු ලබන බව පෙනෙන්නට ඇති කාරණයකි.

 

 

එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨතම නායකයෙකු සිටින අතලොස්සෙන් කෙනෙක් ලෙස එකී භීෂණ යුගයට  සෘජුව මුහුණදුන්නෙකු වූ ජවිපෙ සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ පිළිබඳව සෘජු පිළිතුරු ලබාදී ඇත.

 

මේ ටිරාන් අලස් හිටපු අමාත්‍යවරයාට අයත් මව්බිම පුවත්පතට ටිල්වින් සිල්වා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකි.

 

බටලන්දෙන්ම කතාව  පටන් ගමු. බටලන්ද සම්බන්ධව අල් – ජසීරාවෙන් මාතෘකාව එළියට එද්දී ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණේ අය හුරේ දැම්මා රනිල්ට වැඩ වරදින්නයි යන්නේ කියලා. නමුත් මේකෙන් අන්තිමට ජනතා විමුක්ති පෙරමුණටම බූමරංගයක් වෙලා තිබෙනවා නේද?

 

අපිට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. බටලන්ද චෝදනා තියෙන්නේ රනිල් වික්‍රමසිංහට. රනිල්මයි කිව්වෙ බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට දාලා නෑ කියලා. ඒ අනුව අපි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නීතිපතිට යොමු කළා. විවාදයක් කරනවා. ඊට පස්සේ කමිටුවක් පත් කරලා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ වාර්තාව පදනම් කරගෙන බටලන්දේ අපරාධකරුවන්ට නීතියෙන් දඬුවම් දීමට අවශ්‍ය සියලු දේ අපි කරනවා.

 

රනිල් වික්‍රමසිංහ නම් කිව්වෙ ඔහුට ඒ වාර්තාවෙ චෝදනා නෑ. එහි වැඩිම චෝදනා තියෙන්නෙ ජේවීපි එකට කියලා?

 

රනිල් වික්‍රමසිංහ ප්‍රතිවිරෝධීනේ. එයා කියනවා එයාට ලොකු චෝදනා නැහැ කියලා. අනිත් පැත්තෙන් කියනවා බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරනවා කියලා. එතකොට ඒ තර්ක දෙකේ ප්‍රතිවිරෝධයක් තියෙනවා. බටලන්ද වාර්තාවේ සාක්ෂි තියෙනවා. අවශ්‍ය නම් තව සාක්ෂි දෙන්න පිරිසක් ඉන්නවා. පොලිස් නිලධාරීනුත් ඉන්නවා සාක්ෂි දෙන්න. ඒ හින්දා රනිල් නිර්දෝෂි නම් කලබල වෙන්න ඕනි නෑ. ඒත් රනිල් කලබල වෙලානෙ.

 

මේ වගේ කාරණාවලට ඇත්තටම දඩුවම් දෙන්න පුළුවන්ද මෙච්චර කල් ගෙවිලා?

 

මේ කොමිෂන් සභා වාර්තාවක් තියෙන්නෙ. ඒ පරීක්ෂණ කොමිසම් වාර්තාවෙන් දඩුවම් දීමේ බලයක් නැහැ. ඒ වාර්තාව පදනම් කරගෙන අධ්‍යයනය කරලා නීතිපතිටත් දීලා නඩු පැවරීමක් කරන්න ඕනෑ. නීතිමය ක්‍රියාමාර්ග වේගවත් කිරීමක් හෝ වැළැක්වීමක් කරන්න අපිට බෑ.

 

ඇත්තම කියන්න. මේ ඡන්දයක් කට උඩ තියන් බටලන්දක් එළියට ඒමම අවාසියි නේද?

 

අපිට අවාසි නෑ.

 

කාගෙ වුවමනාවකටද මේක එළියට ආවෙ?

 

ඒක අපි දන්නෙ නෑ. රනිල් වික්‍රමසිංහ අල් -ජසීරා එකේ ඉන්ටර්වීව් එකකට ගියා. ඒකෙදි බටලන්ද වාර්තාව රනිල් ප්‍රතික්ෂේප කරද්දි බීබීසී මාධ්‍යවේදිනියක් මේ වාර්තාව පෙන්නුවා. පරණ ඉතිහාසයේ අපරාධ කොහොම හරි එළියට ඇවිත් පරීක්ෂණ සිද්ධවෙනවා නම් හොඳයි. ඒකෙන් අපිට අවාසියක් නෑ.

 

බටලන්ද කියන්නේ එක වධකාගාරයක් පමණයි. ඒ වගේ වධකාගාර කිහිපයක් ලංකාවේ තැන් තැන්වල තිබුණා. තරුණ තරුණියෝ ගොඩක් ඝාතනය වුණා. මේවා සම්බන්ධව මොකක්ද ගන්න පියවර?

 

අපේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනෑ අපි බලයට ඇවිත් මාස හතරයි කියලා. අපි ආර්ථික වශයෙන් බින්දුවටම බංකොලොත් කරපු රටක් භාරගත්තේ. මුලින්ම අවශ්‍ය රට ජනතාවට යන්තම් තුන්වේල කාලා ආර්ථිකය පොඩ්ඩක් හයි වෙන පෝලිම් නැති  රටක්. අපි ඒකට යමින් සිටිනවා. අපේ රටේ වධකාගාර ගොඩක් තිබුණා. ඊට අමතරව අපේ රටේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම්, මාධ්‍ය ආයතන ගිනි තැබීම් සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ගොඩක් කරන්න තියෙනවා. අපිට ඉදිරි කාලයේදී ඒවා කරන්න පුළුවන්. මේ මොහොතේ මුල්ම ප්‍රශ්නය තමයි බරපතළ ආර්ථික අර්බුදයක ඉන්න අයට සහනයක් ලබාදීම. බටලන්දෙන් අපි පරීක්ෂණ පටන් ගමු.

 

මං ඔබට පින්තූරයක් පෙන්වන්නම්. මේ ඉන්නෙ ඔබද?

ඇත්තම කිව්වොත් ඔව්. ඒ ඉන්නෙ මං.

 

වාද්දුව ප්‍රහාරයට අත්අඩංගුවට පත් ටිල්වින් කියල තමයි මේකෙ හෙඩිම තිබෙන්නේ?

ඔව්.

 

මේකේ පොඩි කෑල්ලක් කියන්නම්. මේකේ කියනවා කැරලිකරුවන් විසින් 1987 සැප්තැම්බර් 6  වාද්දුව යුද හමුදා කඳවුරට පහර දීමට පැමිණියද එය අසාර්ථක විය. ඒ පිළිබඳ සැකපිට එහිදී අත්අඩංගුවට ගත් ජී. රොෂාන්ත ප්‍රනාන්දු, මෙස්ට්‍රි ටිල්වින් සිල්වා, ප්‍රියන්ත ලියනගේ, එච්.කේ. පාලිත, කමල් පෙරේරා, ඩී. ඒ. ප්‍රේමරත්න, එච්.කේ. පියසේන, තිලක් ඉන්ද්‍රසේන යන අයට එරෙහිව  පානදුර මහාධිකරණ විනිසුරු ආර්.එල්. ද සිල්වා ඉදිරියේ නඩු පවරන ලදී. මේ ගැන මොකද කියන්නේ?

 

අපි අත්අඩංගුවට පත්වුණා.  නඩු පැවරුවා. ඔය නඩුවෙ චෝදනාව වුණේ අපි  හමුදා කඳවුරට පහර දුන්නා කියලා නෙවේ  අපි ළඟ  ගිනි අවි තිබ්බා කියලා.

 

බටලන්ද විමර්ශන අරඹනවා නම් මුලින්ම සාක්ෂි ගන්න ඕනේ කේ.ඩී. ලාල්කාන්තගෙන් කියලා විපක්ෂයේ අය චෝදනා කළා. ඒ සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වුණා. ලාල්කාන්ත මහතා කියනවා ඔව් අපි ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා, පාවා දුන් අය ඝාතනය කළා වගේ කාරණා. පක්ෂ මහලේකම් විදිහට මොකක්ද ඔබට කියන්න තියෙන්නෙ?

 

මං හිතන්නේ අපි ඉතාම පැහැදිලිව කියලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කළ අපේ පක්ෂය අසූ තුනේ කළු ජූලිය පදනම් කරගෙන පක්ෂය තහනම් කරලා යූ.එන්.පී.ය විසින්ම පටන් ගත්ත කළු ජූලිය, අසාධාරණ නීති විරෝධීව තහනම පදනම් කරගෙන ගිහිල්ලා අපිව මර්දනය කරන්න පටන් ගත්තම අනික් පැත්තෙන් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළාට පස්සේ අපි ඒකට විරුද්ධව අවි ගත්තා. ඒක අපි පිළිගත්තා. අපි ආණ්ඩුවට විරුද්ධවයි එදා අවි ගත්තේ. අවි ගැටුමක් සිදුවුණා. සිවිල් යුද්ධයක් සිදුවුණා. ඒකෙදි ආයුධවලින් දේශපාලනය කරනකොට දෙපැත්තෙන්ම මැරෙනවා. ඒකෙදි අපි පිළිඅරන් තියෙනවා අපේ පැත්තේ සමහර අය අතින් සිද්ධ නොවිය යුතු දේවල් සිදුවී තිබෙනවා කියලා. ඒ වගේම අපි දන්නවා ඒකෙ වගකීම තියෙන්නේ තනි පුද්ගලයකුට නෙමෙයි, ව්‍යාපාරයකට කියලා. හැබැයි මේ මහා සංහාරය කරපු, හැටදාහක් මරා දාපු, අපේ පක්ෂය තහනම් කරපු, තහනම පවත්වාගෙන ගියපු අපේ පිටින් යන්න විරුද්ධවාදීන් ඝාතනය කරපු ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට තියෙන්නේ. ඒ වෙලාවේ ඇමැතිකම් දරපු රනිල් ඉන්නවා. ඒ නිසා කිසියම් සිවිල් යුද ගැටුමකදී වගකීම යන්නේ ඒ යුද්ධයට පාර කපපු කෙනාට මිස ඒ යුද්ධයට ගොදුරු වුණ අයට නෙමෙයි. ඒ සිවිල් යුද්ධයේ වින්දිතයෝ අපි. අපිට සටන් කරන්න සිදු වුණා. අපි සටන් කළා. ලෝකෙ පුරාම එහෙම තමයි වෙලා තියෙන්නේ. මිනිස්සු දෙපැත්තේ ඉඳලාම සටන් කළානේ.

ටිල්වින් සිල්වාටත් ඒ කියන්නෙ අවි පුහුණුවක් තිබෙනවා?

මට අවි පුහුණුවක් නෑ. මට දේශපාලන පුහුණුවක් තියෙන්නේ.

 

අවියක් අතට අරගෙනම නැද්ද?

අවි අතට ගන්න අවශ්‍ය කාලේ අපි අවි අතට ගත්තා.

 

ඒ කියන්නේ ඒ කාලේ චණ්ඩියෙක්?

චණ්ඩියෙක් නෙවෙයි. මං හිතන්නේ අපේ රටේ ගත්තොත් වීර පුරන්අප්පු ජාතික වීරයෙක්. අවි ගත්තද? නැද්ද? අවි ගත්තා. කැප්පටිපොළ අවි ගත්තා. මේ අවි ගැනීම නෙමෙයි ප්‍රශ්නය. සුනිල් ආරියරත්න මහතා සින්දුවක් ලියලත් තියෙනවා. විජය කුමාරතුංග තමයි සින්දුව කියන්නේ. සටනට එරෙහිව අවි ඔසවන්නේ නැත්නම් ඒ මිනිස්සු නෙවෙයි කියලා. අසාධාරණයක් වුණොත් අපි ඊට එරෙහිව සටන් කරනවා. අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ නම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරනවා. පෙළපාළි යනවා. උද්ඝෝෂණය කරනවා. සටන් කරනවා. හැබැයි අපි තහනම් කරලා මර්දනය කරනවා නම් අපි ඊට එරෙහිව නැඟී සිටිය යුතු නැද්ද? 

 

ඉදිරියේදීත් ඔය අවි අතට ගන්න පුරුද්ද සිද්ධ වෙයිද?

මං හිතන්නේ නෑ. දැන් අපි බලය අරගෙන තියෙන්නේ. ඒ හින්දා එවැනි සටන්වලට යා යුතුයි කියලා.

හැබැයි දැන් බලයට ආවම වර්ජනය කරන අය ගැන කිසිම සංවේදීභාවයක් නෑනේ?

අපි වර්ජන සම්බන්ධව ඉතාම සංවේදී සහ අත්දැකීම් බහුල අය.

 

ඒකම තමයි මාත් අහන්නෙ. ඇයි දැන් ඕගොල්ලන්ට ඒ වර්ජන නයාට අඳුකොළ වගේ වුණේ කියලා ?

හොඳට හොයලා බලන්න සාධාරණ සටනක් තිබුණොත් අපි එකට එකතු වුණා. තේරුමක් නැති සටන්වලට එදත් සම්බන්ධ වුණේ නෑ. දැන් සටන් බලන්න. සෞඛ්‍ය පෙරමුණේ සටන්වල ඉන්නෙ කවුද? රනිල් වික්‍රමසිංහගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ. ඔය සටන එයා තමයි මෙහෙයවන්නෙ.

 

නමුත් දැන් වරප්‍රසාද ගොඩ වැඩිකර නොගත්තට පළාත් පාලන මැතිවරණයත් ගොඩගත්තට පස්සේ ඔය ගොඩ ඉබේම වැඩි කර කරගන්න ඉඩකඩ වැඩියි කියලයි අපිට නම් පේන මානයෙ තියෙන්නේ?

 ඉදිරියේදී අපි වරප්‍රසාද වැඩි කර ගන්නේ නැහැ කියලා මම සහතික වෙනවා. එහෙම වැඩිකර ගත්තොත් අපි එදාට මේ ගැන කතා කරමු. නොවෙන දෙයක් ගැන දැන් කියන්න බැහැනේ. ජනතාවට තව සහන දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. ඒවගේම ඉදිරියේදී අපේ වරප්‍රසාද තවත් කප්පාදු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න තවම නීති ගෙනත් නැහැනේ?

ඒකත් ඉදිරියේදී සිද්ධ වෙනවා.

 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට තඩිබෑවා ගෙදරින් යන්නෙ නැහැ කියලා. මොකුත්ම වුණේ නෑ. ඔය අපූරුවට ඒ ගෙදර ඉන්නෙ තවම?

මහින්ද රාජපක්ෂට අපි කිව්වා ඒ ගෙදර ඉන්න අයිතියක් නැහැ යන්න කියලා. මහින්ද රාජපක්ෂට ලැජ්ජ නැත්නම් දිගටම ඉන්නව නම් ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂගෙ ප්‍රශ්නයක්.

මං උදාහරණයක් කියන්නම්කො. ඔබට අයිති ඉඩමක කවුරු හරි අනවසරයෙන් වගා කරනවා. ඔබ ඉඩම ගාවට ගිහින් “ඔතැනින් ඉවත් වෙයන්” කියලා කෑගහලා වැඩක් තිබෙනවද ඒකට නීතිමය පියවර ගන්නේ නැතුව? ඇයි මහින්ද රාජපක්ෂට නීත්‍යනුකූලව පියවර නොගත්තේ. ලිපියක්වත් ගහන්න තිබ්බනෙ?

මේක අනුන්ගේ කුඹුරක වැඩ කරනවා වගේ දෙයක් නෙමෙයි. මේක දේශපාලනයට සම්බන්ධ කාරණයක්. හිටපු ජනාධිපතිවරයා තමන්ට නොගැළපෙන ගෙයක් අරගෙන තිබෙනවා. ඒක ඔහුගේ ප්‍රශ්නයක්. ගෝඨාභය රාජපක්ෂට තිබුණු සදාචාරය මහින්ද රාජපක්ෂටත් තියෙන්න එපැයි. ගෝඨාභය ගියානේ. අපි ගිහින් මහින්ද බලෙන් එළියට ඇදලා දානකන් ඉන්නේ නැතුව යන එක තමයි එයාගේ වැඩේ. යන්නේ නැත්නම් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගනීවි.

 

ඔය ඉදිරිය එන්නේ කවද්ද?

අපි ඉතින් ඉදිරියේ ප්‍රධාන වැඩ කටයුතු අවසන් කරන්න ඕනෑ. නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ.

 

ආණ්ඩුව මුලින්ම ආව ගමන් වාහන සංදර්ශනයක් දැම්මා. පස්සේ හිටපු ජනාධිපතිට, මැති-ඇමැතිලාට ගෙවල්වලින් යන්න කිව්වා. පස්සේ විවිධ ඝාතන, වංචා සම්බන්ධව දැඩි නීතිරීති, තීන්දු ගන්නවා කිව්වා. ආණ්ඩුව සතියයි එක මාතෘකාවක් ඇදගෙන යන්නේ. ඒත් වෙන දෙයක් නැහැ. ආණ්ඩුවෙ අඩුපාඩු මකන්නද මේ විදිහට හැසිරෙන්නෙ?

 

මං හිතන්නේ අපි කවුරුත් තේරුම් ගන්න ඕනෑ අපි ආණ්ඩුවක් ගත්තේ රට වෙනස් කරන්න. ආණ්ඩුවක් අලුත් වුණාට අපේ රටේ රාජ්‍ය අලුත් වෙලා නැහැ. රාජ්‍ය යන්ත්‍රය පරණයි. අපේ රටේ විපක්ෂය අලුත් වෙලා නෑ. විපක්ෂය පරණයි. ජරා විපක්ෂයමයි තියෙන්නේ. ඊට අමතරව අපේ ජනතාව ගත්තත් හිතන පතන විදිහ තවම ගොඩක් වෙනස් වෙලා නැහැ. රටේ ආයතනවල නීතිරීති වෙනස් වෙලා නැහැ. එතකොට ඒවා අපිට එක රැයකින් කඩා බිඳලා වෙනස් කරන්න බැහැ. අපිට නීතිරීති, ව්‍යවස්ථා, ආයතන එක්ක වැඩ කරන්න වෙලා තියෙනවා. සමහර දේවල් අපේ කලබලයට කරන්න බෑ. අපිට කාලයක් යයි. සමහරවිට නීති වෙනස් කරන්න වෙයි. ආයතන වෙනස් කරන්න වෙයි. ආයතනවල අයගෙ ඇටිටියුඩ් වෙනස් කරන්න වෙයි. මේ ඔක්කොම මාස තුනකින් කරන්න බැහැ. 

 

හැබැයි මට මතකයි මාස කිහිපයකට කලින් ජනාධිපති කිව්වා සහල් මාෆියාව සති දෙකකින් විසඳනවා. මට සති දෙකක් දෙන්න කියලා. ඉතින් විසඳුවද?

 ඔව්. දැන් හාල් ප්‍රශ්න නෑනෙ.

 

ඔබ කියන්නේ හාල් මෝල් හිමියන් කරන ජාවාරම් නැවැත්තුවා කියලද?

ඒවා නවත්තන්න අපි පදනම හදලා තියෙන්නේ. හාල් මිල ස්ථාවරව තිබෙනව. වීවලට ගොවියා සතුටු වෙන මිලක් දුන්නා. අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගොඩක් විසඳලා තියෙද්දි විසඳන්න බැරි එකක් ඇදගන කෑගහන්නෙ ඇයි. මාස කිහිපයක් තව බලන් ඉන්න. මේක විනාශ කරපු රටක්.

 

ෆේස්බුක් බලනවද?

 ඔව්, ඉඳහිට.

 

නිවුස් බලනවද?

ඔව්, ප්‍රවෘත්ති බලනවා.

 

රූපවාහිනි චැනල්වලින් දවසට එක නිව්ස් එකක් හරි යනවා ජනතාවගේ ප්‍රශ්න. ජනතාව කියනවා මේ ආණ්ඩුව විශ්වාස කරලා අපි ඡන්දෙ දුන්නට අපිට ප්‍රශ්න ගොඩයි. බඩු මිලවත් අඩු කළේ නෑ. පොඩි පොඩි ප්‍රශ්න මේ මිනිස්සු කියන්නෙ. ඒව දකින්නේ නැද්ද?

දකිනවා විතරක් නෙවේ. අපි දන්නවා ඒවා ලියන්නෙ කවුද කියලා.

 

ලියන දෙයක් නෙමෙයි මම මේ කිව්වේ, වීඩියෝ යනවා ජනතාවගේ අදහස් කියලා?

වීඩියෝවලට ඒවා කියන්නේ කවුද කියලත් අපි දන්නවා. මේ රටේ ජාතික ජන බලවේගයට මාරාන්තික විරුද්ධ පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මොනවා හරි කියනවා.මිනිස්සු බය නැතුව එහෙම වොයිස් කට් දෙනවද?

 

සමහරු රඟපාන කට්ටිය මේ මයික් ඉස්සරහ. සමහරු කොහොමත් අපිට විරුද්ධ කට්ටිය. මොනවා කළත් බනිනවා. රටේ පොදු මිනිස්සු එහෙම අපිට විරුද්ධ නැහැ. පහුගිය දවසක හදිසි තෙල් පෝලිමක් හැදිච්ච වෙලාවකත් කිව්වා මේක අසාධාරණයි. ආණ්ඩුවට කල් දෙන්න ඕනෑ කියලා. වෛද්‍යවරු වැඩවර්ජනය කරද්දිත් කිව්වා මේක අසාධාරණයි. කාලයක් දෙන්න කියලා. පොදු ජනතාව තීරණය කරන්නේ එහෙමයි. පළාත් පාලන මැතිවරණය අපිට දිනන්න පුළුවන්. විරුද්ධවාදීන් කිහිපදෙනෙක්ගේ මතවාද දිහා බැලුවොත් අපිට ආණ්ඩුවක් කරගෙන යන්න බැහැ. කියන දෙයක් කියපුවාවේ. අපි වැඩ කරගෙන යනවා. අපි බඩු මිල අඩු කළාද, නැද්ද? අඩු කළා. විදුලි බිල අඩු කළා. කුකුල් මස්, බිත්තර, පිටි මිල අඩු කළා. වංචා-දූෂණ නතර කළා. නාස්තිය නැහැ.

 

නමුත් පහුගිය කාලේ දූෂිතයෝ ආරක්ෂා කරනවා කියලනේ අපිට පේන්න තියෙන්නේ?

දූෂිතයෝ ඉන්නවා. ඒ අයට නීතියෙන් දඬුවම් කරන්න ඕනෑ. අපි නඩු පවරමින් වැඩ කරගෙන යනවා. දැනටමත් නාමල් රාජපක්ෂට, යෝෂිත රාජපක්ෂට, ඩේසි ආච්චිට නඩු පවරලා තියෙන්නෙ.

 

සමහරු අත්අඩංගුවට ගත්තට දවසින් දෙකෙන් ඇප දීලා ගෙදර යවනවා. අර ප්‍රභූන් ආරක්ෂා කිරීමේ සංස්කෘතිය තවම එහෙමමනේ. මොකක්ද ජාතික ජන බලවේගයේ වෙනස?

නඩු පවරනකොට පළමුව උසාවිය එයාව රිමාන්ඩ් කරන්නේ නැහැ. නීති දන්නේ නැති මිනිස්සු එහෙම නිර්වචන දෙනවා. 

 

නමුත් ඒ අත්අඩංගුවට ගැනීම ගැනනේ මම කිව්වේ?

සමහරු අත්අඩංගුවට ගන්නේ නැහැ. කෙනෙක්ව අත්අඩංගුවට ගත්තම තව පරීක්ෂණ කරන්න තියෙනවා නම්, ප්‍රශ්නය අලුත් නම්, ඔහුගෙන් සාක්‍ෂිකාරයන්ට හිරිහැර වෙනවා නම් ඔහු දවස් දාහතරකට හිරේ දානවා. 2005ට කලින් වුණු පරණ අපරාධවල නඩු මේ. ඒවාට යළි රිමාන්ඩ් කරන්නේ නෑ. තියෙන්නේ අධි චෝදනා ගොනුකරන්නයි. රිමාන්ඩ් කරනවා කියන්නේ බී රිපෝට් එකක් දාලා සති දෙකක් වහලා තියෙනවා. හැබැයි නඩුව ගන්නේ අධි චෝදනා ගොනුකරලා. කලින් කළේ නැත්තෙත් ඒක. දැන් අපි කරන්නෙත් ඒක. දැන් අධි චෝදනා ගොනුකරලා තියෙනවා, ගොනු කරමින් යනවා. අධිකරණ ක්‍රියාවලියක් තිබෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. නැත්නම් කියන්නේ අපි පළිගන්නවා කියලා.

 

නමුත් මන්ත්‍රිවරයකුට ගමට ගිහින් සේවයක් කරන්න පුළුවන්කම හදන්න එපැයි?

එහෙම යන්න පුළුවන් පහසුකම් අපි සලසා තිබෙනවා. 

 

කොහොමද එහෙම වෙන්නේ. ඔවුන්ගේ වැටුප යන්නේ ගිණුමකටනේ. එතකොට ඒගොල්ලන්ට යම් මුදලක් වෙන් කරන න්‍යාය මොකක්ද?

ඕක ඔහොම ගන්න බැහැ. අපි පක්ෂයක් ලෙස සටන් කළා. අපේ මන්ත්‍රිවරු වුණු ටික කවුරුත් පෞද්ගලිකව සල්ලි වියදම් කළේ නැහැ. ඡන්දෙට වියදම් කළේ පක්ෂය සහ පාක්‍ෂිකයෝ. ඒ නිසා අපි හිතනවා මන්ත්‍රිවරුන් ලෙස මේ සියල්ල සමූහයටයි ඒ සියල්ල අයිති. වැටුප් තනි තනිව දුන්නොත් වැඩිපුර තියෙන කෙනාට තියෙනවා. නැති කෙනාට නැහැ. අපි ඒ වැටුපෙන් ජනතාවටත් යම් සේවයක් කරනවා. මන්ත්‍රිවරුන්ට වාහනයක් ගන්න අවශ්‍ය වුණොත් තෙල් ගහගන්න අවශ්‍ය වුණොත් ඒ වියදම්වලට අවශ්‍ය ප්‍රමාණය අපි ලබා දෙනවා. සමහරවිට ඒ ලබාදෙන එක මදිවෙන්නත් පුළුවන්.

 

ඔය ක්‍රමයම දිගටම යනවද?

ඔව්. මේ ක්‍රමයම දිගටම යනවා.

 

සමහරවිට මේ අලුත් මුහුණුනෙ ගොඩක් තියෙන්නේ. අගහිඟකම් එනකොට ඔවුන් මේ මන්ත්‍රිකම් දාලා යන්න ඉඩ තියෙනවා නේද? 

අලුත් මුහුණු ආවෙත් අපේ සංස්කෘතිය දැනගෙන. මං හිතන්නේ අපේ රටේ ජනතාව අතර සංවාදය එන්න ඕනෑකම තියෙන්නේ අපි මේ පටන් ගන්න හොඳ සංස්කෘතිය වෙනස් කරලා මන්ත්‍රි වරප්‍රසාද ගන්න, ඇති තරම් තෙල් ගහන, වාහනවලින් විතරක් යන බස් එකක කවදාවත් යන්න හිතෙන්නේ නැති, බයිසිකලයක්වත් පදින්න හිතෙන්නේ නැති අමුතු ජීවී කොට්ඨාසයක් කරන්න එපා. තිබුණේ එහෙම එකක්. අපි ඒක වෙනස් කරන්න ගියාම අමාරුයි. පොඩි දුෂ්කරතා තියෙන්න පුළුවන්.

 

මන්ත්‍රිවරු ඉතින් ඔය දුෂ්කරතා ගැන ප්‍රශ්න ඉදිරිපත් කරන්නේවත් නැද්ද?

 ප්‍රශ්න ඉදිරිපත් කරනවා. අපි විසඳුම් ඉදිරිපත් කරනවා. මන්ත්‍රිවරු විතරක් නෙමෙයි මේ පක්ෂයේ වැඩ කරන විශාල පිරිසක් ඉන්නවා මන්ත්‍රි නොවන. මහ රෑ බයිසිකල් පදිනවා. අමාරුවෙන් බයිසිකලයට තෙල් ගහන්න සල්ලි නැතුව ඉන්නවා. මේක ව්‍යාපාරයක්. ව්‍යාපාරය ඒ සංස්කෘතිය රකිනවා. ඒ නිසා අපි අර පැරණි සංස්කෘතියට යන්න කල්පනාවක් නෑ.

 

පක්ෂ ප්‍රධාන ලේකම් ලෙස මට ඔබෙන් යම් උත්තර ටිකක් ගන්න අවශ්‍යයි. ටිල්වින් සිල්වා දැන් පක්ෂයේ ආධ්‍යාත්මික නායකයා වෙලා තියෙනවා කියනවා. මොකක්ද මේකෙ තේරුම?

අනේ එහෙම මම ආධ්‍යාත්මික නායකයෙක් නෙවෙයි. මම නායකයෝ අතර එක්කෙනෙක්. දැන් ඔය සමාජයේ එක එක්කෙනා හදන කතා. සමහර හතුරොත් මට ඔය ආධ්‍යාත්මික නායකයා කියන එක හදනවා. සමහර හිතවත්තුත් හදනවා.

 

හිතවත්තු හදනවා කිව්වේ, ඒ කියන්නේ ඔබට ඇති වෙන ගෞරවයකටද?

වෙන්න ඇති ඉතින්. අපට බනිනකොට අපි ඒකට කෝපයට පත්වන්නෙත් නෑ. අපිව වර්ණනා කරද්දි අපි අඳින්නෙත් නැහැ. මම මමමයි. හැමදාම මට පැවරිච්ච වගකීමක් තියෙනවා. මම ඒක මහන්සි වෙලා කරනවා.

 

ඒත් දැන් ලොකුම චෝදනාව තමයි රටේ නායකයා වෙච්ච ජනාධිපති අනුර නෙමෙයි රටේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නෙ ටිල්වින් තමයි පැලවත්තට වෙලා උපදෙස් දෙන්නේ කියලා?

අපේ ව්‍යාපාරය බිඳින්න, කඩන්න අවශ්‍ය පිරිසක් ඉන්නවා.

 

අනුර කුමාර ජනාධිපතිගේ විධායක බලය පාවිච්චි කරන්නට ටිල්වින් ඉඩ දෙන්නේ නැහැ. ටිල්වින් තමයි අනුර සහෝදරයා මේක මෙහෙම කරන්න, මේක මෙහෙම කරන්න කියලා උපදෙස් දෙන්නේ කියලා බරපතළ චෝදනාවක් තිබෙනවා. ඔබ ඒක දන්නවා වෙන්නත් පුළුවන්. නොදන්නවා වෙන්නත් පුළුවන්?

 

අපිට ඔය එක එක්කෙනා කතා කියයි. අපි සාමූහිකයි. අපි එකතු වෙලා තීරණ ගන්නෙ. ඒ තීරණ මත තමයි අපි වැඩ කරන්නේ. නමුත් විශේෂ අවස්ථාවල අනුර සහෝදරයා ගන්න තීරණ මට කියනවා. මට යමක් දැනුණොත් මම එයාට කියනවා. අපේ වෙන සහෝදරයන්ට දැනුණොත් ඒවා මට කියනවා. ඉතින් අපි එකිනෙකා සාමූහිකව වැඩ කරගෙන යනවා. ඒ නැතුව මම ආණ්ඩු කරන්න උපදෙස් දෙනවා කියන එක නම් පදනම් විරහිතයි.

 

විවිධ කාලවකවානුවල ජවිපෙ නායකයන් වෙනස් වුණා. නමුත් ප්‍රධාන ලේකම් මේක දාලා යන්නේ නැහැලු. මහින්ද රාජපක්ෂලාට, රනිල් වික්‍රමසිංහලට බැන්නා නාකි වෙලත් ගෙදර යන්නේ නෑ බලලෝභී කියලා. ඔබට මේ චෝදනාව කළොත් ඔබට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? ඔය ප්‍රධාන ලේකම් තනතුර ඔච්චර බලවත්ද?

 

බලවත් නෙමේ. ප්‍රධාන ලේකම් තනතුර පක්ෂයකට වැදගත්. මට පක්‍ෂය වැඩක් පවරලා තිබෙනවා. මම ඒක කරගෙන යනවා. ප්‍රධාන ලේකම් තනතුර කියන්නේ රජයේ තනතුරක් නොවෙයි. 

 

නමුත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන ලේකම්ට නේද විශාල බලයක් තිබෙන්නේ?

 

අපේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව ලොකුම බලතල පැවරී තිබෙන්නේ මට නෙවෙයි, මධ්‍යම කාරක සභාවට. ඊළඟට පක්ෂ නායකයාට. අපේ පක්ෂ ව්‍යවස්ථාවේ ප්‍රධාන ලේකම් තමයි නිල කටයුතු කරන්නේ. ව්‍යවස්ථාවේ තීන්දු ගැනීමේ බලය තියෙන්නේ ලේකම්ට හෝ නායකයාට නොවෙයි. මධ්‍යම කාරක සභාවට. මධ්‍යම කාරක සභාව කැඳවන්නේ මම. මූලාසනය හොබවන්නේ මම. 

 

නමුත් කට්ටිය චෝදනා කරන්නේ මැරෙනකම්ම ප්‍රධාන ලේකම්කමේ ඉඳී කියලා?

 

කට්ටිය හිතන් ඉන්නවා එහෙම. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්න ඕනෙ නෑ. කවුරුත් මට පඩි ගෙවන්නෙත් නෑ. මම රටට බරකුත් නෑ. මට පෙන්ෂන් එකකුත් නැහැ. මගේ පණ තියෙනකම් මම වැඩ කරනවා.

 

@ සංවාදය – අනුරාධා හේරත්

මව්බිම

නවතම ලිපි