SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එනවා පේනවා මැණිකා යනවා පේනවා අදානි යනවා කිව්වා.

ආයෙමත් අදානි එනවා කියනවා.  එතකොට හරි එක මොකක්ද අදානි යනවද? එනවද?  එහෙම නැත්නම් තවම මෙහේ ඉන්නවද?

 

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති උපදේශක කාරක සභා රැස්වීමකදී කිව්වේ “මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බවයි.”  කොටින්ම අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට තම තීරණය ගැනීමට සති දෙකක් කල් දෙන බවත් ඇමැතිගේ කතාවේ මතුවෙච්ච දෙයක්.

 

ඔන්න බබෝ අදානිත් ඒකට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ලංකා රජය විසින් මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර  ලබාදුන් අනුමැතිය අනුව කටයුතු කරන්න කැමති නම් යළිත් එම ව්‍යාපෘතිය ආරම්භ කරන්න අදානි සමාගම කැමැතියි කියලා ලංකා රජයට දැනුම් දීලා.

 

වසර දෙකක දීර්ඝ සාකච්ඡාවකින් පසු ශ්‍රී ලංකා රජය අනුමැතිය ලබාදෙන තෙක්  පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘතිය හා සම්ප්‍රේෂණ සබඳතා අවසන් කිරීමට සමාගම උත්සාහ කළ බව කියන අදානිලා නව රජයේ තීරණය දැනුම්දෙන තෙක් බලා සිටියත් රජයෙන් කිසිම නිල සන්නිවේදනයක් නැති නිසා අදාළ ව්‍යාපෘති අකුළගෙන යන්න තීරණය කළා කියල.

 

අදානිලා ගියා කිව්වහම ඒක ආණ්ඩුවේ නිර්භීතකමට බයේ දිව්වා කිව්ව කට්ටිය අදානිලා ආයේ එනකොට ආණඩුවේ බයාදුකම කියයිද මන්දා. ඒ මොකක් වුණත් හිතෙන්නෙ අදානිලා යන්නෙත් නෑ. මේ ආණ්ඩුව යවන්නෙත් නැහැ කියලයි. මේවා තදට ගැට ගැහිලා ඉවරයි. අදානිලා ආයේ ලංකාව දාලා යන්නෙ නැහැ.  අදානිලා ලංකාවට රිංගුවේ යන්න නෙමෙයි. රනිල්ද අනුරද  කියලා නැහැ. මෝදි  ප්‍රබලයි.  එහෙමනම් මෝදිට  කිට්ටු අදානි ගැන කවරක් කියන්නද? කියලා ඔම්බුස්මන්ඩ් කල්පනා කරන්නේ.

 

 

නලින්ද අනුරාධපුරේ ගියා වගේ

 

ලංකාවේ පිනට පහළවන සෞඛ්‍ය ඇමැති කෙනෙක් තමයි දැන් ඉන්නෙ. අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධිය වුණහම මෙන්න ඇමැති සේරම වැඩ දාලා තකහනියේ යනවා අනුරාධපුර ගිහිල්ලා මාධ්‍ය සාකච්ඡාවකුත් දෙනවා.  ඇමැති ඇයි අනුරාධපුරයටම යන්නෙ. ඒකේ කිසිම විශේෂත්වයක් නැහැනේ. ඔය ටික මෙහෙ ඉඳලා  කියන්න පුළුවන්නේ.  මේ මාලිමා රංගනද?  ඒ මදිවට ඇමැති එහෙ  ගිහින් කියනවා මේ රෝහල ආරක්ෂා කරගන්න ප්‍රදේශයේ ජනතාවගේ විශාල සහායක් උවමනායි. කියලා. අලි හැප්පෙන එක නවත්වන්න ඒ අවට ප්‍රදේශ වාසින්ගේ  ආරක්ෂාව ඕන.  රිළවු එළවන්න ප්‍රදේශවාසින්ගේ ආරක්ෂාව ඕන. දැන් අනුරාධපුර රෝහල ආරක්ෂා කරන්න ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව ඕන. ඕක කියන්න තකහනියේම මාධ්‍ය සන්දර්ශන දාගෙන අනුරාධපුර යන්න ඕන නැහැනේ. මෙහෙ ඉඳලා කියන්න තිබුණා.

 

වෛද්‍යවරියගේ සිද්ධියට  අදාළ පුද්ගලයා අල්ලනකම් වැඩවර්ජනය කරපු වෛද්‍යවරු සැකකරු ඇල්ලුවට පස්සෙත් තව ටිකක් වැඩවරමු කියලා ඇදගෙන යනකොට  සුපුරුදු පරිදි බේත් ගන්න ගිය ලෙඩ්ඩු අඬා වැටෙනවා.  ඒවා බලලා ඒ අය එක්ක කතා කරලා විසඳුම් දෙන්නම් කියන්න ඇමැතිට හයිය නෑ.  අන්න දුවනවා අනුරාධපුරේ. ඒකත් වෙන ලෙඩක්. සිද්ධිය වෙච්ච තැන, වෙච්ච කෙනා, ඒක කරපු කෙනා මේවා බලන්න තියෙන ජනතා උනන්දුවම තමයි ජනතා නියෝජිතයන්ටත් තියෙන්නේ.

 

 

ආණ්ඩුව කරන්න ඕන මේවා පුළුවන්තාක් අවම කර ගන්න ක්‍රියාකරන එක. එහෙම  නැතිව වෛද්‍යවරියක් කියලා වැඩේ වෙනස් මුහුණුවරක් දීලා කතා පවත්වන එක නොවෙයි.  ‍වෛද්‍යවරියකට වුණත් ලෙඩෙකුට වුණත් කාට වුණත් අසාධාරණය අසාධාරණයමයි. ඇමැති නලින්දත් වෛද්‍යවරයෙක් හින්දා එයාගේ කුලකය ගැන උනන්දුව පෙනුණා. ඒක කොච්චර දුර ගියාද කියනවනම් අනුරාධපුරයටත් ගියා. ඇමැති අනුරාධපුරේ ගියා වගේ කියලා කතාවක් හැදුවත් පාඩු නෑ. වැඩකට නැති ගමනක්නේ ගියේ. කලුවා මාරපන ගියා වගේම තමයි නලින්ද අනුරාධපුරේ ගිය එක. දෙකම යන්නම් වාලේ ගියා.

 

 

ලාල්ගේ සුරා කෑම

 

ලාල් කාන්ත ඇමැතිවරයා වෙන්න කලින් ඉඳලම කතා කළ විදිහ තමයි අදත් කතා කරන්නෙ.  මළගෙවල්වල නයිට් ගහනකොට අහගෙන ඉන්න පුළුවන් කතා. අද නයිට් ගහන එක වැඩක් විදිහට කරන්නෙ නැති හින්දා කතා කාරයොත් වඳ වෙලා. ලාල් ඇමති‍ත් ඒ වගේ තමයි. ඒ කතා  කොහේ හරි නොමෙයි පාර්ලිමේන්තුවේම කරනවා.

 

 

එයා කියනවා.  මත්මය දියර කියන්නෙ  ආහාරයක්ලු. දොස්තරලා මොනවා කිව්වත් ඇත්ත ඒකලු.  හැබැයි අනෙක් හැම ආණ්ඩුවක් වගේම මේ ආණ්ඩුවත් ඒ ආහාරයටම තමයි බදු ගහන්නෙ.  සිංහල අවුරුද්දට  අඩු මුදලට බෝතලයක් කියමින් තව වෙනම වින්දනයක් ජනතාවට දෙනවා. 

 

 

මේ ඒ වගේම නව චරිත දක්වන පොඩි  රංගන තමයි ලාල්ගේ ආහාර කතාවත්. බොන මිනිහට බනින ගමන් හොඳට බොන  අය ඉන්න ආණ්ඩුවක  ඒ වගේ පොඩි පොඩි දියරමය ආහාරයක් ගන්නවා ඇරෙන්න වෙන මුකුත් කරන්න බෑ.  බීල නැතිව බීපු අයට වඩා විකාර කතා ඉන්න තැනක් මේක. ඉතින් එහෙම බලපුවහම හොඳම දේ ඒවා  හිතන්නෙ නැතිව ණය වෙලා හරි දියරමය ආහාර ගන්න එක තමයි දැන් ඔය කතාවලට හිනා යන්නෙත් නෑ. අරක්කුත් බාල වෙලා.

 

 

මගේ කතාව

 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළව නිලධාරීන් ලියලා දුන්න කතාව වැඩක් නැහැ කියලා. එයා එයාට ඕන විදිහට එයාගේම කතාව කරනවා කියලා තමයි ලාල් ඇමැති කතාව කළේ. එයාගේ කතාව එයාට හොඳ වුණාට රටට ඇති වැඩක් නැහැ. කොහොමත් මේ ආණ්ඩුවේ  හැමෝටම තියෙන්නේ මගේ කතා තමයි අපේ කතා තාමත් මේ ආණ්ඩුවට නෑ. අපේ කතා එන්න තව සෑහෙන කල් යයි.  එතකන් මගේ කතා අහමු.

 

 

 අන්න නඩු

 

“ගෝඨාගෝගම” අවසාන ජවනිකාවලදී ඒ කාලේ හිටපු ඇමැතිවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා කියලා ඒවට වන්දි ගත්තා. ඒ වන්දි ගණන් ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ එක දිගට දිගහැරියා. ලක්ෂ හත් අටසියය අරගෙන තිබුණේ. ඉතින් අරයට මෙච්චරයි, මෙයාට මෙච්චරයි කිව්වට ඊට එහා ඒ ගැන කතාවක් නැහැ.

 

ඒත් නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ පෙත්සමක් ගොනු කරලා ඒකට විරුද්ධව. ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සිද්ධිය වන අවස්ථාවේ හිටපු ආරක්ෂක නිලධාරීන්, වැඩබලන පොලිස්පති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් නම් කරලා.

 

 

කොහොම හරි ගෙවල් ගිනි ගත්තා කියලා හරි ගිනි තිබ්බා කියලා හරි මැති ඇමැතිවරු 43ක් වන්දි අරගෙන තිබුණා. ඒක තනිකරම මහජන මුදල් අවභාවිත කිරීමක් කියලා දාබරේ නීතිඥයා කියන්නෙ වන්දි විදිහට ඒ අයට අයිති ලක්ෂ 25ක් වාගේ මුදලක් වුණත් දේශපාලන බලය පාවිච්චි කරලා හිතු හිතූ ගණන් අරගෙන හින්දා ඒක විසඳගන්න තමයි එතුමා උසාවි ගිහින් තියෙන්නෙ. අන්න නඩු. ඒකට නීතිඥ දාබරේට සැලියුට් එකක් ගහන්න වටිනවා හැම දෙනාම.

 

 

 පිවිතුරු බොරු

 

පිවිතුරු ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සියලුම මැතිවරණ දිස්ත්‍රික්වලට තරග කරනවා කියලා කියනවා. පිවිතුරු කිව්වේ උදය ගම්මන්පිලට. එයාගේ පක්ෂය පිවිතුරුනෙ. පිවිතුරු හෙළ උරුමය. එයා එන්නෙම ආණ්ඩුව ජනතාවට කියන බොරු ජනතාවට තෝරලා බේරලා දෙන්නයි කියන්නෙ. එයත් එන්නෙ අර සර්වජන කෙනා එක්කනෙ. එයා කියපු බොරු ජනතාව තවම සිහි කරනවා. එහෙව් නයි ඇරපු තැනක ඉඳලා තමයි පිවිතුරු බොරු ගැන කියන්නෙ. පිවිතුරු කියනවා, වත්මන් ජනාධිපතිට කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. රනිල්ගේ ප්‍රතිපත්තියට බැන බැන අරගෙන යනවා කියලා. ඒවත් දැන් අහලා අහලා හරිම අප්පිරියයි පිවිතුරු.

 

ඔයා ඔහොම කරන්න. ආණ්ඩුවේ බොරුත් පිවිතුරුලා කරපු කියපු බොරුත් මේ රටේ මිනිස්සු දන්නවා. ඒකනේ පිවිතුරු ඔයාලව ගෙදර යැව්වේ. බලමු ඔය විදිහටත් උත්සාහ කරලා බලන්න. රුපියල් සියය ගාණේ අරන් කියපු කරපු බොරුත් මතකනේ.

 

 

 රත්තරන්ට හිතෙන හැටි

 

රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයා දැන් දාර්ශනික වෙලා. තැන්පත් වෙලා. රත්තරන් අදහස් ඉදිරිපත් කරන්න පටන් අරගෙන. එයා කියනවා “මේ ආණ්ඩුවත් හරියට ජීවිතය වගේමයි” කියලා. ඉපදුණු දවස දැනගත්තට මැරෙන දවස දන්නෙ නැහැලු. එයාටත් මතකනේ අල්ලස් එකට එන්න කියපුවහම නයෙක් කෑවා. ජීවිතේ හැටි. නයා මැරුණා. මෙයා ඉතිරි වුණා. ජීවිතේ කියන්නෙ තණ අග පිනි බින්දුවක් වගේ. ආණ්ඩුවත් ඒ වගේ තත්ත්වයක කියලා. රෝහිත මේවා කියන්නෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන ගමන් ශිෂ්‍යත්වය තහනම් කරනවා වගේ කතාවලට උත්තර විදිහට. ඒකෙ පොඩි ඇත්තක් තියෙනවා. මොකද එන පාලකයෝ හිතනවා එයාලා හිතන පතන විදිහ හරි කියලා. එහෙම හිතලා ගන්න තීරණ අවුල් කියලා තේරෙනකොට ඒ ආණ්ඩු ලොවෙත් නැහැ. මේවත් එහෙම නෙවෙයි කියන්නෙ කොහොමද රත්තරන් නේද?

 

 

 චතුරංගගෙ ඩිජිටල්

 

ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 100ක හිර වෙනවද එහෙම නැත්නම් ඩොලර් බිලියන 250ක් ඉතිරි කර ඉදිරි වසර දහයක් තුළ කරනවාද තීරණාත්මක සාධකය මේ වැය ශීර්ෂ දෙකෙන් පෙන්නුම් කරනවා කියලා. නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ කියනවා. අපි ඩිජිටල් ගැන කතා කරද්දී ලෝකය ඩිජිටල්කරණයෙන් සෑහෙන දුර ගිහිල්ලලු. ඕක චතුරංග කියන්න ඕන නෑ පොඩි ළමයෙක් වුණත් දන්නවා. දැන් ඕවා කියවලා වැඩක් නැහැ. කරන්න පුළුවන් ටික කරන්න කෝ. කතා නම් අහලම ඇති වෙලා. ඔය කට්ටියගෙ කතා නම් බලපුවහම වෙන රටවල දේශපාලකයො හිතලත් නෑ. ඒවා ඩිජිටල්වලට වඩා හරි වේගවත්. බොරුම ගැන හිතන්න. පොඩි බොරුද? ඔයාලා කියන්නෙ.

 

 

 කොළඹ නගරාධිපතිනි තේරිලා

 

කොළඹ නගර සභාවට ආයෙමත් රෝසි සේනානායක ඉල්ලනවා කියලා ආරංචියි. රත්තරන් වැසිකිළිය ආයේ කාට දෙන්නද කියලා හිතනවා ඇති. හැබැයි ඒක මොනව වුණත් තවත් කෙනෙක් එනව කැලී බල්තසාර් කියලා. එයාව දාන්නෙ ආණ්ඩුව. ආණ්ඩුව දිනාගෙන එන නිසා කවුරු දැම්මත් දිනයි කියන තැන ඉඳල රාසි දානවා වෙන්න පුළුවන්. එයත් පසුගිය මහ මැතිවරණයට ඉල්ලලා පරාද වෙච්ච කෙනෙක්. ඒක පරාද වුණහම මොකද මේක දිනන්න කියලා  මේකට දාලා. සජබය ඉරාන් වික්‍රමරත්නව දාන්න ඉන්නෙ. තරගයක් තියෙයි. ඒත් බල්තසාර් නම් දැනටමත් දිනලා වගේ තමයි හැසිරෙන්නෙ. සමහරු කියන්නෙ එයා නගරාධිපති වෙලා ඉවරයි කියලා. කොළ පාට වෙච්ච කොළඹ සුද්ද කරලම දානව කියල බල්තසාර් කියනවා කියන්නෙ හැම තැනම.

 

 

එහෙම කියනකොට නම් බයත් හිතෙනවා. කොළ පාට ඉවත් කරලා රතු පාට කරයිද මන්දා. පරවියන් උඩ අරින කස්ටිය බදා ගන්න. හිනා වක්කරන මේ වෙන්ඩ නගරාධිපතිනිය නගරාධිපතිනිය වුණොත් මොනව වෙයිද? දැනටමත් පරණ බදාගත්ත අයම ඈතින් තියලලු. පරවියන් ඉගිලිලා ගිහින්ලු. ඉස්සර සහෝදරයා කියලා කතා කරපු අයට කෝ අර සහෝදරයා කියලා ඇහැව්වොත් මෙයාට කේන්ති යනවයි කියලත් කතාව. මොන සහෝදරයද? එයාගෙ පිළිතුරලු.

 

 

බල්තසාර් දිනයිද කියලා අහන අයට වටගල නියෝජ්‍ය ඇමැතිතුමා කියන්නෙ එයා ඉල්ලනවා විතරක් නෙවෙයි ඉල්ලලා දිනනවයි කියලයි. වටගල කියනව නම් අපි සද්ද නොකර ඉමු. වටගල කිව්වොත් ඉතින් බඩුම තමයි.

 

පෝය දෙක ඉවරයිද?

 

පෝය දෙකෙන් පාතාලය මර්දනය කිරීමේ ප්‍රතිඵල විදිහට පෝයටත් කෙනෙක් මරන තැනට තත්ත්වය වර්ධනය වෙලා. ආණ්ඩුව හොරාට වගේ හිටියට හරි හරි දේවල් වෙන්න ඇරලා බලාගෙන ඉන්නෙ. බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරි වෙඩි තබා ඝාතනය වෙනවා. මේ කීවෙනි පෝයද කියලා ඔම්බුස්මන්ඩ් කල්පනා කරන්නෙ.

 

 

 පරාද වීම හරි නේද?

 

රනිල් වික්‍රමසිංහගෙ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි දෙනව දැකපු අයට පුදුම තරහක් එන්නෙ මේ පත්වීම් ගන්න ආපු රනිල්වාදීන් එක්ක. ඇයි යකෝ මේ මොන හිඟන ඩයල්ද කියලා රනිල් මේ මිනිස්සුන්ව කිසිම ගානකට ගත්තෙ නෑ. ඒත් පස්සෙන්ම ඒ අය යනවා. ප්‍රශ්නයක් ඇහැව්වහම ඉඳගන්න කියලා තග  දානවා. රනිල් ඉතිහාසය පුරා ඡන්දයෙන් පැරදුණේ ඇයි කියලා හිතාගන්න පුළුවන්නෙ. රනිල්ට පොඩි මිනිස්සු පේන්න බෑ. එකෙන්ම තේරෙනවා බූතයෝ දෙන්නකුට ඇරෙන්න රනිල්ට ඔය අනෙක් අය අදාළම නැහැ. සජබ එක්ක එකතු වෙන්න හැදුවට රනිල්ට ඔය ඇත්තට එහෙම වුවමනාවක් නෑ. එයාට ඕන දේවල් ඉබේ ලැබෙන්න නිකන්ම ලැබෙන්න. ගෝඨාභය ගියහම එයාට ජනාධිපතිකම නිකන් ලැබුණ නිසා  හැමදේම ලැබෙයි කියලා හිතනවා.

 

 

 රනිල් හිරේ යයිද? 

 

පසුගිය දවස්වල ලොකුම කතාබහ අල්ජසීරා ගිය රනිල් වික්‍රමසිංහ ගැන. රනිල්ට විරුද්ධ කට්ටියට අනුව රනිල් එදා හොඳටම නෑවා. මතක හිටින්න ඇන ගත්තා. ඒත් පක්ෂ අය කියන්නෙ රනිල් ඒකට නියමට මුහුණදුන්නා. ඒ මදිවට රටත් බේර ගත්තා කියලයි. මේ රට පුදුම විදිහට කට්ටිය බේර ගන්නෙ. එහෙම බේරගත්තේ නැත්නම් අද රටක් නැහැ. කොහොම වුණත් ඒක බලපුවහම රනිල් ඇන ගත්තෙ නැහැ කියන්න බෑ. ඇන ගත්තා. එහෙන් මෙහෙන් ලකුණු දාගත්තෙ නෑ කියන්නත් බෑ. ලකුණක් දෙකක් දාගත්තා. ඒ සාකච්ඡාව ගියාට පස්සෙත් මෙහෙ ආයෙත් සාකච්ඡාවක් තියලා හොටු පෙරන කොටම තේරෙනවා අම්බානක නාගෙන කියලා. කොහොම හරි ඇති වෙන්න පරාද වෙලා තියෙන රනිල්ට ඔය දේවල් දැනෙන්නෙ නැහැ. එයාට මේ රටේ දේශපාලනයෙදී ගහල තියෙන ගැහිලි බලපුවහම ඕවා මොනාද කියලත් හිතෙනවා.

 

 

ඒකෙන් මේකෙන් එක දෙයක් එළියට ආවා. රනිල් සවුත්තු වෙනවට බිමල් රත්නායක හරි ආසයි කියලා. එයා කිව්වනෙ අන්න ෆෙරාරි එකක් අල්ජසීරා ගිහින් හැප්පිලා කුඩු පට්ටම් වෙලා කියලා. පොඩි ළමයෙක් වගේ සතුටින් කිව්වේ. එකෙන් තේරෙන්නේ මේ අය රනිල්ට හරි බයයි. එහෙම නැත්නම් ඕක එය තරම් ගන්න දෙයක්ද?

 

 

අන්තිමට අල්ජසීරා ගිහින් රනිල් අරගෙන ආවේ එක දෙයයි. ඒ බටලන්ද කොමිසම් වාර්තාව විතරයි. ඔන්න දැන් ඒ ගැන ආයේ කතාබහ අලුත් වෙලා. රනිල් කිව්වහම මේක ටේබල් කරලා නැහැ කියලා. ඔන්න ආණ්ඩුව ඒක කරන්න යනවා. අල්ජසීරා කියන විදිහටත් මේ ආණ්ඩුව වැඩ.

 

 

ඔම්බුස්මන්ඩ්ගෙන් කඩපිලකදී ජනයෙක් අහනවා රනිල් හිරේ යයි නේද කියලා. මම ඇහැව්වා ඒ මොකටද කියලා. එයා කියනවා බටලන්ද කේස් එකට කියලා. මේ ආණ්ඩුව එක්ක සෙල්ලම් කරන්න හම්බ වෙන්නෙ නැහැ කියලා. ඒකෙත් හැටි සාමාන්‍ය මිනිස්සු කොච්චර හිතනවද නේද? මේ නාටක ගැන. ඒ අය ටෙලි නාට්‍ය බලපුවහමත් එහෙමනේ. කෙල්ලට කරදරයක් වෙයිද? කොල්ලව මරයිද වගේ ඒවා නිදිවරාගෙන හිතනවනේ. ඊළඟ කොටස එනකම්. මේවත් ඒ වගේ.

 

 

මම කිව්වා මුකුත් වෙන්නෙ නැහැ කියලා. ඒ කිව්වහම එයාගේ මූණ බටලන්දට ගිනි ඇවිළුණා වගේ වුණා. මේකත් ඒ වගේ ගිනි ඇවිළුණාට පස්සේ ආයේ මොනව ඉතිරි වෙන්නද? රනිල් හිරේ යනකම් බලාගෙන ඉන්න කොච්චර අය ඇත්ද? රනිල් හිරේ යනකම් බලා ඉන්න අයට මර්වින් සිල්වා හිරේට දාපුවම බන්ධනාගාර රෝහලට ඇවිත් කියල මතක නෑ. මොන ආණ්ඩු ආවත් වෙන්නෙ එකම දේ.

 

 

@ ඔම්බුඩ්ස්මන්

mawbima

නවතම ලිපි