ඊයේ (16) පොලිස් මාධ්‍ය කොට්ඨාශය හදිසියේම නිකුත් කරන ලද ප්‍රකාශය සම්බන්ධ ඉතා බරපතල තොරතුරක් අනාවරණය වී තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය හදිසියේම නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වූයේ දේශබන්දු තෙන්නකෝන් සමග අත් අඩංගුවට ගැනීමට නියෝග කෙරුණ කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ඇන්සලම් සිල්වා ඇතුළු සෙසු සැකකරුවන් අත් අඩංගුවට නොගන්නා ලෙසත් ඔවුන්ගෙන් ප්‍රකාශ පමණක් සටහන් කර ගන්නා ලෙසටත් නීතිපතිවරයා උපදෙස් දී ඇති බවය.
නීතිපතිගේ බළලා මල්ලෙන් එළියට පැනීමෙන් දේශබන්දු නාටක තිරය වැසී සුදුපිරුවට ටිරාන් දිනයිද?
කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ නෙවිල් සිල්වා හා එහි ස්ථානාධිපති ඇන්සලම් ද සිල්වා ඇතුළු වග උත්තරකරුවන් 05 දෙනෙකු W 15 හෝටලයේ සිද්ධියට අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරපත් කරන ලද්දේ පසුගිය ජනවාරි මාසයේදීය. මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස W 15 හෝටලයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ බීආර් 6314/23 නඩුවට අදාල නියෝග නිකුත් කරන ලද්දේ 2025 පෙබරවාරි මාස 27 වනදාය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් පවසා ඇත්තේ සියළු විමර්ශකයන්ද පරිපාලකයන්ද බලධාරීන්ද ඉහළම මට්ටමින් මෙම බරපතල තත්වය සැළකිල්ලට ගත යුතු බවත් මෙවැනි තත්වයන් යලිත් සිදු නොවීමට අදාලව ගත යුතු සෑම ආකාරයකම ක්‍රියා මාර්ග ගත හැකි ඉහළම මට්ටමෙන් ගත යුතුව ඇති බවත් නිරීක්ෂණය කරමි යනුවෙන්ය.
මහේස්ත්‍රාත්වරයා දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සෙසු සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙසට නියෝග කරන ලද්දේද එදිනය.
කෙසේ වෙතත් ඒ වන විට කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ වරයා හා ස්ථානාධිපති ඇතුළු මේ සිද්ධියට අදාල සැකකරුවන් අත් අඩංගුවට පත් නොකරන ලෙසට අභියාචනාධිකරණය වෙතින් නියෝගයක් ලබා ගෙන තිබුණ බව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට වසන් කෙරිණි.එසේම දේශබන්දු තෙන්නකෝන් විසින් අත් අඩංගුවට පත් වීමට වලක්වා ගැනීම පිණිස අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමේදීද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටාර් ජනරාල් දිලීප පීරිස්ද මේ නඩුවට සම්බන්ධ සෙසු සැකකරුවන් අත් අඩංගුවට නොගෙන කට උත්තර පමණක් ලබා ගන්නා ලෙසට අභියාචනාධිකරණය රිට් ආඥාවක් පනවා ඇති බවට සදහන් කෙරුවේ නැත.
කඩි කුලප්පුව
පොලිස් මාධ්‍ය කොට්ඨාශය කඩි කුලප්පුව වැළඳී W 15 හෝටලය සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා එකඟතාවකට පත් වී ඇතැයි සදහන් මාධ්‍ය නිවේදනය අද දින නිකුත් කරන තුරුම පසුගිය ජනවාරියේ අභියාචනාධිකරණය විසින් ලබා දී තිබූ එම නියෝගය පොලීසිය විසින් වසන් කර ගෙන තිබුණි.
සැබැවින්ම මේ වසන් කිරීමට බරපතල හේතුවක් තිබූ බව මේ වන විට අනාවරණය වී තිබේ.ඒ මෙම අපරාධ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා කෙරෙන කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වාගේ සහෝදරිය වන මෙලනි සිල්වා නීතිපතිවරයාගේ ලේකම්වරිය වීමය.
පොලිස් පරීක්ෂක ඇනස්ලම් සිල්වා මේ ආකාරයට ගොඩ ගිය ප්‍රථම අවස්ථාවද මෙය නොවේ.මීට ප්‍රථමද ඔහුට එරෙහිව පැවැති නඩු දෙකකින්ද ඔහු මුදා හැරුණ බවට වාර්තා වී තිබෙි.ඒ හිටපු නීතිපති සංජය රාජරත්නම් ගේ කාලයේදීය.
රොමේශ් සිල්වාගේ තර්ක
ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා විසින් දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීමෙන් වලක්වා ගැනීම පිණිස අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ නීතිපති කාර්යාලය නියෝජනය කළ නියෝජ්‍ය සොලිස්ටාර් ජනරාල් ජනරාල් දිලීප පීරිස් අපූරු රංගනයක යෙදුනේය. ඒ වන විටත් මේ නඩුවේ සෙසු සැකකරුවන් අත් අඩංගුවට නොගැනීමට නීතිපති වරයා එකග වී ඇති බව ඔහු හොඳින් දැන සිටි බව පැහැදිලිය. ඒ බව දැන සිටියේ ඔහු පමණක් නොවන බවද මෙහිදී අනාවරණය වන තොරතුරු වලින් පැහැදිලිය.
බළලා පැන්නේ දේශබන්දු බේරගන්න
කෙසේ වෙතත් නීතිපති ගේ බළලා මල්ලෙන් එළියට පැන්නේ ඊයේ දින පොලීසියේ මාධ්‍ය කොට්ඨාශය නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය නිසාය.පොලීසිය මේ හදිසියේ එම නිවේදනය නිකුත් කරන ලද්දේ අද (17) අභියාචනාධිකරණයේ විභාගයට ගැනීමට නියමිත දේශබන්දු තෙන්නකෝන් විසින් තමන් අඩංගුවට ගැනීම වලක්වාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද පෙත්සමේ තීන්දුව පෙත්සම්කාර පාර්ශවයේ වාසියට ලබා දීමට බවද වටහා ගත හැකිය.
පොලිස් හැංගි මුත්තං
මේ අතර පොලීසිය ඉන්ටඩික් පොලිස්පති වරයා ඇල්ලීම සදහා සතර දිග් බාගයේ කරක් ගසමින් සිටී. එය මහජනතාව රැවටීම සදහා කරන ඇස් බැන්දුමක් බව මෙරට ජනතාව දනී.ඒ ගැන නොදන්නේ ජනපති අනුර සහෝදරයා ඇතුළු ජාජබයේ කෙරුම්කාරයන් පමණය.මේ වන විට මෙරට පොලීසිය ජනපති සහෝදරයාට ආම්බාන් කර ගත නොහැකි තරමට විකෘතියක් බවට රූපාන්තරනය වෙමින් පවතී.මෙහිදී ජනපති සහෝදරයා පොලිස් කොමිසමට එරෙහිව ආඩාපාලි පැවසුවද යටි බිම් ගත රාජ්‍යය බලවත් වෙමින් විධායකය හා ජාජබ ආණ්ඩුව ඩෝසර් කර ගෙන යන වටපිටාවක් නිර්මාණය වෙමින් තිබේ.මින් ජාජබ ආණ්ඩුවේ පැවැත්මට සිදු වෙමින් තිබෙන බරපතල හානිය ජාජබයේ කෙරුම්කාරයන් තඹ දොයිතුවකට ගණන් ගන්නා බවක් පේන්නට නැත.එහෙත් ජාජබයට ඡන්දය දුන් බොහෝ හිතවතුන් හා පාක්ෂිකයන් දැන් සිටින්නේ අතිශය කළකිරීමෙනි. තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය හා විධායකය තමන් සතුව පවතින බැවින්.
ආණ්ඩුවට කිසිම හානියක් නොවන බවට ඇති විශ්වාසයෙන් ජාජබ නායකයන් ක්‍රියා කරමින් සිටින බව පෙනී යයි. එහෙත් ජාජබයේ පහළ ඇවරියේ කළකිරීම තව තව වර්ධනය වීම නම් ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට එතරම් හිතකර නැත.
ජනපති මිල්ටෙරි නන්දසේන මතකද?
හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන කල්පනා කෙරුවේද මේ සම්ජ්ජාතියේ තමන් ජනපති ධුරයෙන් ඉවත් කරන්නට තරමේ ජගතකු මේ දූපතේ නැති බවය.
එහෙත් ඔහුට කෙල වෙන්නට ගියේ කැලැන්ඩර දින ගණනක් පමණි.ඡන්දයෙන් පත් වූ විධායක ජනපතිවරයකු ධුරයෙන් එලවා දැමීමට තරමේ අරගලයක් මෙරට දේශපාලනය තුළ එතෙක් සිදු වී නොතිබුණි. එහෙත් මිල්ටෙරි නන්දසේන ජනපති ධුරයෙන් එළවා දමන ලද අරගලය මෙරට දේශපාලනයට අහම්බයක් වුවද ඉන් සමාජය ලද අත්දැකීම වෙනත් හැඩයකින් ජාජබ ආණ්ඩුවට එරෙහිවද මතු විය හැකිය. අවදානම ඇත්තේ එතැනය. ජනපති අනුර සහෝදරයා නෝන්ජලයෙක් බවට වන අදහසක් මේ වන විටත් සමාජගත කිරීමේ කුමන්ත්‍රණකාරී සැළසුමක් යටි බිමි ගතව ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට අසන්නට ලැබේ. එය ආණ්ඩුවට එරෙහි විරුද්ධවාදීන් විසින් ගන්නා ඉතා බරපතල හා විනාශකාරී ඉලක්කයක් බව පැහැදිලිය.
නීතිපතිගේ අරුම පුදුම
පසුගියදා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංඟ ඝාතනය හා සම්බන්ධ සාක්ෂි වසන් කළ බවට චෝදනා ලද සැකකරුවන් කිහිප දෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ගත් තීරණයට එරෙහිව සමාජය තුළින් මතුවූ දැඩි විරෝධය නිසාම ජනපති අනුර සහෝදරයාට නීතිපතිවරයා කැඳවා එම තීරණය ගැන සාකච්ඡා කිරීමට පවා සිදු විය. එහෙත් නීතිපතිවරයා මේ වන විටත් ගන්නා තීන්දු තීරණ සමාජයේ විවාද සම්පන්න කතා බහකට මුල් වී තිබේ. නීතිපතිවරයා විසින් මාතර W 15 සංචාරක හෝටලයේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනා අත් අඩංගුවට නොගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අද (16) හදිසි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. එම මාධ්‍ය නිවේදනයට නිමිත්ත වී තිබුණේ මෙම අපරාධය හා සම්බන්ධ කොළඹ අපරාධ කොට්ඨාශයේ සෙසු නිළධාරීන් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම හා එම පෙත්සම අනුව ඔවුන් අත් අඩංගුවට නොගන්නා බවට නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය අතර එකඟතාවයයි. ඒ අනුව ඔවුන් අත් අඩංගුවට නොගෙන ප්‍රකාශ පමනක් සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා පොලීසියට උපදෙස් ලබා දී තිබෙන බවද අනාවරණය වේ. නීතිපතිවරයා ගේ භුමිකාව ජනපති සහෝදරයාගේ හා ජාජබ ආණ්ඩුවේ අවශ්‍යතාව මත ඉටු කෙරෙන්නක් බවටද සැකයක් ඇති වේ.
කෙසේ වෙතත් අදාල පොලිස් නිලධාරීන් විසින් එම රිට් පෙත්සම ගොනු කරනු ලැබුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිස අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීමටත් පෙරදීය. එම නඩුව අවසන් වරට අධිකරණයට කැඳවූයේ ජනවාරි මස අවසන් භාගයේදීය. පෙත්සම්කාර කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ නෙවිල් සිල්වා ඇතුළු පෙත්සම් කරුවන් අත්අඩංගුවට නොගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුනේ එදිනට පෙර නඩු වාරයේදීය.
ඊළඟ නඩු වාරය මාර්තු 21 වන දිනට යෙදී තිබුණ අතර එම එකගතාව එදින දක්වා පවත්වාගෙන යන බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණි. එලෙසම මෙම එකගතාව දීර්ඝ කරන විටත් මරණ පරීක්ෂණ තීන්දුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රකාශ කර නොතිබිණි. පොලීසියද හදිසියේම නින්දෙන් අවදි වී නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ උපදෙස පිළිබඳව හදිසි මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරුවද මේ වන විටත් එම රිට් පෙත්සම ඉදිරිපත් කරන ලද වග උත්තරකාර පොලිස් නිලධාරීන්ගෙන් කට උත්තර ලබා ගෙන අවසන්ය.
දේශබන්දු තෙන්නකෝන් ගේ රිට් පෙත්සම සම්බන්ධයෙන් අවසන් නියෝගය ලබා දීමට ඇත්තේ අද (17)දිනයේදීය. ඊයේ දින දේශබන්දු තෙන්නකෝන් ගේ බිරිඳ හා පුත්‍රයා ගෙන් අපරාධ විමර්ශන අංශය කට උත්තර ලබා ගන්නා ලදී. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය කිසිදු සදහනක් නොකර පැරණි නඩු තීන්දුවක් පිළිබඳව හදිසියේම මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම සැක සහිතය.
දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලා පසුගියදා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි. ඒ ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මගින්ය.එහිදී අභියාචනාධිකරණයේ පෙනී සිටි ජනපති නීතිඥවරයා දිගින් දිගටම අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා අත් අඩංගුවට ගැනීමෙන් වැලකී සිටින ලෙසට පොලීසියට උපදෙස් දෙන ලෙසටය. මේ අවස්ථාවේ නීතිපති කාර්යාලය නියෝජනය කළ නියෝජ්‍ය සොලිස්ටාර් ජනරාල් දිලීප පීරිස් එම ඉල්ලීමට එරෙහිව බලවත් විරෝධයක් දක්වන ලදී. ජනපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙහිදී අභියාචනාධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කෙරුවේ සිය සේවා දායකයා ප්‍රශ්ණ කිරීමටවත් පොලීසියට කැඳවා නැති බවත්,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා දූෂිත බවත් එය මෙහෙයවන්නේ ශානි අබේසේකර හා රවි සෙනෙවිරත්න යන අයවළුන්ගේ අභිමතයට යටත්ව බවත්ය.
ජනපති නීතිඥ වරයා තවදුරටත් පෙන්වා දුන්නේ තම සේවා දායකයා ඉලක්ක කරගනිමින් පොලීසිය ද්වේෂ සහගතව පක්ෂග්‍රාහීව පූර්ව උපකල්පනයන් මත දේශපාලනික මැදිහත් වීමකින් යුක්තව හා ඕනෑම පිරිවැයක් දරා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවය. මාතර මහේස්ත්‍රාත්වරයා සිය බල සීමාව අතික්‍රමණය කර ඇතැයිද සිය සේවාදායකයා විධිමත් ක්‍රියා පරිපාටියකින් තොරව කුදලා ගෙන යාම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටී යැයිද ජනපති නීතිඥ රොමේෂ් සිල්වා විසින් වැඩි දුරටත් එහිදී සදහන් කෙරුවේය. එහෙත් එම අවස්ථාවේ අභියාචනාධිකරණයෙන් දේශබන්දු තෙන්නකෝන් හට කිසිදු සහනයක් ප්‍රදානය නොකිරිණි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා එහිදී ප්‍රකාශ කෙරුවේ පෙත්සම් කරු සතියක් විතර හිටියනේ ඉදිරියටත් එසේම හිඳීවි යන්නය.
මෙම නඩුවේදී ජනපති නීතිඥ රොමේෂ්ද සිල්වා විසින් මෙරට අධිකරණය හා පොලීසිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඉදිරියේ ඉදිරිපත් කරන ලද කරුණු එකින් එක අවධානයට ගත හොත් ඉන් මෙරට නීතිය සුරක්ෂිත කිරීම සඳහා ස්ථාපිත ආයතන ඉතා දූෂිත බවට අවධාරණය කෙරේ.
ඒ මෙම පෙත්සම්කරු මෙරට එසේ මෙසේ පුද්ගලයකු නොවන නිසාය. පෙත්සම්කරු මෙරට පොලිස්පතිවරයාය. සිය නිල ආධිපත්‍යය යටතේ තිබෙන පොලීසිය ඉතා දූෂිත බව පොලිස්පතිවරයා විසින්ම පවසා තිබීමද ඉතා බරපතල සඳහනකි.
පොලීසියේ හෝ දේශපාලනික හිංසනයන් නිසා මෙරටින් පැන ගොස් විදේශයක පුරවැසි කම ඉල්ලා සිටින අයෙකුට තම රටේ කෙරුවාව ගැන පෙන්වීමට මෙම පෙත්සම කිසිදු සැකයකින් තොරව ඉදිරිපත් කළ හැකි නෛතික වටිනාකමකින් යුතු ලියවිල්ලකි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු වරයා පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ සඳහන අවධානයට ගත හොත් ඉන් අනාවරණය වන්නේ ඔහු සැඟවී සිටින තැන රාජ්‍ය යාන්ත්‍රණය හොඳින් දැන සිටින බවය.එහිදී රාජ්‍ය යාන්ත්‍රණය දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට නොගන්නා බවට අභියාචනාධිකරණ විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට වක්‍ර ආකාරයෙන් සහතිකයක් දී ඇති බවද පැහැදිලිය.
පොලීසිය දේශබන්දු තෙන්නකෝන් සොයා නාඩගම් නටන්නේ මේ පසුබිමේය. දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ හා පුත්‍රයා අපරාධ විමර්ශනයට කැඳවා කට උත්තර ලබා ගත්තද ඉන් එහා ඔවුන්ට කිසිදු අතුරු අන්තරාවක් සිදු නොවීය.
එහෙත් වරෙන්තු නිකුත් කෙරුණ සාමාන්‍ය පුරවැසියෙකුගේ අඹු දරුවන්ට නම් මේ මුක්තිය කෙසේවත් හිමි නොවේ. එය එසේ වූයේ නම් වරෙන්තු කරුවෙකුට රැකවරණ දීමේ චෝදනාව යටතේ ඒ අඹු දරුවන්ට ලගින්නට වන්නේ වැලිකඩ හිරගෙදරය.
කෙසේ වෙතත් අද දින පොලීසියේ මාධ්‍ය කොට්ඨාශය මෙම නඩුව හා සම්බන්ධ පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හා නීතිපතිවරයා අතර ඇතිවූ පැරණි එකගතාවක් පිලිබඳව හදිසි මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම අතිශය සැක සහිතය.
ඉන් ඇඟවෙන්නේ දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට නොගත යුතු බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබා දෙන බවකි. අභියාචනාධිකරණය එම තීන්දුවට එළඹීම කරනු ඇත්තේ මෙම නඩුවෙි අනෙකුත් සැකකරුවන් පිළිබඳව අභියාචනාධිකරණය හා නීතිපතිවරයා අතර ඇති වූ එකඟතාවය පූර්වාදර්ශයක් කර ගෙන විය හැකිය.
එහෙත් එම සැකකාර පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නීතිපති වරයා සමග එම එකඟතාවට එළඹ ඇත්තේ මාතර මහේස්ත්‍රාත්වරයා තීන්දුවක් දීමට පෙර බව අමතක නොකළ යුතුය.දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වුවද ඔහු සැඟවී සිටින ස්ථානය ගැන ජනතාව අතර යම් පොදු අදහසක් තිබේ. එය ඉතා ප්‍රචලිත තොරතුරක් වුවද ජාජබ ආණ්ඩුවේ බලධරයන් හා පොලීසිය ඒ සම්බන්ධයෙන් මුණිවත රැකීම හාස්‍ය ජනකය. ඉන් හැඟී යන්නේ ජාතික ජන බලවේගය බලයට පත් කරවීමට බිම් මට්ටමේ වෙහෙසුන පාක්ෂිකයන්ට වඩා ජනපති සහෝදරයා ඇතුළු මැති ඇමතිවරුන්ට ටිරාන් අයියා වැදගත් වන බවය. අද පොලීසියේ මාධ්‍ය කොට්ඨාශයට කඩි කුලප්පුව වැළඳුනේද ජනපති සහෝදරයා හා ටිරාන් අතර පවතින අඹ යාළුකම ගැන හොඳින් දන්නා නිසා විය හැකිය.
ජාජබ-ටිරන් ආලිංගනය
ජාජබයේ කෙරුම්කාරයන් ශුද්ධාත්මයක් ලෙස ටිරාන් අලස් වැළඳගෙන සිටීම ආණ්ඩුවේ සොහොන් ලකුණ බවට පත් වීමට බොහෝ ඉඩකඩ පවතී. එය මේ ආණ්ඩුවට එරෙහි යටි බිම්ගත නොහොත් පාර රාජ්‍යය කුමන්ත්‍රණකාරීන්ට හොඳ තුරුම්බුවක්ද විය හැකිය. දේශබන්දු තෙන්නකෝන් වැන්නන් රඟපාන්නේද ඒ නාඩගමේ චරිත බව වටහා ගැනීමට තරමේ අවබෝධයක් අඩුම තරමේ ජවිපෙ මුදුන් ඇවරියේ කාඩරයට හෝ නොතිබීමද පුදුම සහගතය. ඒ මේ සෑම දෙනාම සිටින්නේ ජාජබයට හිම් වූ මැතිවරණ ජයග්‍රහණයේ උද්දච්ච ආඩම්බරකමකින් නිසා බව සිතිය හැකිය.
@ලොකු කුමා
srilankanbrief