SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුක්‍රේන සටන් විරාමයක් පිළිබඳ අදහසට තමන් එකඟ වන බව

රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් පැවසීය.

 

නමුත් ඔහු දැඩි කොන්දේසි ගණනාවක් නියම කළ බැවින් සටන් විරාමයක ස්වභාවය පිළිබඳ "ප්‍රශ්න" තවමත් පවතී.

 

රුසියානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, මෙම සතිය මුලදී ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවලින් පසු යුක්‍රේනය එකඟ වූ දින 30ක සටන් විරාම සැලැස්මකට ප්‍රතිචාර දක්වමින් ය.

 

සැලැස්ම සම්බන්ධයෙන් පුටින්ගේ ප්‍රතිචාරය "බලපෑම් කරන ලද එකක්" ලෙස හැඳින්වූ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, රුසියාවට එරෙහිව තවත් සම්බාධක පනවන ලෙස ඉල්ලා සිටියේය.

 

මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියානු තෙල්, ගෑස් සහ බැංකු අංශවලට තවදුරටත් සම්බාධක පැනවීය.

 

බ්‍රහස්පතින්දා සවස පුටින්, එදිනම මොස්කව් වෙත පියාසර කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සමඟ සටන් විරාමය පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇතැයි අපේක්ෂා කරන බව රුසියානු නිලධාරීහූ පැවසූහ.

 

එම හමුව සැබවින්ම සිදු වූවාද යන්න පැහැදිලි නැත. සිකුරාදා, රුසියානු රාජ්‍ය මාධ්‍ය ගුවන් ගමනාගමන නිරීක්ෂණ වෙබ් අඩවියක් වන Flightradar උපුටා දක්වමින් විට්කොෆ් රැගෙන ගිය බවට විශ්වාස කෙරෙන ගුවන් යානය මොස්කව් නුවරින් පිටත්ව ගිය බව පැවසීය.

 

මොස්කව් සහ වොෂින්ටනය මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැත.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ රුසියාව සහ යුක්‍රේනය නව සතුරු ඩ්‍රෝන් ප්‍රහාර වාර්තා කර තිබිණි.

 

යුක්‍රේනය පැවසුවේ ඊසානදිග කාර්කිව් නගරයේ ළමුන් ඇතුළු හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

 

රුසියාවේ දකුණු ප්‍රදේශයේ ටුවාප්සේ නගරයේ තෙල් පිරිපහදු සංකීර්ණයක විශාල ගින්නක් ඇති වූ බව වාර්තා වේ.

 

"අදහස නිවැරදියි - අපි එයට සහාය දෙනවා - නමුත් අප සාකච්ඡා කළ යුතු ප්‍රශ්න තිබෙනවා." බ්‍රහස්පතින්දා මොස්කව්හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පුටින් සටන් විරාම යෝජනාව පිළිබඳව එලෙස පැවසීය.

 

සටන් විරාමයක් "කල්පවත්නා සාමයකට මග පෑදිය යුතු අතර මෙම අර්බුදයේ මූල හේතු ඉවත් කළ යුතුයි" යනුවෙන් පුටින් පැවසීය.

 

 

"අපි අපේ ඇමරිකානු සගයන් සහ හවුල්කරුවන් සමඟ සාකච්ඡා කළ යුතුයි," ඔහු පැවසීය. "සමහර විට මට ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා කරන්න වෙනවා."

 

"යුක්රේන පාර්ශවයට දින 30ක සටන් විරාමයක් අත්කර ගැනීම යහපත් වනු ඇත." පුටින් තවදුරටත් පැවසීය.

"අපි එයට සහාය දෙනවා, නමුත් සලකා බැලිය යුතු සියුම් දේවල් තිබෙනවා. "

 

මතභේදයට තුඩු දී ඇති එක් ක්ෂේත්‍රයක් වන්නේ රුසියාවේ කර්ස්ක් කලාපය බව පුටින් පැවසීය. යුක්‍රේනය පසුගිය වසරේ දී හමුදා ආක්‍රමණයක් දියත් කර එහි යම් භූමි ප්‍රදේශයක් අත්පත් කර ගත්තේය.

 

රුසියාව කර්ස්ක් හි පාලනය සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙන ඇති බව ඔහු පැවසූ අතර, යුක්‍රේන හමුදා "හුදකලා කර ඇති" බව එහිදී පැවසීය.

 

"ඔවුන් ඉවත් වෙන්න හදනවා, නමුත් අපි එය පාලනය කරනවා. ඔවුන්ගේ උපකරණ අතහැර දමා ගොස් තිබෙනවා."

"කර්ස්ක්හි සිටින යුක්‍රේනුවන්ට විකල්ප දෙකක් ඉතිරිව තිබෙනවා. ඒ, යටත් වීම හෝ මිය යාමයි."

 

 

ඉහළම අණදෙන නිලධාරී ඔලෙක්සැන්ඩර් සිර්ස්කි පැවසුවේ රුසියානු හමුදාවන්ගේ "වැඩිවන" පීඩනය නොතකා "ඔවුන් සුදුසු සහ අවශ්‍ය වන තාක් කල්" යුක්‍රේන හමුදා කර්ස්ක් කලාපයේ උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථාන ආරක්ෂා කරනු ඇති බවයි.

 

 

"ඒ දින 30 භාවිතා කරන්නේ කොහොම ද? යුක්‍රේනය බලමුළු ගැන්වීමට? නැවත සන්නද්ධ කිරීමට? මිනිසුන් පුහුණු කිරීම? නැත්නම් ඒ කිසිවක් නැති ද? එහෙනම් ප්‍රශ්නයක් - එය පාලනය කරන්නේ කොහොම ද?" සටන් විරාමයක් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න කිහිපයක් ගෙනහැර දක්වමින් පුටින් එලෙස විමසුවේය.

 

"සටන් අවසන් කිරීමට නියෝග දෙන්නේ කවුද? ඒ කුමන වියදමක් දරාද? කිලෝමීටර් 2,000කට වඩා වැඩි දුරක් සටන් විරාමයක් කඩ කළේ කවුරුන්ද යන්න තීරණය කරන්නේ කවුද? ඒ සියලු ප්‍රශ්නවලට දෙපැත්තෙන්ම ඉතා සූක්ෂම ලෙස කටයුතු කිරීම අවශ්‍යයි. එය පාලනය කරන්නේ කවුද?"

 

පුටින් "කෙලින්ම එපා කියන්නේ නැහැ" නමුත් "ප්‍රායෝගිකව, ඔහු ප්‍රතික්ෂේප කිරීමක් සූදානම් වෙමින් ඉන්නවා, සෙලෙන්ස්කි සිය රාත්‍රී වීඩියෝ කතාවේදී පැවසීය.

 

 

"ඇත්ත වශයෙන්ම, පුටින් මෙම යුද්ධය දිගටම කරගෙන යාමට අවශ්‍ය බවත්, යුක්‍රේන ජාතිකයින් මරා දැමීමට අවශ්‍ය බව කෙලින්ම ජනාධිපති ට්‍රම්ප්ට කියන්න බයෙන් ඉන්නේ."

 

 

රුසියානු නායකයා කොන්දේසි රාශියක් නියම කළ බවත් "කිසිවක් සාර්ථක නොවන බවත්" සෙලෙන්ස්කි පැවසීය.

 

පුටින්ගේ ප්‍රකාශ සහ සෙලෙන්ස්කිගේ ප්‍රතිචාරයෙන් අනතුරුව, දැන් දෙපාර්ශ්වයේම ස්ථාවරයන් අතර පැහැදිලි බෙදීමක් පවතී.

 

යුක්‍රේනයට අවශ්‍ය වන්නේ පියවර දෙකක ක්‍රියාවලියක්,: ඉක්මන් සටන් විරාමයක් සහ කල් පවතින විසඳුමක් සඳහා සාකච්ඡා කිරීමයි.

 

රුසියාව විශ්වාස කරන්නේ ක්‍රියාවලීන් දෙකම එක් ගනුදෙනුවකට ඒකාබද්ධ කළ යුතු බවයි, නමුත් දෙපාර්ශවයම ඔවුන්ගේ වෙනස්කම් පිලිබඳ තර්ක කිරීම දිගටම කරගෙන යයි.

 

 

රුසියාව සාමය ඇති කර ගැනීමට අකමැති බව සහ කාලය ගැනීමට කැමති බව නිරූපණය කිරීමෙන් තමන්ට බලපෑම් කළ හැකි යැයි යුක්‍රේනය සිතයි. අනෙක් අතට, රුසියාව මෙය නේටෝ ව්‍යාප්තිය සහ යුක්‍රේනයේ ස්වෛරීභාවය පිළිබඳ තම මුලික උත්සුකයන් මතු කිරීමට අවස්ථාවක් ලෙස සලකයි.

 

 

දින කිහිපයකින් සටන අවසන් කළ යුතු බවත් ඉක්මනින් ප්‍රතිඵලයක් අවශ්‍ය බව කියූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙය ගැටලුවක් ඇති කරයි. මේ වන විට පුටින් සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් නැති බව පෙනේ.

එහෙත් දැන් පුටින්ට සෙල්ලම් කරන්න අවශ්‍ය බවක් නොපෙනේ.

 

පුට් 2

රුසියාව "නිවැරදි දේ කරනු ඇතැයි" තමන් බලාපොරොත්තු වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

 

පුටින්ගේ ප්‍රකාශයෙන් පසු ධවල මන්දිරයේ දී කතා කරමින් ට්‍රම්ප් පැවසුවේ රුසියානු නායකයා හමුවීමට තමා "ආශා කරන" බවත් රුසියාව "නිවැරදි දේ කරනු ඇතැයි" සහ යෝජිත දින 30ක සටන් විරාමයට එකඟ වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ය.

 

"අපි රුසියාවෙන් සටන් විරාමයක් දකින්න කැමතියි," ඔහු පැවසීය.

 

මීට පෙර ඕවල් කාර්යාලයේ දී නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ පැවති හමුවකදී ට්‍රම්ප් වාර්තාකරුවන්ට පැවසුවේ තමා දැනටමත් යුක්‍රේනය සමඟ කරුණු සාකච්ඡා කර ඇති බවයි.

 

 

"අපි යුක්‍රේනය සමඟ කතා කරමින් සිටියේ කුමන ඉඩම් තබා ගන්නේද නැතහොත් අහිමි වන්නේද යන්න සහ අවසාන ගිවිසුමේ අනෙකුත් කොටස් පිළිබඳවයි," ට්‍රම්ප් පැවසීය.

 

 

"අවසාන ගිවිසුම ගැන බොහෝ විස්තර ඇත්ත වශයෙන්ම සාකච්ඡා කරලා තියෙනවා."

යුක්‍රේනය නේටෝ හමුදා සන්ධානයට එක්වීම පිළිබඳ මාතෘකාව සම්බන්ධයෙන් ට්‍රම්ප් පිළිතුරු දෙමින් පැවසුවේ "ඒකට පිළිතුර මොකක්ද කියලා හැම දෙනාම දන්නවා" යනුවෙනි.

 

රුසියානු ඉන්ධන හා ගෑස් සඳහා නව සම්බාධක පැනවීමෙන් පසුව ට්‍රම්ප් පරිපාලනය ඇමෙරිකා එක්සත් ජනපද ගෙවීම් පද්ධති වෙත වන ප්‍රවේශයන් සීමා කළ අතර, එමඟින් අනෙකුත් රටවලට රුසියානු ඉන්ධන මිලදී ගැනීම දුෂ්කර විය.

 

මුලින්ම ක්‍රෙම්ලිනයේ සහායක යූරි උෂාකොව්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

 

බදාදා ක්‍රෙම්ලිනය විසින් පුටින් හමුදා ඇඳුමින් සැරසී රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයට පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් කරන ලදී. පසුව රුසියාව නිවේදනය කළේ වැදගත් නගරයක් වන සුඩ්ෂා නැවත අත්පත් කරගත් බවයි.

 

රුසියාව 2022 පෙබරවාරි මාසයේදී පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කළ අතර මේ වන විට යුක්‍රේන භූමියෙන් 20% ක් පමණ පාලනය කරයි.

 

බීබීසී විසින් මෙතෙක් විශ්ලේෂණය කර තහවුරු කර ඇති දත්ත වලට අනුව රුසියානු හමුදාව වෙනුවෙන් සටන් කළ 95,000 කට අධික පිරිසක් යුද්ධයෙන් මිය ගොස් තිබේ. සැබෑ මරණ සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි යැයි විශ්වාස කෙරේ.

 

2022 සැප්තැම්බර් මාසයේ සිට රුසියානු හමුදාව තම යුද පිටියේ සිදුවූ මරණ සංඛ්‍යාව ප්‍රසිද්ධියේ හෙළි කර නොමැත. එම වසරේ සොල්දාදුවන් 5,937 ක් මිය ගිය බව රුසියානු හමුදාව ප්‍රකාශ කළේය.

 

යුක්‍රේනය අවසන් වරට සිය මරණ සංඛ්‍යාලේඛන යාවත්කාලීන කළේ 2024 දෙසැම්බර් මාසයේදී ය. ඒ, ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි යුක්‍රේන සොල්දාදුවන් සහ නිලධාරීන් අතර මරණ 43,000 ක් පිළිගත් විට ය. බටහිර විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ මෙම අගය අවතක්සේරු කිරීමක් බව යි.

 

@BBC sinhala