SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පන්නිපිටිය බෝගහවත්ත ප්‍රදේශය කලකට පෙර සරුසාර කුඹුරු යායක් පැවති පෙදෙසකි.

ඉන් හොඳ අස්වැන්නක් එකල ලබාදුන්න ද අද එහි බොහෝ කුඹුරු පුරන් වී ගොසිනි. නාගරික කලාපයකට අයත් නිසා මෙහි ඉඩම් මිල ඉහළය.

 

 

මේ නිසා අනවසරයෙන් කුඹුරු ඉඩම් ගොඩකර ගැනීමට බොහෝ දෙනා උනන්දු වෙති. සමහරු දේශපාලන බලය යොදාගෙන කුඹුරු ගොඩකරති.

 

 

පසුගියදා අපට අසන්නට ලැබුණේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු  මිලදී ගත් කුඹුරක් අවුරුදු කිහිපයකට පෙර පටන් ගොඩකර තිබෙන බවයි. ඔහු විශාල දේශපාලන බලයක් සහිතව අත්තනෝමතිකව කටයුතු කරමින් කුඹුරු ඉඩම අනීතිකව ගොඩකරමින් ඉදිකිරීම් සිදුකරන අතර එය ගම්වාසීන්ට හිරිහැරයක් වී තිබේ.

 

 

2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධිත) පනත අනුව කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩකිරීම සම්පූර්ණයෙන්ම තහනම් වැඩකි. ඇතැම් කුඹුරු හිමියන් තමාගේ කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩකරන අවස්ථා ගණනාවකදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නඩු පවරා දඬුවම් ලබා දී තිබේ. එම නඩු කිහිපයකදීම දිසා අධිකරණ  මගින් කුඹුරු ඉඩම් නීති විරෝධීව ගොඩකිරීමට එරෙහිව තීන්දු ලබාදී ඇත. එසේ තිබියදීත්  තවමත් ලංකාව පුරාම, විශේෂයෙන්ම ඉඩම්වලට ඉහළ මිලක් ලැබෙන සහ ඉඩම් හිඟයක් පවතින ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් ගොඩකරමින් පවතී. ගොඩනැගිලි ඉදිකරමින් පවතී.  

 

 

ඇතැම් කුඹුරු හිමියන් කරන්නේ වාණිජ වටිනාකමක් ඇති කුඹුරු වගා නොකර පුරන් වීමට ඉඩ හැරීමයි. කාලයත් සමඟ වල්බිහි වූ පසු හොරෙන් ගොඩකිරීම සිදුවේ. බෝගහවත්ත කුඹුරත් එයට යාබද කුඹුරුත් පුරන්වීමට හැර තිබෙන්නේ මේ කටයුත්ත පහසුවීමට බව පෙනේ.

 

 

මේ ගැන දැනගැනීමට දේශය කතා කළේ මේ කුඹුරු යාය අයත් වන මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීරටය.

 

“අපි ජනතා පැමිණිල්ල මත ඔය ප්‍රශ්නය සාකච්ඡාවට ගත්තා. ඕක කාලෙකට පෙර ගොඩකරල තියෙන්නේ. ඒ කාලෙ මේ ගැන කිසිම පියවරක් අරගෙන නෑ. ඒ කුඹුරත් පුරන් වෙච්ච එකක්. මේකෙ වළවල් හාරලා පොකුණු වගේකුත් හදල තිබෙනවා. අපට ඒවා වහන්න බෑ. අපි ලබාදෙන උපදෙස්වලට කුඹුරු හිමිකරු එකඟ වෙන්නෙත් නෑ. මේ නිසා පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාවට මේ ගැටලු‍ව ඉදිරිපත් කළා. එතැනට සියලු‍ම නිලධාරීන් හා චෝදනාවට ලක්ව සිටින චිත්‍රපට අධ්‍යක්ෂවරයා පැමිණිය යුතුයි. එවිට සාකච්ඡාවට ලක්කර තීරණයට ඒවි.”

 

වී හැර වෙනත් යම් බෝගයක් වගා කිරීමෙන් සතුටුදායක ඵලදාවක් ලබාගත හැකි කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් වගාවේ වෙනස්කම් කිරීමට ගොවිජන සංවර්ධන පනතේ 29(5) වගන්තියේ විධිවිධානවලට යටත්ව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්ගේ ලිඛිත අවසරය ලබාගත යුතු වේ. වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරන සැමවිමට සිරදඬුවම් හෝ දඩ මුදලකට යටත් විය යුතුය. එහෙත් දේශපාලන බලය අතින් ගත් සමහරුන්ට නම් ඒ දඬුවම් අහිමි බව මේ වැඩවලින් අපට පෙනේ.

 

 

2016 අවුරුද්දේ සිට මේ චිත්‍රපට අධ්‍යක්ෂවරයා ඒ ඒ කාලයේ බලයේ සිටින දේශපාලනඥයන් අල්ලාගෙන සමාජ පිළිගැනීම අවභාවිත කරමින් කොට්ටාව බටහිර 496 ඩී ග්‍රාම නිලධාරී වසමේ සංවේදී පරිසර පද්ධතියක පිහිටි කුඹුරු යායක කොටසක් මෙසේ ගොඩකර තිබේ. එහි අඹ, කොස් ඇතුළු ස්ථිර බෝග වගාකර ඇති අතර කොටසක් හාරා කුඩා වැවක් ද සකසා ඇත. මේ සිටවූ ඇතැම් ගස්වල ඵලදාව ද මේ වනවිට ලැබෙමින් පවතී. ඒ අතරම කෙත්යායට බාධා වන අයුරින් ට්‍රැක්ටර් පැන්නුමක් ද සකස් කර තිබේ.

 

කුඹුරු යායට පැමිණීමට අඩි 10 ක මාර්ගයක් පැවතුණත් එයට අමතරව ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකර තිබෙන අතර එය අනවශ්‍ය බවට මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොළ නිගමනය කළාය.

 

ගම්වැසියන්ගේ පැමිණිලි මත වසර හයක පමණ සිට රජයේ නිලධාරීන් වන කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, ඇමැතිවරුන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් සහ පොලිසිය ද ලිඛිතව සහ වාචිකව දැනුවත් කර තිබුණි. මෙම අනවසර ගොඩකිරීම් සහ ඉදිකිරීම් වහාම නවත්වන්නැයි නියෝග ද ලැබී ඇත.

 

නමුත් එම පුද්ගලයා එම නියෝග ගණනකට නොගනිමින් දිගින් දිගටම ගොඩකිරීම් සහ ඉදිකිරීම් කර තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

 

මේ ගැටලු‍ව සම්බන්ධයෙන් 2025.02.11 දින රැස්වුණු මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2025.02.20 දින ස්ථානීය පරීක්ෂාවක් සිදුකළ අතර එම අවස්ථාවට කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොළ ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

 

එම කමිටුව සිදුකළ ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව අනීතිකව සිය බලය යොදා ගනිමින් මෙම කෙත් බිම් පද්ධතියට සිදුකර තිබූ හානිය මුළුමනින්ම යථාවත් කිරීමට කමිටුව විසින් තීරණය කර තිබේ. කෙසේ වුවත් අලු‍තින් පැමිණි ආණ්ඩුවත් පැවති ආණ්ඩු මෙන් මේවා දිගට අදිමින් නොසිට කඩිනමින් සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරාවි යැයි රටවැසියෝ බලාපොරොත්තු වෙති. ඒ අතරම බෝගහවත්ත කුඹුර හැරෙන්නට අනීතිකව ගොඩකරන අනෙක් කුඹුරු ගැනත් බලධාරීන් අවධානයට ලක්කළ යුතුය.

 

@කුසුම්සිරි විජයවර්ධන

නවතම ලිපි