2025 පළාත් පාලන මැතිවරණය සඳහා හෝමාගම මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම
හා ප්‍රාදේශීය සභා අපේක්ෂක කණ්ඩායම හඳුන්වා දීම එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දී පැවැත්විණ.
එහිදී ඔහු අවධාරණය කළේ, හෝමාගම ප්‍රාදේශීය සභාව නව මාවතකට ගෙන යාමට එක්සත් ජනරජ පෙරමුණ සූදානම් බවයි.
පළාත් පාලන මැතිවරණයේ දී වත්මන් රජයට විරෝධය පළ කරන ලෙසත්, පැන්සල ලකුණෙන් ඉදිරිපත් වන එක්සත් ජනරජ පෙරමුණට ඡන්දය දෙන ලෙසත්, පාඨලී ඉල්ලා සිටියේ ය.
"හෝමාගම ප්‍රාදේශීය සභාව රටේ විශාලතම ප්‍රාදේශීය සභාව වන අතර, එය ගොඩනැගීමට අපට අත්දැකීම් තිබෙනවා. පාඩු ලබමින් තිබූ ආයතන ගොඩනැගූ පළපුරුද්දක් අප සතුව පවතිනවා. ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට කැපවූ පිරිසක් අප සතුව සිටිනවා. හෝමාගම ප්‍රාදේශීය සභාවේ ආදායම කෝටි 100 සිට 200-300 දක්වා ඉහළ නැංවීමට අපට හැකියි. එම නිසා, පරණ පක්ෂවලට ඡන්දය දීමෙන් පලක් නැහැ. එක්සත් ජනරජ පෙරමුණ, පැන්සල් ලකුණෙන් ඉදිරිපත් වන්නේ අලුත් පිරිසක්, පිරිසිදු පිරිසක්, වැඩ කරන පිරිසක්, කාන්තා නායකත්වය ගෙන ඒමට සහ තරුණ ව්‍යවසායකයින් ඉදිරියට ගෙන ඒමටයි."
"විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා කිව්වා. සහන දෙනවයි කිව්වා. පඩි වැඩි කරනවයි කිව්වා. හොරු අල්ලනවයි කිව්වා. මේ එකක්වත් වුණේ නෑ. ඒ නිසා කරුණාකරලා මෙවර පළාත් පාලන මැතිවරණයේ දී අපේ විරෝධය සටහන් කරන්න කියලා අපි කියනවා."
හෝමාගම තාක්ෂණ නගරය විසි දහසක් දරුවන්ට තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙන ස්ථානයක් ලෙස ගොඩනැගීමට සැලසුම් කර තිබුණත්, වත්මන් රජය එයට බදු පනවා ඇති බව ඔහු චෝදනා කළේය.
"හෝමාගම තාක්ෂණ නගරය ගෙනාවා විසිදාහක් දරුවන්ට උගන්නලා ඉදිරියට ගෙනියන්න පුළුවන් රට ඉදිරියට ගෙනියන්න පුළුවන් දෙයක් හැටියට. අද ඒ තාක්ෂණයෙන් ධනය උත්පාදනය කරන අයට බදු ගහනවා. අනුර දිසානායක මහත්තයාගේ ආණ්ඩුව. අද තාක්ෂණයෙන් ධනය උත්පාදනය කරන අයට සීයට පහළොවක් බදු ගහනවා උපයන ඩොලර් වලට. අපි හැදුවේ ඒක විසිදාහක් දරුවන්ට තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙන තැනක් හැටියට. වර්ෂයකට පාරට ඇවිල්ලා මේ ලෑලි එල්ලගෙන උපාධිධාරියෝ කඳුළු ගෑස් කකා යනවා වෙනුවට රටට ඩොලර් බිලියන ගාණක් ගෙන එන දැවැන්ත ආර්ථික මධ්‍යස්ථානයක් තමයි අපි එතන ඉදිකරන්න ගියේ."
එමෙන්ම ජාතික ජන බලවේගයේ හෝමාගම වත්මන් මන්ත්‍රීවරයා විසින් හෝමාගම තාක්ෂණ නගරයෙන් පොල් ගස් ගණනාවකින් පොල් ගෙඩි හාරදාහක් බිම දමා විනාශ කරන බවට චෝදනා කරමින් ගමේ මිනිසුන්ව උසිගැන්වූ බවට චෝදනා කරන ලදී.
එසේම, වත්මන් ආණ්ඩුව පොරොන්දු කඩ කර ඇති බවත්, ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් 2015 දී සිරිසේන ජනාධිපතිවරයා බලයට පැමිණි පසු තමන් ඛනිජ තෙල් ඇමති ලෙස වැඩ භාරගෙන දින 14ක් තුළ පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අඩු කළ බව ද ඔහු සිහිපත් කළේය. වර්තමාන රජය බලයට පැමිණෙන විට තෙල් මත බදු ඉවත් කරන බවට පොරොන්දු වුවද එය මෙතෙක් ඉටු කර නොමැති බව ඔහු චෝදනා කළේය.
විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බවට වත්මන් රජය පොරොන්දු වූ නමුත්, ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබන බවට ඇමතිවරයා පවසන බව පෙන්වා දුන් පාඨලී; ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ බිලියන 144 කට අධික ලාභයක් ලබා ඇති බව ද, පෙන්වා දුන්නේය. සූර්ය බලයෙන් නොමිලේ ලැබෙන විදුලිය 50% කපා දමා ගල් අඟුරු මාෆියාවට අවශ්‍ය විදිහට විදුලි බල මණ්ඩලය ගෙන යන බව ද, හෙතෙම විදුලිබල අමාත්‍යවරයා ප්‍රමුඛ රජය වෙත චෝදනා කරන ලදී.
අත්‍යවශ්‍ය ආහාර සඳහා බදු නොගසන බවට පොරොන්දු වුවද, සහල් කිලෝවට රුපියල් 65 ක බද්දක් පනවා ඇති බවත්, එය තවමත් ඉවත් කර නොමැති බවත් ඔහු පැවසීය.
වත්මන් රජය බොරු පවසමින් ජනතාව රවටන බව ඔහු චෝදනා කළේය.
“වෙසක් කාඩ් එකක් ගැහුවයි කියලා පියංකර ජයරත්න මහත්තයා අල්ලලා තියෙනවා. මහ බැංකු හොරකමේ අර්ජුන මහේන්ද්‍රන් ගේනවා කිව්වට ගෙනාවේ නැහැ. දේශබන්දු මහත්තයාව අල්ලන්නේ නැහැ. ඔහු පිටිපස්සේ ටිරාන් අලස් ඉන්නවා. අනුර දිසානායක ජනාධිපති උනත් ටිරාන් අලස්ට අත තියන්නෙ නැහැ.”
රනිල් වික්‍රමසිංහ වැනි අයව විවේචනය කරමින් සිටිනවා වෙනුවට, අල් ජසීරා සිදුවීම වැනි දේවලින් ප්‍රචාරක වාසිය ලබා ගන්නවා වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ පාර්ලිමේන්තුවේ නිසි පරිදි නීතිරීති සම්පාදනය කොට, චෝදනා කොට වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම බව ද හෙතෙම පෙන්වා දෙයි.
ආණ්ඩුවේ රිලා සංගණනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනරජ පෙරමුණේ නායක පාඨලී පෙන්වා දුන්නේ, ආණ්ඩුව විසින් ප්‍රචාරයක් ගෙන යමින් සිදු කරන රිලා සංගණනයෙන් පසු ඊළඟ පියවර කුමක්දැයි සඳහන් කළ යුතු බව ය. වගා හානි සිදු කරන සතුන් ප්‍රමාණය දැන ගැනීමෙන් අනතුරුව ඊළඟට ගන්නා ක්‍රියාමාර්ගය සඳහන් කිරීමේ වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කළේ ය.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර;
"එක්සත් ජනරජ පෙරමුණේ පැන්සල ලකුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේ ආරම්භක කොළඹ දිස්ත්‍රික්කයේ ආරම්භක මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවක් හැටියට අද දින මේ හෝමාගම ප්‍රාදේශීය සභාවට ඒ වගේම මේ ප්‍රදේශයට අද අපි විසින් අප පක්ෂය විසින් ඉදිරිපත් කරන ඒ අපේක්ෂක ලැයිස්තුව අපේ නියෝජිතයින් හඳුන්වා දීමට ඔබ පැමිණිලා තිබෙනවා.
එක්සත් ජනරජ පෙරමුණ හැටියට වේවා අපේ පක්ෂයේ නායකතුමා විදිහට වේවා එතුමා මේ ප්‍රදේශය වෙනුවෙන් කරන ලද සංවර්ධනය, කරන ලද සේවය ඒ සේවය මේ ප්‍රදේශයේ ගම් මට්ටම දක්වා ගෙන යාමේ දී අපි කරන ලද කාර්යභාරය අති විශාලයි. අපි ඒ ශක්තිය ඒ අත්දැකීම මත අද අපි ඔබ තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ විශේෂයෙන් මේ ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා ජනතාවගේ ආශිර්වාදය, ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඒ ප්‍රාදේශීය සභාව තවත් නව ඉසව්වකට, නව සංවර්ධිත ඉසව්වකට ගෙන යෑමට ඔබ තමුන්නාන්සේලා මූලිකත්වය ගනී. ප්‍රමුඛත්වය ගනියි, ඒ සඳහා ධෛර්යයෙන්, අධිෂ්ඨානයෙන් යුතු වැඩ කරයි කියන බලාපොරොත්තුව අද අපි හැමෝටම ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට පැහැදිලි වුණා ඒ ඒ කොට්ඨාශ වලින් ඉදිරිපත් වන අපේ අපේක්ෂක ලැයිස්තුව වගේම අපේ අතිරේක ලැයිස්තුව තුළත් ඒ සඳහා හැකියාව තියෙන, ඒ සඳහා අත්දැකීම් තියෙන, ඒද සඳහා මහජනතාවගේ දැනටමත්, ඒ ජනතාව වෙනුවෙන්, ජනතාවගේ සුබසාධනය වෙනුවෙන්, ප්‍රජාවගේ සංවර්ධනය වෙනුවෙන්, වැඩ කරපු පිරිසගේ, පිරිසක් තමයි අද තැනට එක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේ මැතිවරණ ව්‍යාපාරය තුළ මොන කුමන පක්ෂයක් මේ ප්‍රදේශයට ඉදිරිපත් වුණත් කුමන ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් වුණත් එක්සත් ජනරජ පෙරමුණේ පන්සල ලකුණ යටතේ තරග වදින ඔබ කණ්ඩායම ඉතාමත් ඉදිරියෙන් ජනතා විශ්වාසය දිනාගෙන ඒ ගමන යන්න හැකියාව ලැබෙයි කියන විශ්වාසය අද අපිට පක්ෂයක් හැටියට ඇතිවෙලා තියෙනවා.”
@මාධ්‍ය ඒකකය