බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු වූ ප්‍රින්ස් සේනාධීර පත්කර ඇත.
1972 වසරෙදී පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව, දික්වෙල උපත ලද ප්‍රින්ස් සේනාධීර දික්වෙල ප්‍රාථමික විද්‍යාලය සහ යෝගියාන, වෑකඩ මහා විද්‍යාලයෙන් මූලික පාසැල් අධ්‍යාපනය ලබා ඇති අතර, 1998 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය ලබා ගන්නා ලදී.
අනතුරුව කැළණිය විශ්වවිද්‍යාලයෙන් සමාජවිද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධිය ලබාගත් ඔහු සරසවි අධ්‍යාපනයේ සිටම සාහිත්‍ය නිර්මාණකරුවෙකු ලෙස ප්‍රකටව සිටියේය.
ඔහු පළමුව නිර්මාණකරණයට පිවිස ඇත්තේ කාව්‍ය නිර්මාණ තුළිනි.
1996 දී කොළඹ විශ්ව විද්‍යාලයේම නිර්මාණකරුවෙකු වූ අතුල සමරනායක සමග ‘සමනල වන්දනාව’, 1999 දී ‘කොවුල් හඬ-මගේ හඬ’, 2011 දී ‘මගේ නැති වූ සරුංගලය’ සහ 2015 දී ‘සුළඟට හැලෙන මල්’ යන කාව්‍ය කෘති පලකළ ප්‍රින්ස් සේනාධීර, 2020 දී ‘පුස්තකාල පූසා සහ තවත් කතා’ කෘතිය තුළින් කෙටිකතාකරණයට ද පිවිසියේය.
ඔහු 2011 දී ‘කළු උස මනුස්සයෙක්’ කෙටිකතා සංග්‍රහය පලකළ අතර, එම කෘතිය එවකට ගොඩගේ, විද්‍යෝදය, රජත පුස්තක සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් වටයේ කෘති තුන අතරට තේරුණු අතර, 2023 දී ඔහු පලකළ ‘ආරිය සිංහබාහු ගේ මරණය’ කෙටිකතා සංග්‍රහය රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීය.
ප්‍රින්ස් සේනාධීර නාගරික කොමසාරිස්වරයෙකු, සහකාර සහ නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයෙකු, ප්‍රාදේශීය ලේකම්වරයෙකු, සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද සේවය කර ඇති අතර, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් කෙරෙන විට රාජ්‍ය භාෂා කොමසාරිස්වරයා ලෙස සේවය කරමින් සිටියේය.