SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනුර කුමාර දිසානායක ආණ්ඩුවට පොලිස් පාර රාජ්‍ය දැන් බරපතල

 

අභියෝගයක් ඉදිරිපත් කර තිබේ. ඒ අත් අඩංගුවට ගෙන පහර දී වද හිංසාවන්ට පත් කරන ලද අපරාධ සැකකාරයින් දෙදෙනෙකු ඝාතනය කිරීම මගිනි. ඒ දෙමටගොඩ සිදුවු ඝාතනයක සැකකරුවන් දෙදෙනෙකු කාකදූවේ දී මරා දැමීමෙනි.

 

 

අලුත්කඩේ අධිකරණය තුළ ගනේමුල්ල සංජීව ඝාතනය කළ පුද්ගලයා ලෙස අත්අඩංගුවට ගත් සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි රඳවා ඇත්තේ  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය. ත්‍රවැප යනු වහාම අහෝසි කළ යුතු බවට අනුර කුමාර දිසානායක බලයට ඒමට පෙර කියා සිටි මර්දනකාරී පනතකි. ඔහු විසින් කරන ලදැයි කියන අපරාධය ත්‍රස්තවාදී ඝනයට නොවැටේ. නමුත් එම පනත යොදා ගැනීමට ආරක්ෂක අංශ තීරණය කළේ ය.

 

අද ආණ්ඩුව සංවිධාන 22ක් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අතර එයට ” සේව් ද පර්ල්” සංවිදානය දඇතුලත් කර තිබේ. ඒ එයට විරුද්ධව කිසිදු පරීක්ෂණයක් නැතිවය. එම සංවිධානය පාස්කු ප්‍රහාරයට සම්බන්ද බව කීවේ ගෝටාගේ බුද්ධි අංශ ප්‍රධානියා වූ  ජෙනරල් සලේය. නීතිඥ හෙජාස් හිස්බුල්ලාට විරුද්ධ නඩුව ජාජබ ආණ්ඩුව ගෙන යන්නේ සලේ ඉදිරිපත්  කළ චෝදනා මතය.

 

මේ පෙර නිමිති පෙන්වන්නේ පැරණි අනීතික ක්‍රියාවන් තවම ඉදිරියට යන බවයි.

 

 

පොලිසිය රාජපක්ෂ කුමරුවකු වන යෝශිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන එන්නේ වායු සමීකරණය කරන ලද වාහනයකය. රාජපක්ෂවරුන්ගේ අපරාධ ගැන නොදන්නා කෙනෙක් නැත. ඒ ද පොලිස් පාර රාජ්‍ය බලපෑමය.

 

නීතියට පිටින්, ව්‍යවස්ථානුකූල භාවිතයන්ට පිටින් ක්‍රියා කරන  පොලිස් ජාලයක් මෙරට තිබෙන බව රහසක් නොවේ. මෙම පොලිස් පාර රාජ්‍ය ජාලයේ ක්‍රියාකරුවන් අතර මාධ්‍ය ආයතන මෙන්ම මාධ්‍යවේදීන් ද සිටිති.

 

 

අද පකිස්ථානයේ යුද හමුදා පාර රාජ්‍ය සහ බලයේ සිටින ආණ්ඩුව කටයුතු කරන්නේ වෙන වෙනම නමුත් එකටය. පාර රාජ්‍ය එය අපරාධ රාජ්‍ය, රහස් හස්තය හෝ යටිබිම්ගත රාජ්‍ය යනු කුමන නමකින් හැදින්වූවද එහි ක්‍රියාාකරිත්වය අනීතික සහ අවිවෘතය. එය විවිධ ජාලයන්ගේ එකමුතුවක් විය හැකිය. එහි නීතිපතිවරු පමණක් නොව ඇමැතිවරුන්ද සිටිය හැකිය.

 

 

“මිනී මරන අයට රටේ කවුරු කතා කළත් මගෙන් ගැලවීමක් නෑ” –  රන්මල් කොඩිකුවක්කු

 

 

එවැනි එක් මාධ්‍යයක්, වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් නම් දරා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුව විසින් පවා නඩු විභාග කර වධකයකු ලෙස තීරණය කරන ලද නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වීරයකු කරමින් ලිපි පළ කරයි. එය කියන්නේ මෙසේය: “අපරාධ මර්දනය කිරිමට නොහැකි  හේතුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටතේ පොලිස් නිලධාරීන්ට නඩු පැවරෙන නිසා අපේ පොලිස් නිලධාරීන් අසරණ බවට පත්ව සිටීම ය.  “උඹලා වගේ මැර වැඩ කරන, මිනී මරන අයට රටේ කවුරු කතා කළත් මගෙන් ගැලවීමක් නැති බව දැනගනිව්”  යන්න රන්මල් කොඩිතුවක්කුගේ ආදර්ශ පාඨය බව එම පුවත්පත වන “දිවයින” කියන්නේ ආඩම්බරයෙනි.

 

රන්මල් කොඩිකුවක්කුගේ එම අනීතික වධඛ භාවිතය පෙන්වා දීමෙන් පසුව පවා අනුර කුමාර ආණ්ඩුවට ඔහු නව අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානත්වයෙන් ඉවත් කිරීමට තරම් බලයක් නැත. ඔහු පමණක් නොව යෝශිත රාජපක්ෂගේ නීතිවේදිනියගේ සැමියා වන උසස් පොලිස් නිලධාරියා ද තවම අනුර කුමාර ආණ්ඩුවේ නව අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානියෙකි. පොලිස් දෙපාර්තමේන්තුවේ නව උපදේශකවරයකු ලෙස පත් කර ගෙන ඇත්තේ ද තාජුඩීන් ඝාතනය වසන් කිරීමට උත්සාහ කළ බවට චෝදනා  ලද රණවීර නම් පොලිස් අධිකාරීවරයෙකි.

 

පොලිස් පාර රාජ්‍ය ඒ තරමට බලවත් ය. එය රාජ්‍යය තුල තවත් රාජ්‍යකි. විටෙක රාජයයේ ද මෙම පාර රාජ්‍යයේ ද ක්‍රියාකාරකම් එකට ගමන් කරයි.

 

දැනටමත් අනුර කුමාර ආණ්ඩුවේ ප්‍රධානීන් මෙම පොලිස් ඝාතන සාධාරණ කර තිබේ.

 

මේ අනුර කුමාර දිසානයකගේ වචනය. ( 2021 දෙසැම්බර් 03 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයකදී – සටහන් වෙබ් අඩවියෙනි)

‘අවසාන වශයෙන් මම කියන්නේ පොලීසියේ ඇතිවෙලා තිබෙන මේ සම්ප්‍රදාය හොඳ සම්ප්‍රදායක් නෙවෙයි කියලායි. ඒක එකම නාටකයක් බවට පත් වී තිබෙනවා. අත්අඩංගුවට ගත්ත කෙනෙක් පොලිස් වෙඩි පහරින් මිය යනවා. ආයුධ පෙන්වන්න ගිය තැන තිබුණු ආයුධයක් පෙරලා එල්ල කිරීම හේතුකොටගෙන. මේ එකම නාටකය. සාමාන්‍යයෙන් පොඩි ළඹයින්වත් ඒ අල්ලස සෙල්ලම කරන්නේ නැහැ. තමුන්වාන්සේලාගේ පොලීසිය එහෙම නෙවෙයි. කවුරුහරි අත්අංගුවට ගන්නවා. ආයුධ පෙන්වන්න ඔහු එක්ක යනවා. ඔහු ඒ ආයුධයක් පෙරලා අතට ගන්නවා. පොලිස් නිලධාරීන්ට ඒ ආයුධයෙන් වෙඩි තියන්න උත්සාහ කරනවා. පොලීසියෙන් වෙඩි තැබීමෙන් ඔහු ඝාතනය වෙනවා. මේක කවුද පිළිගන්නේ? ඔබතුමා කියන්න මේක පිළිගත යුතුද කියලා. මා කියන්නේ අපේ රටේ කිසිවෙක් ජීවත් වෙනවාද, නැද්ද කියලා තීරණය කිරීෆම් අයිතිය එහෙම තිබෙන්න බැහැ කියලායි. එතකොට ඔහු මැරෙනවාද ජීවත් වෙනවාද කියලා තීරණය කරන්නේ කවුද? තමුන්නාන්සේද? එහෙම නැත්නම් පොලිස්පතිතුමාද? පොලිස්පතිතුමට මොකක්ද තිබෙන අයිතිය ඒ අපරාධකාරයා ජීවත් වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න? 

 

දේශබන්දුකරණය

 

දැන් සිදුව ඇත්තේ එවැනි ද සිදුවීමකි. පොලිසිය යළි දේශබන්දුකරණය වීමකි.

 

මෙම පොලිස් ජාලය එක්තරා අන්දමක අපරාධකාරී ජාලයකි. පාර රාජ්‍යය යනු එක් තැනකින් මෙහෙය වන එක් ප්‍රධානියකු යටතේ මෙහෙය වන එක් ජාලයක් නොවේ. වරක් අපරාධකාරී මත්දුව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක්ම අත්අඩංගුවට ගැණුනි. ජනාධිපති අනුර කුමාර දිසානායකටම අනුව  මත්ද්‍රව්‍ය අපරාධ ජාලය ආරක්ෂක අංශ තුල ද ක්‍රියාත්මක වෙයි.

 

ඊයේ රාත්‍රියෙහි පොලිසිය විසින් ඝාතනය කරන ලද ඝාතනය සම්බන්ධයෙක් පොලිසිය කියන කතාව පරණ තැටියමය.

 

“පසුව ඊයේ රාත්‍රි කාලයේදී සැකකරුවන් සඟවා තිබූ තවත් අවි ආයුධ පිළිබඳ පොලීසියට ප්‍රකාශ කිරීමෙන් පසු එම ස්ථානය වෙත සැකකරුවන් රැගෙන ගියා. එහිදී සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන්ගේ ගිනිඅවි උදුරාගෙන පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහ කර තිබුණා.පොලිස් නිලධාරීන් විසින් ජීවිත ආරක්ෂාව සඳහා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.”

 

 

මෙවැනි කතා ජාතික ජන බලවේගයේ දේශපාලනඥයින් පිළිගන්නේද?  බලයට ඒමට කලින් නම් ඔවුන් මෙවැනි කතා පිළිගත්තේ නැත.

 

 

දැන් අභියෝගයට ලක් ව ඇත්තේ මානව හිමිකම් ගැන දේශණා  දී බලයට පත් ජාතික ජන බලවේගයේ හෘද සාක්ෂියයි. එහි කිසිවකු පක්ෂයේ  ගෝඩ් පාදර්ගෙන් නොවිමසා මේ ගැන කටක් නොඅරින බවට කැට තැබිය හැකිය. අගමැතිනි හරනි අමරසූරියගේ මානව හිමිකම් දැක්මට පැලවත්තේ දී අඟුලු දමා තිබේද?

 

 

වත්මන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර  අවුරුද්දකට පෙර  කීවේ මෙසේය. ( සටහන් වෙබ් අඩවියෙනි)

‘ඌ පාතාලයා, කුඩුකාරයා කියා නිහඬ වෙන්න එපා. මක්නිසාද? ඕගොල්ලන්ට ඇහෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ කවරු හෝ ඇමතිවරයෙක් කියන දෙයක්. උසාවියක නඩු අහලා වැරදිකාරයා වෙලා නොවෙයි. ඔහු වැරදිකරුවෙක් ලෙස හඳුන්වන්නේ කොහොමද? ඒ නිසා සාමාන්‍ය ජනතාවටත් විශාල වගකීමක් තිබෙනවා, සාමාන්‍යකරණය වීම වළක්වන්න, මැදිහත් වෙන්න. සෑම පුද්ගලයෙක්ම එකම නීතියට යටත් විය යුතුමයි.‘

 

මහත්වරුනි දැන් ඔබේ වචන ඔබටම ගිල ගැනීමට අවස්ථාව එලඹ තිබේ.

 

මෙැවැනි ඝාතන මුල් පැය 24 තුළම සිදු කරන්නේ ඥතින්ට ඉදිරිිපත්වීමට අවස්ථාවක් නොදී ඔවුන්ගේ කට වැසීමට ය.

 

පහර දී අඩපණ කර තිබූ මෙම සැකකරුවන් දෙදෙනාට දෙන ලද වධ හිංසා මෙහි දැක්වේ.

 

 

මෙවැනි අපරාධයන්ට ඉඩහැරීම මගින් සිදු වන්නේ පොලිස් මර්දනයට සහ දූෂණය දොරේ ගලා යාමට මඟ විවර කිරීම ය.

 

අනීතික පොලිස් ඝාතනයන්හි විශාලතම ගොදුර වූ ජනතා විමුක්ති පෙරමුණ යටතේ යළි එවැනි පාර රාජ්‍ය ක්‍රියාකාරිත්වයන්ට අවසර දීම දෛවයේ සරදමකි.

 

 

මෙවැනි අපරාධ වැළැක්වීම පිණිස  ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ඉදිරිපත් කිරීමට සිදු වූ පොලිස් ඝාතන වැළැක්වීමේ නිර්දේශ දැන් පොලිස් ඇමති ආනන්ද විජේපාල යටතේ කුණු කූඩයට යවා තිබේ.

 

 

ආනන්ද විජේපාල යනු දැන් පෙනෙන අන්දමට පොලිසියට තුවක්කු දී තිබෙන්නේ වෙඩි තැබීමට නොවේ නම් අහවල් එකට දැයි විමසූ ටිරන් අලස්ගේ නම රූපකායයි.

 

එම නිර්දේශ කිහිපයක් පමණක් දැන ගැනීම පිනිස පහත පල කරමු.

 

“සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්, මත්ද්‍රව්‍ය, මිනීමැරුම්, ත්‍රස්තවාදී කටයුතු වැනි භයානක අපරාධ සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තැබීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

 

එවැනි සැකකරුවකු පිටතට රැගෙන යාමට අවශ්‍ය අවස්ථාවේදී ඒ පිළිබඳව දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරිවරයා දැනුවත් කර ඊට අවශ්‍ය උපදෙස් ලබාගත යුතුය.

 

අවශ්‍ය කරුණක දී හැර සැකකරුවන් පිටතට රැගෙන නොයාමට වගබලා ගත යුතු අතර එසේ පිටතට රැගෙන යන්නේ නම් ඒ පිළිබඳව නිශ්චිත සටහන් යෙදිය යුතු බවත් අවි ආයුධ උදුරා ගැනීමට තැත් කිරීමේ සිද්ධීන් හා සැකකරුවන් පැන යාම වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගත යුතු අතර එසේ කිරීමට නොහැකි වන පරිදි අදාළ සැකකරු සුදුසු වාහනයක් තුළ සුදුසු ස්ථානයක ස්ථානගත කිරීමට ද වග බලා ගත යුතුය.

 

ගිනි අවි සහ අත්බෝම්බ සඟවා ඇති ස්ථානවලට සැකකරුවන් රැගෙන යන අවස්ථාවල දී අත් විලංගු ලා රැගෙන යාමට නිලධාරින් වග බලා ගත යුතු අතර සැකකරුගේ මගපෙන්වීම මත නිලධාරින් විසින් අදාළ සෝදිසිය සහ පරික්ෂාව සැකකරු ඉදිරියේ සිදු කළ යුතුය.

 

එවැනි සෑම අවස්ථාවකදීම වීඩියෝ ගත කිරීමට නිලධාරින් වග බලා ගත යුතු අතර එවැනි වීඩියෝ දර්ශන සැකකරුවකුට එරෙහිව සාක්ෂියක් වශයෙන් ද යොදා ගැනීමට හැකියාව පවතින අතර යම් සිදුවීමක් ඇති වුන හොත් එහි විනිවිද භාවය ආරක්ෂා කිරීමටත් එය වැදගත්ය.

 

අත්අඩංගුවේ දී යම් පුද්ගලයකු මියගිය අවස්ථාවක ඒ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයකට ලක් කළ යුතුය.”

 

 

පොලිස් ඇමති, ආනන්ද විජේපාල, දැන් ඔබේ පොලිසියේ පාර රාජ්‍ය ජාලය ගැන කුමක් කරන්නේ ද?  මෙම පොලිස් ඝාතන දෙක ඔබ සාධාරණ කරන්නේ ද? පොලිස්පතිගේ මාර්ගෝපදේශ ඔබ කුණු කූඩයට දැම්මේ ඔබ ද එහි අනියම් සහායකු වී ඇති නිසාද?

 

@සුනන්ද දේශප්‍රිය.

 (Sri Lanka Brief/22.02.2025)

නවතම ලිපි