SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රුසියානු පුටින්වාදි කඳවුර හා ඇමරිකානු ධනවාදී කඳවුර ආකාරයට දෙකට බෙදිලා වාද විවාදකරන..

රණ්ඩු කරන විචාරකයන් හා ප්‍රේක්ශකයන් පහුගිය කාලය පුරාම අපිට දකින්නට ලැබුනු බව රහසක් නෙවෙයි.

 

 

නමුත් මේ කඳවුරු දෙකම එකම වෙළඳ කඳවුරකට ගාල්වෙන බව මේ කිසිවෙක් නොදුටුවත් අපි ඒ ගැන කතා කරපු බව මේ ලිපි කියවන අපේ මිත්‍රයන් දන්නවා.

 

මේ අදහස තහවුරු කරමින් පෙබරවාරි දහ අටවෙනිදා ඇමරිකානු හා රුසියානු නියෝජිතයන් එකිනෙකා හමුවී සාකච්ඡාකරනවා සෞදි අරාබියේ රියාද් නගරයේදී.

 

 

කවුද මේ එකිනෙකා හමුවුණු කන්ඩායම්.?

 

ඇමරිකා එක්සත් ජනපද නියෝජනයකරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ( Marco Rubio ).. ඩොනල්ඩ් ට්‍ර්ම්ප්ගේ රාජ්‍ය ආරක්ශක උපදේශක මයිකල් වෝල්ට්ස් (Michael Waltz) සහ මැදපෙරදිග කලාපය සම්භන්ධ විශේෂ නියෝජිත (Steven Witkoff) යන සාමාජිකයන් මේ සාකච්ඡාවට සහභාගිවෙනවා.

 

රුසියානු විදේශ ඇමති සර්ජි ලාව්‍ රෝව් (Sergey Lavrov).. ව්ලැඩිමීර් පූටින්ගේ විදේශ සබඳතා සම්භන්ධ උපදේශක ‍යුරී යුශාකෝව් (Yuri Ushakov) සාකච්ඡා මේසයේ අසුන්ගද්දි කවුද මේ වටමේසයේ මැදිහත්කරුවා වෙන්නෙ.?

 

සෞදි රජයේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් සෞද් මේ කන්ඩායම් දෙකේ මැදිහත්කරුවා වෙන්නෙ සෞදි රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරුගේ විශ්වාසදායක සගයෙක් ලෙසයි.

 

 

මොනවද මේ කන්ඩායම් දෙක සාකච්ඡා කරන්නෙ.?

 

පලමුවැන්න රුසියානු යුක්‍රේණ යුද්ධය අවසන් කිරීම.

 

මේ යුද්ධය පවතින්නෙ රුසියාව හා යුක්‍රේණය අතර.

එහෙමනම් ඇයි යුක්‍රේණයට මේ සාකච්ඡා මේසයට ආරාධනා නොකරන්නෙ.?

 

මේ බලවත් ව්‍යාපාරිකයන්ට අනුව යුක්‍රේණය වැදගත් රටක් නෙවෙයි ලෝක ආරක්ශාවට හෝ ලෝක වෙලඳාමට.

 

 

යුක්‍රේණය ‍යුරෝපානු රටක්.

එහෙමනම් ඇයි යුරෝපා සංගමය මීට සහභාගි නොවන්නෙ.?

 

 

ට්‍රම්ප් රජයට අනුව යුරෝපය පරන ගරාවැටුනු .. තම ආරක්ශාව සලසා නොගන්නා.. සංක්‍රමණිකයන්ට ගොදුරුවුනු නොවැදගත් කලාපයක්.

 

එහෙමනම් මැදිහත් කරුවා විදිහට චීනය වැනි බලවත් රටක් තෝරා නොගෙන ඇයි සෞදි අරාබිය තෝරාගන්නෙ.?

 

මෙන්න මෙතැන තමයි වැදගත්ම කාරණය මතුවෙන්නෙ.

 

අපි මීට කලිනුත් කතාකලා මේ ලෝකයේ බලය පතුරුවන්නෙ වෙන කිසිවෙක් නොවෙයි තෙල් වෙළඳුන් බව.

 

කවුද අද ලෝකයේ විශාලතම තෙල් නිෂ්පාදකයා. ( Worl largest Oil Producers)

1. ඇමරිකා එක්සත් ජනපද.

2. සෞදි අරාබිය.

3. රුසියාව.

 

 

මේ රටවල් තුන එකතුවෙලා ලෝකෙ අනික් රටවලට නියෝගයක් දුන්නොත් තනි කකුලෙන් සිටගෙන සිටීමට.. ප්‍රථිඵලය කුමක් විය හැකිද.?

 

කැනඩාව.. අරාබි එමීර්.. බ්‍රසීලය.. වෙනසියුලාව වැනි රටවල් තෙල් නිෂ්පාදනය කලත් ඔවුන්ගේ ලංසුව පවතින්නෙ පහත් තැනක. මෙන්න මේ නිසයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අපූරු වෙලඳ සාකච්ඡාව සෞදි අගනුවර පවත්වන්නේ.

 

එක අතකින් ලෝක සංවිධාන විසින් රුසියාවට පනවනු ලැබූ තහණම සෞදි රජය පිලිගත්තේ නැහැ.

 

ඔවුන් තවදුරටත් රුසියානු රජය සමග වෙළඳ ගනුදෙනු පවත්වාගෙන යන අතරතුර අනිත් අතිත් ඇමරිකා එක්සත් ජනපදයේ විශාල වශයෙන් මුදල් ආයෝජනය කරනවා.

 

මේ සාකච්ඡාවට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි පාලනය අමතමින් පවසන්නේ සෞදි රජයේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මන් හො‍ඳ හාදයෙක් බවයි. ( He is a great guy) මොහොමඩ් බින් සල්මන් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ආයෝජනය කරනලද ඩොලර් බිලියන හයසීය ඉතා හොඳ ආයෝජනයක් බවත් මේ වසරේදී මෙම මුදල ඩොලර් ට්‍රිලියන දක්වා වැඩිකරනු ඇතැයි තමා බලාපොරොත්තුවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේම පවසනවා.

 

සෞදි ඔටුන්න හිමි කුමාරයා ඇමරිකානු නායකයාට හාද‍යෙක් වෙද්දි රටවල් දෙකක් අතර සාම සාකච්ඡා මේසය ඩොනල්ඩ් ට්‍ර්ම්ප්ට තවත් එක් ව්‍යාපාරික කතාබහක් පමණයි.

 

මේ මුදල් හා තෙල් බලය කොපමණ බලවත්ද කියනවා නම් සෞදි රජය විසින් යේමනයේ සිදුකල යුද්ධය ගැන කිසිවෙක් කිසිවෙටක සඳහන් කරන්නෙ නෑ. ඉරාන සටන්කාමීන් හා සෞදි රජයේ හමුදා අතර යේමනයේ සිදුකල යුද්ධයෙන් මිලියන ගණනාවක ඝාතනය වුනත් ඒ පිලිබඳ විධිමත් පරීක්ශණයක් අදවනතුරුත් සිදුවන්නේ නැහැ.

 

යේමන් ජනතාවගෙන් මිලිඅන ගණනක් මේ වෙද්දිත් සාගතයට හා මන්දපෝශණයට ගොදුරුව ඇතිබව ලෝක මාධ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය වාර්තාකරන්නේ නැහැ.

 

ඒත් එක්කම සෞදි කුමරුගේ මැදිහත්වීම මත තුර්කි තානාපති කාර්‍යාලය තුලදී ඝාතනයකරන ලද ජමාල් කශොගි (Jamal Khashoggi) ගැන ලෝකය ඉතා ඉක්මනින් අමතක කරනවා.

 

 

2018 ඔක්තෝබර් 2 වෙනිදා තුර්කියේ සෞදි තානාපති කාර්‍යාලයට ඇතුල්වන කශොග්ගි කිසිදවසක ඉන් පිටතට පැමිණෙන්නෙ නැහැ. ඔහු සෞදි රජය හා රජකුමරු විවේචනයකල ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්.

 

 

ලෝකයේ දුප්පත් රටවල ඉස්ලාම් කාන්තාවන් බුර්කාවෙන් වැහිලා නොපෙනී යද්දි සෞදි රජයේ කාන්තාවන් නිදහස ලබමින් සිටිනබවද එම් බී එස් යටතේ සෞදි කාන්තාර ප්‍රදේශවල පැරිස් ඔපෙරා රංගන පවත්වන බවත් අපි අමතක නොකල යුතුයි.

 

මේ සාකච්ඡා මේසයේදී ගාසා තීරය සම්භන්ධවත් කතාබහකිරීමට නියමිතයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශකරන්නේ ගාසා තීරයේ පලස්තීන වැසියන් සියළුදෙනා ඉන් ඉවත්කලයුතු බවත් ඔවුන් ඊජිප්තුවේ හා ජෝර්දානයේ පදිංචිකලයුතු බවත්.

 

ඉන්පසු ගාසා තීරය මැදපෙරදිග සංචාරක පුරවරය ලෙස සංවර්ධනයකිරීමට ඇමරිකානු රජය යටතේ සිදුකරන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

 

 

කවුද මේ සංචාරක පුරවරය නිර්මාණයට ඉදිරිපත්වන්නේ.?

 

ඒ තමයි ධනවත් තරුණ ව්‍යාපාරිකයෙකු වූ ජාරෙඩ් කුශ්නර්. (Jared Kushner). ජාරෙඩ් කුශ්නර් කියන්නේ ඉවන්කා ට්‍රම්ගේ ස්වාමි පුරුෂයා ( ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන්) වගේම ට්‍රම්ප් පාලනයේ උපදේශකවරයෙක්.

 

සෞදි රජය මේ කතාබහට මැදිහත්කරගැනීමේ දෙවැනි අවශ්‍යතාවය ගාසා තීරය සම්භන්ධ තීරණයේදී අරාබි රටවල් එකඟකරවා ගැනීමේ හැකියාව පවතින එකම රට සෞදි අරාබිය වීම.

 

 

රුසියාවෙ තත්වයද මෙය වේ රුසියානු ව්‍යවස්ථාවට අනුව ජනපති වරයෙක්ට දෙපාරකට වඩා බලයට පත්විය නොහැක නමුත් පුටින් මෙය කඩ කර ඇත. එමෙන්ම Alexei Navalny, Sergei Magnitsky, Aleksandr Litvinenko, Anna Politkovskaya, Natalya Estemirova, වැනි පුටින් ගේ රජයෙ දුෂිත පාලනයට විරුද්දව ක්‍රියා කල පුද්ගලයන් අභිරහස් ලෙස මියගොස් ඇත මේ තත්වය නිසා රුසියාවෙ global currption index අගයද ඉතා පහලට මට්ටමකට වැටී ඇත.

 

 

බලය තහවුරුකර ගැනිම සදහා පාලකයන් යුද්ද තොරාගැණිම සිදුකරයි මන්ද එය මහජන අවදානය වෙනස් කිරිමට හොද ක්‍රියාමාර්ගයක් නිසාවෙනි.

 

කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් රුසියා යුක්‍රේන යුද්ධය අවසන්වෙනවා නම්.. ඊශායල් පලස්තීන යුද්ධය අවසන් කලහැකි නම් කුමණ තීරනයක් ගත්තත් ගැටළුවක් නැහැ යනුවෙන්.

 

 

ඔව්... එහෙමනම් අපිට එකඟවෙන්නෙ වෙනවා මේ ලෝකයේ කොමියුනිස්ට් කඳවුරු හෝ ධනවාදී කඳවුරු නැතිබවත්..පවතින්නේ වෙලඳ කඳවුරු අතර බල අරගයක් පමණක් බවත්..මෙය පවත්වා ගැනීමට ආගම හා සංස්කෘතියද නොමද දායකත්වයක් ලබා දෙන බවටත්.

 

 

ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලැබු පුද්ගලයන්ට වඩා නොලෑබු පුද්ගලයන්, ආගමට ලැදි පුද්ගලයන් අතර ට්‍ර්ම්ප් ප්‍රසිද්ධය. Apple, Google, Microsoft වැනි tech සමාගම් ඩිමෝක්‍රටික් නායකත්වයට සහාය දක්වන විට තෙල්, ආයුද හා ගල් අගුරු සමාගම්ද රිපබ්ලිකන් නායකත්වයට සහාය දක්වය එයට හේතුව environment regulations, labour laws, gun restrictions නිසා තම ආදායමට බලපෑමක් ඇතිවෙන නිසා වෙනි.

 

මින් වසර දෙකකට පමණපෙර යමෙක් පැවසුවානම් ඇමරිකාව හා රුසියාව එකම මේසයක අසුන්ගෙන ලෝකයේ අනිත් රටවලට අභියෝග කරාවි යනුවෙන් .. එය විහිළුවක් පමණක් වීමට තිබූ ඉඩකඩ වැඩියි.

 

චීනය.. ඉන්දියාව හා යුරෝපා සංගමයේ ස්ථාවරය තවමත් අවිනිශ්චිතයි වගේම යුක්‍රේණ නායකයා පවසන්නේ යුක්‍රේණය නොමැති සාකච්ඡා පලක් නොවන බවයි. නමුත් විදුලි වාහන වල ප්‍රසිද්දියත් සමග චිනය අනාගතයෙදි ඇමරිකාවෙ තැන ගන්නවා නොඅනුමානය. එමෙන්ම චිනය පසුගිය අවුරුද්ද 20 ඇතුලත ලගා කර ගත් තාක්ෂණය විප්ලවය රුසියාව මේ යන ආකාරයට තවත් වසර 100 කින් වත් ලගා කරගත නොහැකිය.

 

කොහොම වුනත් තවමත් මේ ගැටළුව පවතින්නේ සාකච්ඡා මට්ටමේ පමණයි.

 

මෙයින් ලැබෙන ප්‍රථිඵලයක කුමක්දැයි කීමට අපිට තවම හැකියාවක් නැහැ.

 

අවාසනාවට පුටින් සර්ගේ කඳවුර හා ඇමරිකානු කඳවුර ලෙස දෙකට බෙදී ගහමරාගත් අපේ මිත්‍රයන් ගැනනම් කණගාටු නොවී බැහැ.

 

යුක්‍රේණයේ අයිතිය රුසියාවට ලබාදෙන අතරෙ කියුබාවෙ අයිතිය ඇමරිකානු රජයට පවරාගන්න යෝජනාවක් පැමිණියහොත් ලෝක ජනතාව ප්‍රීතිඝෝශා කරාවිද.?

 

අවසන් වශයෙන්... අඟහරු ග්‍රහයාගේ ජනාවාස ඇතිකිරීමට හීන මවන හෝමෝ සේපියන්ස් තවමත් යැපෙන්නේ පොලව හාරා ලබාගන්නා අපිරිසිඳු තෙලකින් බව ලෝකයට මතක්කරන තවත් එක අවස්ථාවක් ලෙස මේ සාකච්ඡා මේසය හැඳින්වීමේ වරදක් නැහැ.

 

 

@Malcolm Sang

නවතම ලිපි

9

තෙල් සාදය