SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එලොන් මස්ක් ගැන මේ වනවිට ලෝකයම කතා කරයි. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ළඟම හිතවතා වී සිටින

ඔහු විසින් ඇමරිකාවේ ක්‍රියාකාරකම් ගැන හෙළි කළ ආන්දෝලනාත්මක දේවල් සහ ඔහු රාජ්‍ය පාලනයට කරන බලපෑම එයට හේතුවයි.

 

අද දේශපාලනය තුළ හෙල්ලුම් කන දෑ කරන කියන එලොන් මස්ක් ඔන්ලයින් වෙළෙඳාම තුළත් මොටර් රථ කර්මාන්තයේත් හෙල්ලුම් කන නව නිර්මාණ කළ තාක්ෂණ ව්‍යවසායකයෙකි.

 

 

ඉන්ධන බිංදුවක්වත් වැය නොවන ඉලෙක්ට්‍රික් කාර් එකක්  එක් වරක් විදුලිය ආරෝපණයෙන් කොපමණ දුරක් යා හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනා උනන්දු වෙද්දී ඔහු ටෙස්ලා මෝටර් රථ ලෝකයට හඳුන්වා දුන්නේය. ස්පේස් එක්ස් හරහා අභ්‍යවකාශ ව්‍යාපෘතියකටත් අතගැසූ ඔහු එක්ස් (ට්විටර්) සමාජ ජාලයේද හිමිකරුවාය.

 

 මේ නව ලෝකය තුළ පෙරළිකාර ලෙස තම අනුවර්තන සිදුකළ සමාගමක් වන්නේ ඇමරිකාවේ ටෙස්ලා මෝටර් රථ සමාගමයි. මේ මෝටර් රථ ලෝකය බිහි කරන්නට තිඹිරිගෙය නිර්මාණය කළ නිමැවුම්කරුවා අපේ ජීවිතවලට එක්තරා බලපෑමක් කළ නව පරපුරේ “තාක්ෂණ ව්‍යවසායකයෙකි. ඒ බලපෑම ඔහු පළමුවරට කරන්නේ අන්තර්ජාල වෙළෙඳාම හරහාය. මේ වනවිට ඊබේ වෙබ් අඩවියෙන් භාණ්ඩ මිලදී ගන්නා බොහෝදෙනකු මේ සඳහා මුදල් ගෙවීම කරන්නේ පේ පෑල් හරහාය. වර්තමානයේ ලෝකයේ වඩාත් කතාබහට ලක්වන නව නිමැවුම්කාර බිලියනපතියන් පිළිබඳව සැලකීම්දී ඔහු පෙරමුණේ සිටී.

 

ඔහුට තම සාර්ථකත්වය ගැන ප්‍රසිද්ධියේ කියන්නට ඇරයුම් ලද අවස්ථාවලදී තම ජීවිතය පිළිබඳව කියන කතාව නව ලෝකයේ ව්‍යවසායකයන්ට අතිශයින්ම වැදගත් යැයි හැඟේ.

 

“මම ඉපදුණේ 1971 වසරේදී දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහිදී. මගේ පියා ඉන්ජිනේරුවෙක්. මව පෝෂණ උපදේශිකාවක්. මගේ මාපියන් මට වයස අවුරුදු 09දී පමණ පළමු පරිගණකය අරන් දුන්නා. එයින් මට පරිගණක ගැන වගේම පරිගණක වැඩසටහන්කරණය පිළිබඳවත් ලොකු උනන්දුවක්, ආශාවක් ඇති වුණා. මට තේරෙන විදිහට මම පරිගණක වැඩසටහන් කරන්නත් මේ කාලයේදී මා පෙලඹුණා.”

 

ඔහු තම නව නිර්මාණකරණය ව්‍යවසායකත්වයට හරවන්නේ වයස අවුරුදු 12දීය. ඔහු බ්ලාස්ටර් නමින් පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කරන්නේය. මේ නිර්මාණය තුළින් ඔහුට ඇමෙරිකානු ඩොලර් 500ක පමණ මුදලක් උපයන්නට ලැබෙන්නේය. දකුණු අප්‍රිකාවේ ජීවත් වන ‍දොළොස් හැවිරිදි දරුවකුට එකල ඩොලර් 500ක් යනු විශාල මුදලකි. ප්‍රිටෝරියාහිදී තම ද්විතීක අධ්‍යාපනය හමාර කරන එලොන් තම ජීවිතයේ අනාගත මාවත ගැන තනිවම තීරණයක් ගනී.

 

”මම වයස අවුරුදු 17 වෙද්දී හිතුවා ඇමරිකාවට යන්න. මට අවශ්‍ය වුණේ වැඩිදුර හොඳින් ඉගෙන ගන්න. මේ නිසා මම 1988 දී කැනඩාවට ගියා තනිවම.  මගේ ඥාතීන් පිරිසක් කැනඩාවේ හිටියා. මම එහේ ගිහින් සුළු සුළු රැකියා ගණනාවක් කරල මුදල් ටිකක් උපයා ගත්තා. ඊට පස්සේ මම කැනඩාවේ ඔන්ටාරියෝහි ක්වීන්ස් විශ්වවිද්‍යාලයට ඇතුළු වී ඉගෙන ගත්තා. මට දාව දරුවන් පස්දෙනකු බිහි කළ මගේ පළමු බිරිය වන ජස්ටින් මුණ ගැසෙන්නේත් එහිදීයි.

 

ඔහු තම විවාහය ගැනද එසේ සිහි කරයි.

 

එම සරසවියේ වසර දෙකක් ඉගෙන ගන්නා අතරතුර ඔහු තම ඇමරිකානු සිහිනයට ප්‍රවේශයක් ලැබෙයි. ඒ ඇමරිකාවේ පෙනිසිල්වේනියා සරසවියට ලැබෙන ශිෂ්‍යත්වයකිනි. මෙම ශිෂ්‍යත්වය ලැබ ඔහු 1992 දී ඇමරිකාවට පිවිසෙයි.

 

“මෙම සරසවියෙන් මම භෞතික විද්‍යාව පිළිබඳව උපාධියක් ලබා ගත්තාට මගේ ඉගෙනීම නතර කළේ නෑ. එයින් පසුව මා කළේ වෝර්ටන් සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියකුත් ලබාගැනීමයි.

ඔහුගේ ඉගෙනීම කෙරෙහි පැවැති නොතිත් උනන්දුව එයින් පැහැදිලි වෙයි.

 

“ මට තවදුරටත් ඉගෙන ගන්න ඕන  වුණා. මේ සඳහා මා තෝරාගත්තේ ස්ටැන්ෆර්ඩ් සරසවිය. එහෙත් මේ කාලයේ මගේ ජීවිතයේ නව නිර්මාණ පිළිබඳව සිහිනයක් දැඩිව තිබුණා. මම හිතුවා මේ ලෝකය ඉදිරියේදී වෙනස් කරන්නේ අන්තර්ජාලය, බලශක්තිය සම්බන්ධ නව නිර්මාණ සහ අභ්‍යවකාශ තාක්ෂණය කියල. මට මේ ක්ෂේත්‍ර තුන පිළිබඳව යම් දැක්මක් තිබුණා. නමුත් මේ දැක්ම තුළ මෙහෙය වන්නට මට මුදල් තිබුණේ නෑ. මට අරමුදල් අවශ්‍ය වුණා.

 

ස්ටැන්ෆර්ඩ් සරවියේ ඉගෙන ගන්නා කාලය වන විට මගේ  මල්ලි කිම් ඇමෙරිකාවට ඇවිත් හිටියා. ඔහුත් මා වගේම නව නිර්මාණවලට උනන්දු කෙනෙක්. ඔහු පරිගණක සම්බන්ධව මටත් වඩා විශේෂඥයෙක්. ස්ටැන්ෆර්ඩ්හි වසර දෙකක් ගතවන විට මම මල්ලිත් සමඟ මේ පාඨමාලාව අතහැර ගියේ ඔහුගේ සිප් 2 නමැති පරිගණක ව්‍යාපාරයට අතදෙන්නයි. අපි මුලින් පරිගණක වැසටහන්කරණය කළා. ඒ කාලයේ අපට ඕන වුණේ කොහොම  හරි අපේ සමාගම ඉහළට ගෙන එන්න. මේ සඳහා අපි දෙන්නා දැඩි කැපවීමකින් වැඩ කළා.

 

මේ සමාගම සඳහා අප කුලියට ගත්තේ කුඩා ගබඩා කාමරයක්. අපේ කාර්යාලය, පරිගණක විද්‍යාගාරය වගේම බොහෝ දවස්වලට නිදාගත්තෙත් මේ කාමරයේ තිබූ කවිච්චියක් උඩ. උදේ පාන්දර ඉඳන් බොහෝ රෑ වන තෙක් අපි වැඩ කළා. එයින් ප්‍රතිඵල පෙනෙන විදිහ දැක්කම අපි තවදුරටත් අපේ කැපවීම් වැඩි කළා. මගේ පෙම්වතිය සමඟින්වත් මට එළියට යන්න ඇතැම් කාලවල ඉඩ ලැබුණේ නෑ. මේ නිසා අපේ පෙම් පිළිසඳරටත් භූමිය වුණේ මේ ගබඩා කාමරයමයි.

 

අපට මේ කාමරයේ අඩුම තරමින් නානකාමර පහසුකම්වත් තිබුණේ නෑ. අපි නාගෙන පිරිසුදු වුණේ අසල තිබෙන ක්‍රීඩාංගණයක නාන කාමරයකින්.

 

අපට වසර දෙකක් පමණ ඉතා මහන්සියෙන් දැඩි කැපවීමකින් වැඩ කරන්න වුණා. මේ අතරේ අප කල්පනාකාරීව මුදල් වැය කළා. අරපිරිමැස්මෙන් වියදම් කළා. හැකි තරම් මුදල් ඉතිරි කර ගන්නට උත්සාහ කළා.”

 

 

මේ කාලය වනවිට අන්තර්ජාලය කෙමෙන් ජනප්‍රියත්වය වැලඳ ගනිමින් සිටියේය. ඔහු මේ හරහා විවිධ සේවා සපයමින් මුදල් උපයන්නට උත්සාහ කළේ මේ කාලයේදීය.

 

“මුලින්ම පුවත්පත් බැලීමේ හැකියාව අන්තර්ජාලය හරහා ඇමෙරිකානුවන්ට ලබාදුන්නේ අපේ සමාගම. අපි සෑමවිටෙකම අන්තර්ජාලයෙන් මුදල් උපයාගන්නා ආකාරය පිළිබඳව සැලසුම් කළා. අලුතින් දේවල් කල්පනා කළා.

 

මේ නිසාම අපට සිප් 2 නමැති සමාගම සාර්ථක තැනකට ගේන්න පුළුවන් වුණා. මේ සාර්ථකත්වය අපට මුදල් ඉපයීමේ අවස්ථාව මුල්වරට නිර්මාණය කළා”

 

ඔහු මෙහිදී පළමුවරට මිලියනපතියකු වූ ආකාරය විස්තර කළේ මෙසේය.

 

“1999 වන විට ලෝකයේ ජනප්‍රියතම අනතර්ජාල සෙවුම් යන්ත්‍රය වී තිබුණේ අල්ටා විස්ටා. මේ සමාගම අපට ඩොලර් මිලියන 307ක් සහ සුරැකුම් ලෙස තවත් මිලියන 34ක් ලබා දී අපේ සමාගම ඔවුන් යටතට ගත්තා. එය අපට එකල මහ විශාල මුදලක්. මිලියන 20ක් වියදම් කරලා සුපිරි මහල් නිවාසයක් අප මිලදී ගත්තා. ඒ වගේම සුපිරි කාර් එකක්, ආසන ‍දොළහේ ජෙට් එකක් මේ සියල්ලම අපට ගන්න පුළුවන් වුණේ මේ මුදල්වලින්.”

 

 

මේ කාලය වන විට අන්තර්ජාල ගනුදෙනු කෙමෙන් වර්ධනය වන  කාලයක් විය. ඒ තුළ පවතින ව්‍යාපාර අවස්ථා පෙනෙන්නේ තාක්ෂණික දැනුමක් සහිත නව නිපැයුම්කරුවකුටය. ඔහු තම ව්‍යාපාර ලෝකයේ දෙවැනි පියවර තබන්නේ මේ සම්බන්ධව නිර්මාණයක් සමඟය. ඒ අන්තර්ජාල ගනුදෙනු පහසු කරවන අතරමැදියකු සේ ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රමයකි. අද පේ පෑල් ලෙසින් ඊ බේ අන්තර්ජාල වෙබ් අඩවි මිලදී ගැනීම් සඳහා භාවිත කෙරෙන මුදල් හුවමාරු කිරීමේ ඉලෙක්ට්‍රොනික සේවාව මුලින් ඔහු ආරම්භ කරන්නේ එක්ස් කොම් ලෙසින්ය.

 

“මේ කාලයේ ඒ වගේම ඉලෙක්ට්‍රොනික ගනුදෙනු කළ කොන්ෆිනිටි නම් ආයතනයක් තිබුණා. මම මේ ආයතනය එක්ස් කොම් සමඟ ඒකාබද්ධ වී වැඩ කිරීමට එකඟ වුණා. සමාගම් දෙකේ කණ්ඩායම් අතර මතවාදීමය ගැටලු තිබුණා. නමුත් එය සමාගමේ පොදු වර්ධනය කෙරෙහි කිසිසේත් බලපෑවේ නැහැ. ඊට පස්සේ තමයි පේ පෑල් ලෙසින් සමාගම් දෙක එක නමකින් මෙහෙයුම් පටන් ගත්තේ. මේ සමාගමේ සභාපති වගේම ප්‍රධාන විධායක නිලධාරියා වුණේ මමයි. අද ලෝකයේ සිදුවන අන්තර්ජාල ගනුදෙනුවලදී වැඩියෙන්ම මුදල් සහ ගනුදෙනු හුවමාරු වන වෙබ් අඩවිය වන්නේ පේ පෑල්. එය අපි අතින් බිහි වූ හොඳ ව්‍යාපාර සංකල්පයක් කියල අප විශ්වාස කරනවා.”

 

නමුත් පේ පෑල් කරේ එල්ලාගෙන සිටීමට එලොන් මස්ක්ට වුවමනාවක් තිබුණේ නැත. ඊ බේ සමාගමෙන් පේ පෑල් සමාගමට ලංසුවක් ඉදිරිපත් විය.

 

“ඊ බේ වෙබ් අඩවිය මේ වනවිට ලෝකයේ ප්‍රධානතම අන්තර්ජාල වෙළඳ අඩවිය බවට පත් වෙලා තිබුණේ. අපි බිලියන 1.5කට පේ පෑල් සමාගම විකිණුවා.”

 

සැබැවින්ම අන්තර්ජාල ව්‍යාපාරකරණයේ එලොන් මස්ක් විසින් සිදුකරන ලද අවසාන ආයෝජනය එය විය. ඔහු ඊළඟ අදියරේදී උනන්දු වූයේ බලශක්ති සහ අභ්‍යවකාශය පිළිඳවය. බලශක්තිය පිළිබඳව සැලකීමේදී අද ශ්‍රී  ලංකාවේ පවා බහුලව කතාබහට ලක්වන මාතෘකාවක් වන්නේ විදුලි මෝටර් රථයයි. එලොන් මස්ක් මේ විදුලි මෝටර් රථ සිහිනය පසුපස දිවයෑම අරඹන්නේ අදට වසර 20කට පමණ පෙරය. ඔහුගේ ආයෝජනය ටෙස්ලා මෝටර්ස් සමාගම වෙයි. ඒ පිළිබඳ ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කරයි.

 

“ටෙස්ලා මෝටර්ස් සමාගම පටන්ගත්තේ මාක් ටාර්පෙනින් සහ මාටින් එබර්හාඩ් නම් නව නිර්මාණකරුවන් යුවළයි. ඔවුන්ගේ සිහිනය වුණේ සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ඵලදායී මෝටර් රථයක් එළිදැක්වීම. ඔවුන් මෙය ව්‍යාපාරයක් ලෙසින් සංවර්ධනය කිරීම ඇරඹෙන්නේ 2004 දී. මම එයට ඩොලර් මිලියන 70ක ආයෝජනයක් කළා. එකල එය දැවැන්ත ආයෝජනයක්. මේ ආයෝජනය සමඟ ටෙස්ලා මෝටර්ස් සමාගමේ සභාපති ධුරයට පත්වන්නට හැකියාව ලැබුණා.

 

සභාපති වුණාට මට මේ සමාගමේ මෙහෙයුම් කණ්ඩායමේ ලොක්කා වන්නට ඕන වුණේ නෑ. මම වැඩිපුරම උනන්දු වුණේ විදුලි මෝටර් රථ නිර්මාණයට. විශේෂයෙන් ටෙස්ලා මෝටර් රථවල සැහැල්ලු බව රැකීම සඳහා කාබන් තන්තු භාවිත කිරීම, බැටරි මොඩියුල නිපදවීම, විදුලි ලාම්පු නිර්මාණය කිරීම ආදී කටයුතුවලටම සම්බන්ධ වුණා. මේ අනුව අපට 2006 වසරේදී ටෙස්ලා සමාගමට ගෝලීය හරිත සම්මානය පවා ලබා ගන්නට හැකියාවක් ලැබුණා.”

 

 

2007 වසරේදී එළිදකින ටෙස්ලා රෝඩ්ස්ටර් නම් මෝටර් රථයේ සාර්ථකත්වය දුටු බොහෝ පිරිසක්  මේ සමාගම මත්තේ ආයෝජනය කළහ. ගූගල් හිමි සර්ජි බ්‍රින් සහ ලැරී පේජ්ද ඒ අතර වෙති. එහෙත් එලොන් මස්ගේ අපේක්ෂා බිඳ දමන සිදුවීම් කිහිපයක් එයින් පසුවට පෙළ ගැස්විණි.

 

“ටෙස්ලා රෝඩ්ස්ටර් රථය මිල කොට තිබුණේ ඇමෙරිකානු ඩොලර් 92,000කට. එය සාපේක්ෂව විශාල මුදලක්. එය තරගකාරී මිලක් නොවෙයි. මේ වනවිට සමාගමේ ප්‍රධාන විධායක වුණේ ටෙස්ලා සම නිර්මාතෘ මාටින් එබර්හාඩ්. ඔහුගේ වැරදි නිගමනයන් සහ ගණනය කිරීම් මේ තත්ත්වයට හේතු වුණා. අපිට අපේ මෝටර් රථය එළිදැක්වීම වසරකින් පස්සට දමන්නට සිදුවුණා. ඒ එක්කම මාටින් එබර්හාඩ් ඇතුළු සමාගමේ ප්‍රධානීන් කිහිප දෙනකු ඉවත් කිරීමට සිදුවුණා. එහෙත් අපට 2007 වසරේදීත් අපේ විදුලි මෝටර් රථය එළි දක්වන්නට හැකි වුණේ නැහැ. ඊට හේතුව ආයතනය තුළ හටගත් අර්බුද. අපි තවත් ප්‍රධාන විධායක නිලධාරීන් දෙදෙනකු පත් කළා. එහෙත් අපේ ගමනට හොඳ අත්වැලක් වුණේ නෑ. අපි කෙරෙහි ආයෝජකයන්ගේ පවතින විශ්වාසය පවා බිඳ වැටෙන්නට ගත්තා. මෙය සමාගමකට කෙතරම් අහිතකර විදිහට බලපානවාද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අපේ මූල්‍ය තත්ත්වය පවා බිඳ වැටෙන්නට ගත්තා.

 

මේ වෙලාවේ මා නැවත සමාගමේ හස්තය අතට ගත්තා. කළමනාකරණය සම්බන්ධයෙන් තදබල තීන්දු කිහිපයක් ගන්නට සිදුවුණා. එකක් තමයි, සමාගමේ වියදම් අඩු කිරීම. ඒ සඳහා පියවර කිහිපයක් අනුගමනය කළා. එකක් ආයතනයේ සේවකයන් අඩු කිරීම, අපේ සැපයුම්කරුවන්ට කතාකොට ඊට වඩා අඩු මිලකට සැපයුම් ලබාගැනීමට එකඟ කරවා ගැනීම, රට පුරා තිබූ කාර්යාල ගණනාවක් වසා ඒවායේ මෙහෙයුම් ඒකාබද්ධකරණයකට ලක් කිරීම. මේ කටයුතු හේතුවෙන් අපට ටෙස්ලා කාර් එක 2008 දී සාර්ථක ලෙස එළිදක්වන්නට අවස්ථාව ලැබෙනවා.” ඔහු සැනසුම් සුසුමක් හෙළන්නාක් මෙනි.

 

 

එහෙත් එලොන් මස්ක්ගේ ජීවිතයට මෙයින් වසන්තය උදාවන්නේ නැත. ඔහුගේ බිරිඳ ජස්ටින් ඔහුට එරෙහිව දික්කසාද නඩුවක් පවරන්නේ ටෙස්ලා මෝටර් රථ එළිදැක්මෙන් සතුට විඳින්නටත් පෙරය.

 

 

“එක අතකින් දික්කසාදය. අනෙක් අතින් සමාගම බංකොලොත් වීම. මේ වනවිටත් ටෙස්ලා සමාගම හිටියේ අන්තිම අමාරුවක. මට තව ආයෝජනය කරන්න මුදල් තිබුණේ ඩොලර් මිලියන 20ක් විතරයි. මම මේ මුදලත් සම්පූර්ණයෙන් ටෙස්ලා සමාගමේ ආයෝජනය කළා.

 

ඒත් සමාගම ඔහු ළඟ තිබූ මැක්ලරන් සුපිරි මෝටර් රථයද විකුණා ටෙස්ලා විදුලි කාර්වල අනාගතය සඳහා මේ මුදල් යට කළේය.

 

මට මේ අතරේ ගැනුම්කරුවන්ගේ අත්තිකාරම් ලබාගන්න පුළුවන් වුණා. එහිදී මා දුන් සහතිකයක් තමයි, හදිසියේ හෝ සමාගම බංකොලොත් වුණොත් මේ මුදල් ආපසු ලබාදෙන බව. එයින් මට මගේ ගනුදෙනුකරුවන් අතර විශ්වසනීයත්වයක් ගොඩනඟා ගන්න පුළුවන් වුණා. මට බංකොලොත් නොවී බේරී ටෙස්ලා මෝටර්ස් සමාගම දැන් තියෙන තත්ත්වයට පණ ගස්වන්න හැකි වුණේ මේ නිසයි.”

 

ඔහුට ලැබුණු මේ විශ්වසනීයත්වයේ ලොකුම ආයෝජනය සිදුවන්නේ ලෝකයේ දැවැන්ත එමෙන්ම කීර්තිමත් මෝටර් රථ නිෂ්පාදන ආයතනයක් වන ජර්මනියේ ඩේම්ලර් සමාගම ටෙස්ලා වෙනුවෙන් ඩොලර් මිලියන 50ක ආයෝජනයක් යෙදවීමය.

 

ටෙස්ලා මෝටර්ස් සමාගමේ විදුලි කාර් රථ සඳහා ණය සහන ලබා දෙන්නට එරට රජය පියවර ගත්තේය. එහෙත් ඇමරිකානු රජයේ මේ තීරණයට එරෙහි වූ අයද වෙති. එයට හේතුව ටෙස්ලා වැනි මිල අධික පොහොසතුන්ට පමණක් භාවිත කළ හැකි මෝටර් රථ නිෂ්පාදනය සඳහා ණය සහන ලබාදීම වැරදි බවය.

 

එයට පිළිතුරක් එලොන් මස්ක් ලබාදෙයි.

 

“ටෙස්ලා මෝටර් රථ අද සාම්ප්‍රදායික මෝටර් රථවලට කිසිදු අයුරකින් නොදෙවැනි මට්ටමක පවතිනවා. ඒවායේ හැඩය වගේම වේගයත් අනෙක් කාර්වලට දෙවැනි නැහැ. මේ වනවිට ඩෙම්ලර් වගේම ටොයොටා සමාගම සමඟත් අපි වැඩ කරගෙන යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී කාටත් දැරිය හැකි මිලකට විදුලි මෝටර් රථයක් විකිණීමට අපට හැකියාවක් ලැබේවි.”

 

 

එලොන් විශ්වාස කරන්නේ ඉදිරි වසර 20 තුළ ලෝකයේ වාහනවලින් සියයට 50ක් වත් විදුලියෙන් දුවන මෝටර් රථ වේය යන්නය. මේ තුළ තමන් ඇරඹූ ව්‍යාපාරය කිසිසේත් ආපස්සට යන එකක් නොවන බවය. මේ නිසා තමන් මේ වෙනුවෙන් කළ කැප කිරීම් අපතේ නොයන බව ඔහු විශ්වාස කරයි.

 

“විදුලි මෝටර් රථ භාවිත කරන අයට පවතින ලොකුම ප්‍රශ්නයක් තමයි එහි බැටරිය යළි ආරෝපණය කර ගැනීම (චාජ් කිරීම). මේ සඳහා අපි මේ වෙනකොට සුපර් චාර්ජස් ජාලයක් ඇමෙරිකාව වගේම යුරෝපය සහ ආසියාව තුළ ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වනවා”

යයිද  එලොන් මස්ක් සඳහන් කරයි.

 

එලොන් මස්ක් මේ සියවසේ සුපිරිතම මැවුම්කාර ව්‍යවසායකයා ලෙසින් කිරුළු පලඳින්නටද බැරිකමක් නැත. එයට හේතුව වර්තමාන ලෝකයේ පවතින බොහෝ ගැටලු සහ අවශ්‍යතාවන්ට වාණිජමය විසඳුම් දෙන්නට ඔහු මේ වනවිට සමත්කම් පාන නිසාය. එලොන්ගේ තවත් ව්‍යාපෘතියක් වන්නේ පවර් වෝල් නම් බැටරි නිෂ්පාදනයයි. මෙම ලිතියම් අයන් බැටරි බිත්තියට සවි කළ හැකි වන අතර එමඟින් විදුලිය සංරක්ෂණය කළ හැකිය.

 

“මම මේ වනවිට සෝලා සිටි නමින් සූර්ය බල ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක කරනවා. ඉබේ සමාගම් මූලස්ථානය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ මෙම සෝලා සිටි සූර්ය බල ව්‍යාපෘතියෙන්.

 

එයට අමතරව ලෝකයේ වඩාත්ම වේගවත් සහ කාර්යක්ෂම ගොඩබිම් ප්‍රවාහන සේවාව සඳහා මම සංකල්පයක් ඉදිරිපත් කළා. මේ සංකල්පය අපි හඳුන්වන්නේ හයිපර් ලූප් නමින්. එය ඇත්තටම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානාවලටත් වඩා වේගයක් ලබාගත හැකි ප්‍රවාහන මාධ්‍යයක්. එහිදී සිදුවන්නේ යකඩ ටියුබයක් තුළ කැප්සියුල ආකාරයෙන් ධාවනය වන අධි සුඛෝපභෝගී දුම්රිය ඒකක ධාවනය කිරීමයි. මගේ අරමුණ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ අතර මෙම ටියුබ ධාවනය කිරීමයි. එය නිර්මාණය කර තිබෙන ආකාරයට අනුව කිලෝමීටර 614ක් පැය භාගයක් තුළ ගමන් කළ හැකියි. අප මේ වනවිට ටෙක්සාස් හි මේ සම්බන්ධ නියාමක ව්‍යාපෘතියක් සකස් කරමින් සිටිනවා.”

 

 

මෙම නිර්මාණ සාර්ථක වුවහොත් මෑත ඉතිහාසයේ ලෝකයේ සුපිරිතම මැවුම්කරුවා ලෙසින් නම් එලොන් නම් කළහොත් ඊට කවුරුන් හෝ විරුද්ධ නොවනු ඇත.

 

මෑතක දී ඔහු විසින් කරන ලද දේශනයකදී තම සාර්ථකත්වය පසුපස ඇති කරුණු පිළිබඳව සඳහන් කළේ මෙසේය.

 

“ව්‍යාපාරික වශයෙන් හෝ වෘත්තීය වශයෙන් සාර්ථකත්වයට පත්වන්නට බලාපොරොත්තු වන කාටත් මා පළමුවෙන්ම කියන්නේ තමන්ගේ වෘත්තීය හෝ ව්‍යාපාර මාවතේ මුල් පියවර කිහිපයේදී සුපිරි මට්ටමින් මහන්සි විය යුතු බවයි.”

 

“මම මුල් කාලයේදී සතියකට පැය  සීයකට වඩා වැඩ කළා. දවල් රෑ නෑ. සෑම වැඩ කරන පැයක්ම උපරිම වශයෙන් යෙදවීමට මම කල්පනා කළා. බොහෝ දවස්වල නිදා ගත්තේ අපි කාර්යාලයක් සේ භාවිත කළ ගබඩා කාමරයේ කචිච්චියක් උඩ. අඩුම තරමින් පෙම්වතිය ගැනවත් බලන්නට ඉඩක් තිබුණේ නෑ. මේ නිසා ඇයත් මා බලන්නට ආවෙ මේ ගබඩා කාමරයට. මෙවැනි කැප කිරීමක් අප කළ යුතුමයි.

 

දෙවැන්න වන්නේ ඉතා දක්ෂ කණ්ඩායමක් තමන්ගේ ඉලක්කගත ගමන යෑම සඳහා සම්බන්ධ කරගැනීමයි. ඔබ ගැන විශ්වාසයක් ගෞරවයක් ඇති, දැඩි කැප කිරීමක් කළ හැකි පිරිසක් තම කණ්ඩායමට එක් කරගැනීමට හැම විටම උත්සාහ කළ යුතුයි.

ඊළඟට සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍යම කරුණක් වන්නේ එක් අරමුණකට නාභිගත වීමයි. එනම් ආයතනයක් ලෙස ක්‍රියා කරද්දී විවිධ අදහස් එන්නට පුළුවන්. අපි මේ අදහස් ක්‍රියාත්මක කරනවා කියන්නේ අපේ මුදල් වියදම් කරන එක. මුදල් වියදම් කරද්දී අත්‍යවශ්‍යම කරුණුවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. උදාහරණයකට ටෙස්ලා  කිසිදු දිනයක තවමත් වෙළෙඳ ප්‍රචාරණය සඳහා අයවැයක් වෙන් කරන්නේ නෑ. ඒ වෙනුවට අප උපරිම වශයෙන් වියදම් කරන්නේ අපේ නිෂ්පාදනය උපරිම මට්ටමින් හොඳට කර ගැනීමටයි. 

 

අපි මොනව කළත් එය සාර්ථක ප්‍රතිඵල නොඑනවා නම් දිගින් දිගටම ඒ පසුපස ගිහින් වැඩක් නෑ. මේ නිසා සෑම විටෙකම සාර්ථකත්වය පිළිබදව පසු විපරමක් අවශ්‍යයි. එහි වැරැද්දක් තිබෙනවා නම් එය වහා නිවැරදි කර ගත යුතුයි.

 

 

අපි අවදානම් ගන්න ඕන. විශේෂයෙන් දරු මල්ලන් නැති තරුණ කාලය අවදානම් ගැනීමට හොඳම කාලයයි. මේ කාලයේ බය නැතිව අවදානම ගත යුතුයි. අත්හදා බැලීම් කළ යුතුයි. එවැනි අත්හදා බැලීම් සහ අවදානම් දරන්නේ නැතිව අපට ගමනක් යා නොහැකියි. මේ ගැන අප කවුරුත් අවබෝධ කර ගත යුතුයි.”

එලොන් මස්ක් තරුණ ලෝකයට තම උපදෙස් දෙන්නේ එසේය.

 

 

@රජීව මොලගොඩ

නවතම ලිපි