ජාතික ජනවාර්ගික කටයුතු කොමිසම භාර චීන අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත්
ඉහළ පෙළේ චීන දූත පිරිසක් පෙබරවාරි 19 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව වාර්තා වේ.
නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී අමාත්‍ය පෑන් යූ, වාර්ගික සමගිය සහ සංහිඳියාව පිළිබඳව ශ්‍රී ලංකාවේ නායකයින් සමඟ සාකච්ඡා පවත්වනු ඇති බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති ෂී ජින් පිංගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයෙකු වන පෑන් අමාත්‍යවරයාට චීනයේ සුළුජන වර්ගයන්ගේ කටයුතු හැසිරවීමේ වගකීම පැවරී ඇත. ඔහු පසුගිය වසරේ ජුනි මාසයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) මධ්‍යම කාරක සභාවේ පූර්ණ සාමාජිකයෙකු බවට පත්විය.
සතියක් පුරා පැවැත්වෙන නිල සංචාරයක නිරත චීන අමාත්‍යවරයා, ජාතික ජන බලවේගය (NPP) රජය යටතේ ජනවාර්ගික සමගිය සහ සංහිඳියාව ඇති කිරීමේ ප්‍රධාන අමාත්‍යාංශ දෙක වන අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
තම සංචාරය අතරතුර අමාත්‍ය පෑන් මහනුවරට පැමිණීමට ද නියමිතය.
චීනයේ ජනවාර්ගික ප්‍රතිපත්ති ප්‍රධානියා ලෙස, චීනයේ උයිගුර් ස්වයං පාලන කලාපයක් වන ෂින්ජියැං හි සිදුවෙමින් පවතින බව කියන උකහා ගැනීමේ වැඩසටහන පිළිබඳ බටහිර වාර්තාවලට පෑන් ප්‍රතිචාර දක්වමින් පවසන්නේ එවැනි නිරූපණයන් ඓතිහාසික කරුණු වලට පටහැනි බව පවසයි.
කෙසේ වුවද ෂින්ජියැන් හි මුස්ලිම් – උයිගර් ජනගහනයට සැලකීම සම්බන්ධයෙන් චීනය ලොව පුරා දැඩි විවේචනවලට මුහුණ දී සිටී.
මානව හිමිකම් සංවිධාන විශ්වාස කරන්නේ පසුගිය වසර කිහිපය තුළ චීනය, උයිගර් ජනතාව මිලියනයකට වැඩි ප්‍රමාණයක් රඳවාගෙන සිටින බවත් රජය විසින් ඔවුන් රඳවාගෙන සිටින කඳවුරු ‘පුනරුත්ථාපන අධ්‍යාපන කඳවුරු’ ලෙස අර්ථ දක්වා ඇති බවත් ය. උයිගර්වරු බලහත්කාරයෙන් කම්කරු සේවයේ යොදවන බවටත්, කාන්තාවන් බලහත්කාරයෙන් වන්ධ්‍යකරණය කරන බවටත් සාක්ෂි අනාවරණය වී ඇතැයි එම සංවිධාන පවසයි. කපු නිෂ්පාදනයේදී චීනය බලහත්කාර කම්කරු සේවය යොදාගන්නා බවට චෝදනා එල්ල වී තිබේ.
එවන් පසුබිමක ලංකාවේ උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් චීනයේ මැදිහත්වීම කුමක් වේද?
චීනය තවදුරටත් ජීවනෝපාය ආධාර වැඩසටහන් සමඟින් ශ්‍රී ලංකාවේ උතුර ආක්‍රමණය කිරීම දිගටම කරගෙන යනු ලබනු ඇති බව විශ්ලේෂක මතයයි.
කොළඹ චීන තානාපති කාර්යාලයේ භාරකාර ෂු යැන්වෙයි පසුගියදා වවුනියාව, මුලතිව්, කිලිනොච්චි, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල සංචාරය කර මෑත කාලීන ගංවතුරෙන් විපතට පත් ජනතාවට රුපියල් මිලියන 16 ක් වටිනා ආහාර පැකේජ 2,470 ක් බෙදා දී ඇත.
"ශ්‍රී ලාංකික ජනතාවට, විශේෂයෙන් උතුරු පළාතේ ජනතාවට අපගේ සහයෝගය කිසිදා නතර වී නැත. 2024 දී ශ්‍රී ලංකාව දරුණු ගංවතුරකින් පීඩාවට පත් වූ විට, චීනය කාලෝචිත ආකාරයකින් උදව් උපකාර කළ අතර, විපතට පත් වූවන්ට උපකාර කිරීමේ අරමුණින් රුපියල් මිලියන 400 ක් වටිනා හදිසි මානුෂීය ද්‍රව්‍ය ලබා දුන් අතර, හදිසි ගංවතුර සහනාධාර ලෙස රජයට රුපියල් මිලියන 30 ක් පරිත්‍යාග කළේය,"
තානාපති කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය.
පසුගිය වසරේදී චීන රජය උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ දෙකටම නිවාස ඒකක, සහල් සහ ධීවර දැල් ඇතුළු රුපියල් බිලියන 1.5 ක අත්‍යවශ්‍ය සැපයුම් ලබා දුන්නේය.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී චීන තානාපති චී ෂෙන්හොං උතුරේ කළ සංචාරයේදී පීඩාවට පත් ජනතාවට තවත් රුපියල් මිලියන 12 ක ජීවනෝපාය ආධාර ලබා දෙන ලදී.
මෙය චීනය සහ වත්මන් බලයට පත් ජාතික ජන බලවේගය ආණ්ඩුව අතර වැඩි මිත්‍රශීලීත්වයකින් සමීපව ගනුදෙනු ඇතැයි හැඟෙන වාතාවරණයක් තුළ ඉන්දියාව විසින් උතුරු නැගෙනහිර ප්‍රජාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විවිධ වැඩසටහන් සහ දේශපාලන මැදිහත්වීම් වලට දක්වන කවර නම් බලපෑමක්ද යන්න පිළිබඳව විමසීමේදී භූ දේශපාලනය පිළිබඳ සැලකිල්ලක් දක්වන්නන් පෑන් යූ අමාත්‍යවරයාගේ ගමන පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනු ලැබීම පෙනෙන්නට ඇති කරුණකි.